ශ්‍රී.බු.ව. 2568 වන වෙසක් මංගල්‍යය වෙනුවෙන් ටවර්හෝල් රඟහල පදනමෙන් වැඩසටහන් රැසක්

37

ශ්‍රී බුද්ධ වර්ෂ 2568 වන වෙසක් මංගල්‍යය අතිඋත්කර්ෂවත් අන්දමින් සැමරීමට ටවර් හෝල් රඟහල පදනමින් වැඩසටහන් රාශියක් සංවිධානය කර ඇති බව ටවර් හෝල් රඟහල පදනම පවසයි.

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය හා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මඟින් සංවිධානය කරනු ලබන “රාජ්‍ය වෙසක් උත්සවය” නිමිත්තෙන් 24දා පස්වරු 8.00 සිට පසුදින අලුයම තෙක් මාතලේ ශ්‍රී ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේදී හා අග්‍රාමාත්‍ය කාර්යාලය, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය හා ධර්මායතනය මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “බෞද්ධාලෝක” වෙසක් කලාපය වෙනුවෙන් 25දා පස්වරු 8.00 සිට පසුදින පහන් වනතුරු බෞද්ධාලෝක මාවතේ පිහිටි ධර්මායතනය ඉදිරිපිටදී ටවර් යුගයේ නූතන සම්ප්‍රාප්තිය “ටවර් ප්‍රභාෂ්වර” නූර්ති ජවනිකා ඇතුළත් බොදු බැති ගී ප්‍රසංගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

රත්නශීලා පෙරේරා, කාංචනමාලා මහවිතාන, සුදත් සමරසිංහ, රවීන්ද්‍ර කෝදාගොඩ, තරංගා කුමාරි, ජීවන් හඳුන්නෙත්ති, උදේනි චන්ද්‍රසිරි, කුමාරි පෙරේරා, ෆර්නි රෝෂිණී, ඩබ්. නිමල් ජයසිංහ, රුවන් දහන්සූරිය, තිස්ස ජයවර්ධන, චමින්ද මැදගෙදර, පැතුම් දනන්සූරිය, සුගත් මෛත්‍රී, වසන්තා විජේසිංහ, උපේක්ෂා උඩගෙදර, ශ්‍රීපාලි අමරසිංහ, විල්ෆ්‍රඩ් පෙරේරා ඇතුළු ජනප්‍රිය රංගන හා ගායන ශිල්පීන් රැසක් මෙම ප්‍රසංගය සඳහා සහභාගි වීමට නියමිතය.

ප්‍රසංගය සඳහා සංගීතය සපයනු ලබන්නේ, රංජිත් යාපා ද අල්විස් ප්‍රමුඛ ටවර් වාi වෘන්දය මඟිනි. කථනය ප්‍රවීණ නිවේදක ගාමිණී මෙරින්නගේ විසිනි.

ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය හා ගංගාරාම විහාරස්ථානය ඒකාබද්ධව වාර්ෂිකව සංවිධානය කරනු ලබන “බුද්ධ රශ්මි වෙසක් කලාපය” වෙනුවෙන් 25 දා පස්වරු 8.00 සිට පසුදින පහන් වනතුරු බේරේ වැව විශේෂ පීඨිකාවේ (බාච්) ටවර් හෝල් රඟහල පදනම මඟින් බොදු බැති ගී ප්‍රසංගයක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

රූපා ඉන්දුමතී, රංජනී පෙරේරා, සූර්යකුමාර් මුත්තලගේ, එස් කලාවතී, සන්ධ්‍යා බුලත්සිංහල, කුසුම් පෙරේරා, කුමාරි මැණීකේ, යමුනා විනෝදනී, නිහාල් සිසිරසේන, චන්දන විජේමාන්න, තනුෂ්ක ගයාන්, සරත් වීරසිංහ වැනි ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් මේ සඳහා සහභාගිවීමට නියමිතය.

ටවර් නාට්‍ය හා රංග කලා පාසලේ සිසු සිසුවියන්ගේ හා “සංගීතා” කලා සංගමයේ සාමාජික සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් “වෙසක් බැති ගී” ප්‍රසංගයක් 22දා පස්වරු 4.00 සිට මරදාන ටවර් රඟහල් පරිශ්‍රයේදී පැවැත්වීමටත් රංගශාලා ආලෝකමත් කිරීමටත් වෙසක් කූඩු හා බෞද්ධ කොඩිවලින් සැරසීමටත් කටයුතු යොදා ඇති බව ටවර් හෝල් රඟහල පදනම පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment