ඇමෙරිකා ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමයේ (America Sri Lanka Photographic Art Society – ASPAS) පස්වන වාර්ෂික ඡායාරූප ප්‍රදර්ශනයට සමගාමීව අප්‍රේල් මස 22 වැනිදාට (අදට) යෙදෙන ‘ජගත් මිහිතල දින Earth day’ ieureulao සැමරුමක්ද සිදුකරන බව සංවිධායකයෝ කියති. මෙම මිහිතල දින සැමරුම 24 වැනි බ්‍රහස්පතින්දා දිනට යොදාගෙන ඇති අතර, මෙහිදී) සැමරුමේ අංගයක් ලෙස, ලොස්ඇන්ජලීස් හි පරිසර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම සහ පුනර්ජීවනය කිරීම සඳහා කැප වූ මුලපිරීමක් වන ”Re Tree LA˜ නමින් හැඳින්වෙන ගස් සිටුවීමේ ව්‍යාපෘතිය දියත් කිරීමේ උත්සවය සංවිධානය කිරීමට හැකිවීම ගැන ‘ඇමෙරිකා ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමය’(ASPAS) සතුට පළකරයි. හරිත පරිසරයක් නැවත ගොඩනැඟීම සඳහා ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීම සඳහා පුද්ගලයන් අතර පාරිසරික දැනුවත්භාවය ඉහළ නැංවීම සඳහා, ‘ශ්‍රී ලංකාවේ සුන්දරත්වය’ නමැති ප්‍රදර්ශනය පැවැත්වෙන ස්ථානයේදී ඊට සහභාගිවන්නන් අතර පැළ 100 ක් බෙදාදීමට කටයුතු සලසා තිබේ. එසේම ලොස් ඇන්ජලීස් හි මෑතකාලීනව ඇතිවූ ලැව්ගිනි හේතුවෙන් හානි වූ පරිසර පද්ධතිය ඉහළ නැංවීම ද ඉන් අපේක්ෂා කෙරේ. අවසානයේදී, මෙය වනජීවීන් සඳහා වාසස්ථාන ප්‍රතිනිර්මාණය කිරීමට සහ අනාගත පරම්පරාවන් සඳහා හරිත ග්‍රහලෝකයක් පවත්වා ගැනීමට උපකාරී වනු ඇතැයි අපි විශ්වාස කරන බව ප්‍රදර්ශනයේ ප්‍රධාන සම්බන්ධීකාරක සහ ඇමෙරිකා ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමයේ සභාපති සූරිය පෙරේරා මහතා පවසයි.
ශ්‍රී ලංකාවෙන් පැමිණෙන සම්මානලාභී කලාකරුවන් වන ලක්ෂිත කරුණාරත්න, රිස්නාඩ් හුසේන්, සමීර කොතලාවල සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ කීර්තිමත් ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පීන් වන ඇන්ඩි සමරසේන, ආචාර්ය සුමේධා ජයසේන, ලසන්තිකා ප්‍රනාන්දු බෙනඩික්ට්, මධුෂාන් වන්නිආරච්චි, ශාන්ත වීරසිංහ, සූරිය පෙරේරා මහත්වරු සහ මාධ්‍ය නියෝජිතයන් ලෙස මහවලගේ ලාල් හේමන්ත, උදය ශාන්ත ඉඩමේගෙදර මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වෙති. මෙම උත්සවයේ කටයුතු මෙහෙයවනු ලබන්නේ මේදානි රත්නායක මහත්මිය විසිනි.
2025 ඇමෙරිකා ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමයේ (America Sri Lanka Photographic Art Society – ASPAS) පස්වන වාර්ෂික ඡායාරූප ප්‍රදර්ශනය එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත කාර්යාලය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ලොස් ඇන්ජලීස් හි කොන්සල් ජෙනරාල් කාර්යාලය යන ආයතනවල සහයෝගය ඇතිව පැවැත්වීමට නියමිතය. මෙම ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කෙරෙන සෑම ඡායාරූපයකින්ම ශ්‍රී ලංකාවට උරුම වූ ආකර්ෂණීය භූ දර්ශනය සහ ඊට ආවේනික විචිත්‍ර සංස්කෘතිය විදහා දැක්වෙන අතර එමගින් එය නරඹන ප්‍රේක්ෂකයන්ට ශ්‍රී ලංකාවේ පවතින විවිධත්වය සහ ජීව ගුණය පිළිබඳ නවමු අත්දැකීමක් ලබාදීම මෙම ප්‍රදර්ශනයේ අරමුණ බව සංවිධායකයෝ පවසති.
ඒ අනුව, ‘ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ”Beauty of Sri Lanka’ ලෙස නම් කර ඇති මෙම ඡායාරූප ප්‍රදර්ශනය 2025 අප්‍රේල් සහ මැයි මාසවලදී ලොස්ඇන්ජලීස්, නිව්යෝර්ක් සහ වොෂින්ටන් ඩීසී යන නගරවල පහත දැක්වෙන දිනවලදී පැවැත්වෙන බව ඔවුහු කියති. අප්‍රේල් 26 වන දින: සෙලිබි්‍රටි සෙන්ටර් ඉන්ටර්නැෂනල් හොලිවුඩ්, ලොස් ඇන්ජලීස්, අප්‍රේල් 29 වන දින: නිව්යෝර්ක් නගරයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා වන ශ්‍රී ලංකාවේ නිත්‍ය දූත මණ්ඩල කාර්යාලය, මැයි 3 වන දින: වොෂින්ටන් ඩීසී හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ පාස්පෝර්ට් ඩීසී හිදී පැවැත්වේ.
ප්‍රදර්ශනයේ තේමාවන් ලෙස ශ්‍රී ලංකාවේ පොහොසත් උරුමය සහ කලාව, කලා ශිල්ප, විවිධ ශාක හා සත්ත්ව විශේෂ, විශ්මයජනක භූ දර්ශන සහ වෙරළ තීර, අලි ඇතුන් සඳහා වන අභයභූමි, ශ්‍රී ලංකාවේ කුරුළු නැරඹුම් ස්ථාන,
ශ්‍රී ලංකාවේ දිය ඇලි, විචිත්‍රවත් සම්ප්‍රදායන් සහ සංස්කෘතීන් අයත් වන අතර, සම්මානලාභී වනජීවී වාර්තා චිත්‍රපට ප්‍රදර්ශනයක් ද මෙහිදී පැවැත්වේ.
- ජගත් කණහැරආරච්චි
අප්‍රේල් 22 – ජගත් මිහිතල දිනයයි – මිහිතලය රැකගැනීම අප කාගේත් වගකීමයි
අප නිවහන ලෙස හඳුන්වන මිහිතලයේ මතු පැවැත්ම මෙන්ම සොබාදහම් මාතාවට අපට උපකාර කළ හැකි ආකාරය පිළිබඳ මතක් කිරීමක් වශයෙන් ලෝක මිහිතල දිනය සමරනු ලබයි. ලෝක මිහිතල දිනය සෑම වසරකම අප්‍රේල් මස 22 වන දිනට යෙදී ඇත. මෙම වසරේ එම දිනයේ තේමාව ලෙස පුනර්ජනනීය බලශක්තිය සහ දේශගුණික ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමු කරමින් Our Power – Our Planet – “අපගේ බලය, අපගේ ග්‍රහලොව” ලෙස නම් කර ඇත.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය (UN) විසින් 2009 දී සම්මත කර ගත් යෝජනාවක් මගින් අප්‍රේල් 22 වන දින ජාත්‍යන්තර මිහිතල දිනය ලෙස ප්‍රකාශයට පත් කළේය. පෘථිවිය සහ එහි පරිසර පද්ධති මානව වර්ගයාගේ පොදු නිවහන ලෙසත්, ජනතාවගේ ජීවනෝපායන් වැඩිදියුණු කිරීමට, දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීමට සහ ජෛව විවිධත්වයේ බිඳවැටීම නැවැත්වීමට මිහිමව ආරක්ෂා කිරීම අවශ්‍ය ලෙසත් මෙම දිනයේදී පිළිගනී.
දේශගුණික විපර්යාස, සොබාදහමට මිනිසා විසින් කරන ලද වෙනස්කම් මෙන්ම වන විනාශය, ඉඩම් පරිහරණය වෙනස් කිරීම, තිව්‍ර කරන ලද කෘෂිකර්මාන්තය සහ පශු සම්පත් නිෂ්පාදනය හෝ වර්ධන, නීති විරෝධී වනජීවී වෙළෙඳාම වැනි ජෛව විවිධත්වයට බාධා කරන අපරාධ, මිහිතලයේ විනාශයේ වේගය තවත් වේගවත් කිරීමට සමත් වෙමින් පවතී.
එම තත්ත්වයන් පාලනය කර ගැනීමට නම් පුද්ගලයන් සහ සමාජය සාමූහිකව දේශගුණික විපර්යාස වළක්වා ගැනීම, පරිසර දූෂණය සහ සම්පත් ක්ෂය වීමට එරෙහිව ආමන්ත්‍රණය කළ යුතුය. මෙයට තිරසාර භාවිතයන් අනුගමනය කිරීම, පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය, පරිභෝජනය අඩු කිරීම සහ ප්‍රතිපත්ති වෙනස්කම් සඳහා පෙනී සිටීම ඇතුළත් වේ. පරිසර යුක්ති කේන්ද්‍රය (CEJ) දේශගුණික විපර්යාස අවම කිරීම මෙන්ම ඒ සඳහා අනුහුරු වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටී. රටක් වශයෙන් ගත යුතු පරිසර ප්‍රතිපත්තිමය තීරණ පසුගාමී වුවහොත් අනාගත ඉලක්ක මුදුන්පත් කිරීමට ඉඩ නොලැබෙන බව අප දරන මතයයි. ශ්‍රී ලංකාව බැඳී සිටින ජාත්‍යන්තර ප්‍රඥප්තීන් (conventions) හා සැසඳීමේදී එදිනෙදා කළ යුතු ජීවන රටාවන්ගේ වෙනස්කම් මගහැරී ඇති අතර ජනතාව ඒ වෙනුවෙන් පෙළගස්වන තත්ත්වයක් ද පෙනෙන්නට නැත. නීතිය ක්‍රියාත්මක කිරීමේ අඩුලුහුඬුකම් මගහරවා නොගතහොත් තම බලය පෙන්වන විනාශකාරීන් විසින් සිදුකරන සම්පත් විනාශය තව තවත් උග්‍ර වන බව පරිසර යුක්ති කේන්ද්‍රය පෙන්වා දෙයි.
මිහිමව පැහැදිලිවම ක්‍රියාමාර්ගයක් ඉල්ලා සිටී – මිනිසුන්ට සහ පෘථිවියේ මතු පැවැත්ම උදෙසා වැඩ කරන, වඩාත් තිරසාර ආර්ථිකයකට මාරුවීමේ අවශ්‍යතාවයක් පවතී. ලෝකය ආරක්ෂා කිරීම සෑම කෙනකුගේම වගකීමකි.
පරිසර යුක්ති කේන්ද්‍රය
ජගත් මිහිතල දිනය සමරමු
ලෝක මිහිතල දිනය සෑම වසරකම අප්‍රේල් මස 22 වන දිනට යෙදී ඇත. මෙවර එහි තේමාව Our Power – Our Planet “අපගේ බලය, අපගේ ග්‍රහලොව” ලෙස නම් කර ඇත.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය (UN) විසින් 2009 දී සම්මත කර ගත් යෝජනාවක් මගින් අප්‍රේල් 22 වන දින ජාත්‍යන්තර මිහිතල දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇත. මිහිතල දිනය බිහිවන්නේ 1968 දී පමණ ඇමෙරිකාවේදී ය. ඇමෙරිකන් සෙනෙට් සභිකයකු වූ ගේලෝඩ් නෙල්සන්ගේ සංකල්පයකට හා පාරිසරික සංරක්ෂණ ක්‍රියාදාමයකට අනුව බිහිවන මිහිතල දිනය තනිකරම ස්වේච්ඡා සහ ශ්‍රමදාන ව්‍යාපාරයක් ලෙස ආරම්භ කරන ලද්දකි. බොහෝ උත්සාහයන් මත ආරම්භ කරන ලද මෙම ව්‍යාපාරයේ අරමුණු සාක්ෂාත් කරගනු ලබන්නේ 1970 වසරේදීය. ඒ අනුව මේ වන විට වසර වසර 55 ක් ඇමෙරිකාව මගින් ‘මිහිතල දිනය’ සමරා ඇති නමුත්, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මගින් මෙම දිනය ජාත්‍යන්තර දිනයක් ලෙස 2009 වසරේදී පිළිගත් නිසා සැබෑ ලෙසම වසර 16 ක් ඒ යටතේ සමරා ඇත. අනාගතය සඳහා මිහිතලය සහ එහි පරිසර පද්ධති ආරක්ෂා කරමින් මානව වර්ගයා ඇතුළු සකල ලෝකවාසී ජීවීන්ගේ පොදු නිවහන ලෙස පෘථිවිය සුරැකීම මෙම මිහිතල දිනයේ සරල අරමුණයි.
එසේම, ජෛව විවිධත්වය සංරක්ෂණය, සෝදාපාළුව අවම කිරීම, ජනයා දේශගුණික විපර්යාසයන්ට අනුහුරු කරවීම යන ප්‍රධාන අරමුණු තුනක් වෙත යොමුකරවමින් මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ (UNDP) (United Nations Development Programme-UNDP) සුළු මූල්‍යාධාර වැඩසටහන (Small Grant Programme-SGP) මගින් ජගත් පාරිසරික පහසුකම් (Global Environmental Facility-GEF) මූල්‍යාධාර යටතේ වැඩසටහනක් ශ්‍රී ලංකාවේද ක්‍රියාත්මක වේ. කොළඹ සහ මන්නාරම තෙත්බිම් සංරක්ෂණය සඳහාද, දුම්බර නොහොත් නකල්ස් ලෝක උරුම සංරක්ෂිත කඳුකර වනාන්තරය සංරක්ෂණය සඳහාත් ඒ අනුව වැඩසටහන් (භූදර්ශ) තුනක් ක්‍රියාවට නැඟේ. නකල්ස් නොහොත් දුම්බර කේන්ද්‍ර කරමින් මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්ක දෙකේ පිළිවෙළින් ග්‍රාමීය ව්‍යාපෘති 7 ක් සහ 4 ක් ද සම්පූර්ණ නකල්ස් කලාපය සඳහා එක ව්‍යාපෘතියක්ද බැගින් ව්‍යාපෘති 12 ක් ක්‍රියාවට නැඟේ. මේ ව්‍යාපෘති 12 සඳහා දැනුම කළමනාකරණය පිණිස ‘දුම්බර මිතුරෝ පරිසර සහ සංස්කෘතික සංගමය’ ක්‍රියාකරනු ලබයි.
මේ සියලු කටයුතුවල අරමුණද ‘මිහිතලය සුරැකීමය’ එබැවින් අදට යෙදෙන මිහිතල දිනය අප සියල්ලන්ටම ඉතා වැදගත් දිනයක් බව පැවසිය යුතුය.
දුම්බර මිතුරෝ පරිසර සහ සංස්කෘතික සංගමය