හිඟන්නගේ පාත්තරේට හෙනහුරා ලෑන්ඩ් කිරීම!
වේල පිරිමහගන්න, පොල් සම්බෝලයි බතුයි කන්නත් රුපියල් 500ක් හොයන්න වෙයි!
දෙයියන්ගේ හාල් සහ එළොව පොල්
පාර්ලිමේන්තුවේ අය වැය විවාදයේ තෙවන වර කියවීම මේ වන විට ආරම්භ වී තිබේ. අභිනවයෙන් පත් වූ පාර්ලිමේන්තුවේ මංගල අයවැය හා හා පුරා සම්මත වීමට කිසිදු බාධකයක් නොවන බව කිසිවෙකුටත් නොරහසකි. නමුත් කියුම් ටොන් ගණන් වූ ආණ්ඩුවක කෙරුම් නම් දුසිම්වලින් බව සමාජයේ කොයි කවුරුත් මුමුණන්නට පටන්ගෙන තිබේ. සැබෑ ජනතා ප්‍රශ්නවලට විසඳුම් නොසොයා, සාම්ප්‍රදායික ලෙසම තාවකාලික පැලැස්තර දැමීමෙන් රට පාලනය කිරීමට ක්‍රියා කරන්නේ නම් එය ආණ්ඩුවේ ඇඟට එතරම්ම ගුණදායක නොවන බව නම් පැහැදිලිය.
2025 උදාවන්නේම අභිනව ජනාධිපතිවරයකුගේ හා නවක මැති ඇමැතිවරුන් රැසකගේ ආගමනය සිදු වූ, රටේ ආර්ථික හා සමාජීය වශයෙන් පුනරුද යුගයක ආරම්භය සටහන් කෙරෙන සුවිශේෂී වසරක් ලෙස ජන හදවත් තුළ බලාපොරොත්තුවේ පහන් දැල්වූ වසරක් ලෙසිනි. ඒ අනුව වර්තමානයේදී රජය විසින් ඉදිරිපත් කර ඇති අය වැය ද සහන මල්ලක්ම රැගෙන එනු ඇතැයි බහුතර ජනතාවගේ දැඩි අපේක්ෂාව වූ බව නිසැකවම කිව හැකිය. එහෙත් ඉදිරිපත් කර ඇති අය වැය සම්බන්ධයෙන් නම් එවැනි ප්රශස්ත මට්ටමක තත්ත්වයක් නිරීක්ෂණය නොවේ. දැන් ජනතාවට ඇත්තේ අඩුම ගණනේ ගෙදරට ගන්නා හාල්, පොල් ටිකවත් සහන මිලට සපයා ගැනීමේ අවශ්‍යතාව වේ. ඊයේ වන විටත් ජනතාවට වෙළෙඳපොළ තුළින් තම තමන්ගේ අවශ්‍යතාව පරිදි සහල් ලබා ගැනීමටත්, අඩුම තරමේ පොල් ගෙඩියක් හෝ පහසු මිලකට සපයා ගැනීමේ අවස්ථාවක් උදාවීී නැත. කුඩා ප්‍රමාණය පොල් ගෙඩි පවා රු.200/- මිල සීමාව අභිබවා ගමන් කර ඇති අතර, විශාල ප්‍රමාණය පොල් ගෙඩි රු.240/- ට ද විකිණීමට වෙළෙන්දන් කටයුතු කරනු ලැබේ. හාල්වල තත්ත්වය ද එසේමය. එක්කෝ නාඩු නැත. එක්කෝ සම්බා නැත. නැත්තම් කැකුළු නැත. දැන් අලුත්ම තත්ත්වය කීරි සම්බා හිඟය යි. තිබෙන තැන්වල ද අලෙවි කරන්නේ රහසිගතවය. විටෙක එය කිලෝව රුපියල් 300 සීමාව පසු කරයි. මොනවා තිබුණත් කෑම නැති වුණොත් කිසිවක් පවත්වාගෙන යා නොහැකි බව පාලකයන්ට ඉතා ඉක්මනින් අවබෝධ වනු ඇත. හෙට අනිද්දා වන විට නම් “පොල් සම්බෝලයයි බතක් කන්නට රුපියල් 500 ක් වියදම් කරන්නට වන තත්ත්වයක් රටට උදා වී තිබේ.”
ප්‍රධාන ආහාරය බත් ද? පාන් ද?
අතීතයේ සිටම තුන්වේලටම බත් කෑ ජාතියක් ලෙස ශ්‍රී ලාංකිකයන් හැඳින්විය හැකිය. ඒ නිසාවෙන්ම මෙරට ප්‍රධාන ආහාරය බත්ය. ප්‍රධාන කෘෂිකාර්මික භෝගය ‘වී’ ය. නමුත් වී වගාවත්, බත් කෑමත් දැන් මිනිස්සුන්ට ගැටලුවක් වී තිබේ. හතර දෙනෙකුගෙන් යුත් පවුලක තුන්වේල සපයා ගැනීමට රුපියල් දෙදහක් තුන් දහක් වියදම් කළ යුතු කාලයක් එළඹ තිබේ. එය ඒකපුද්ගල ආදායම් ඉතා අඩු අගයක පවතින ශ්‍රී ලංකාව තුළ ඉතා දුෂ්කර කටයුත්තකි. බොහෝ ජනතාව දිළිඳු බවින් පීඩා ලබමින් සිටිති. එබැවින් ඉදිරියේදී මෙරට ජනතාවගේ ප්‍රධාන ආහාරය බත් ලෙස පැවතීම වෙනස් විය හැකිය. දැනටත් මිනිසුන් තුන් වේලෙන් දෙවේලක් පාන්පිටි ආහාර හෝ පාන් මත යැපීමට නිරායාසයෙන්ම හුරු වීී තිබේ. විදුලි බිල අඩු කිරීම නිසා පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට පසුගිය දා සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කළ අතර, රුපියල් දහයකින් හෝ පාන් රාත්තලක මිල අඩුවීම මෙරට බහුතර ජනතාවට අස්වැසිල්ලක් විය. මන්දයත් එය මාසිකව ගත් කල සැලකිය යුතු ඉතිරියක් පවුලකට ගෙන දෙන බැවිනි. හාල්, පොල් මෙන් පාන්පිටි ආහාර නම් මෙරට හිඟ නැත. පාන්පිටිවලින් මෙරට පරිපූර්ණ වී ඇති නිසා අනාගත ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාරය ‘පාන්’ ලෙස භාවිත වූවොත් එයට පුදුම වීමට කම් නැත. නමුත් ‘හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා කඩා වැටුණා සේ’ දියවැඩියාව, කොලෙස්ටරෝල්, ස්ථුලතාවය ඇතුළු බෝ නොවන රෝග කාණ්ඩයේ ලෙඩ රෝගවලින් පීඩා විඳීමට ශ්‍රී ලාංකීය මහජනතාවට සිදුවනු ඇත.
● මන්ද පෝෂණය හා පාසල් දරුවන්ගේ අනාගතය!
පාසල් දරුවන්ගේ ආහාර වේලේ ගුණාත්මකභාවය පරීක්ෂා කළ යුතුයි!
● දරුවන්ට ‘ත්‍රිපෝෂ’ කලට වේලාවට ලැබෙනවද?
පසුගිය කොවිඩ් වසංගත තත්ත්වයෙන් අනතුරුව මෙරට දරුවන්ගේ පාසල් අධ්‍යාපන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම වාගේ පරිවර්තනය වූ අතර දුරස්ථ අධ්‍යාපනය හා නවීන සන්නිවේදන තාක්ෂණ ඔස්සේ අධ්‍යාපනය ලැබීම දක්වා පැවති අධ්‍යාපන රටාව වෙනස් විය. නමුත් විවිධ ආර්ථික අපහසුතා හා ආහාර වේල් සපයා ගැනීමේ අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීමට නොහැකි වීම මතත්, මෙරට කුඩා දරුවන් බහුතරයක් මන්ද පෝෂණයෙන් පෙළෙන බවත් සෞඛ්‍ය අංශයේ වාර්තා අනාවරණය කිරීමත් සමග පසුගිය රජය විසින් පාසල් තුළ දරුවන්ට දිවා ආහාර වේලක් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. බහුතරයක් පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි සඳහා මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව අදටත් ක්‍රියාත්මක වන නමුත්, එක් දරුවකුගේ ආහාර වේලක් සඳහා වෙන්කර ඇති මුදල ප්‍රමාණවත් නොවන නිසා, එම දරුවන්ට ලබාදෙන ආහාර වේලේ ගුණාත්මක භාවය පිළිබඳ බොහෝ දෙමව්පියන්ගෙන් ද දරුවන්ගෙන් ද මැසිවිලි පාසල් පද්ධතිය තුළින්ම අසන්නට ලැබේ. නිසි පරිදි සහල් ටික පොල් ටිකවත් සොයාගන්නට නොමැති විටෙක, අවම මට්ටමේ මුදලක් වෙන්කර දරුවන්ට ගුණාත්මකව ආහාර වේලක් ලබාදීමට කටයුතු කිරීම ප්‍රායෝගිකව පහසුවෙන් සිදු කළ හැකි නොවේ. එබැවින් රජය විසින් මෙම ලබාදෙන ආහාර වේලේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් වහාම සොයා බලා, එම කටයුත්ත දිගින් දිගටම සිදුකරගෙන යෑම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීම මල් කැකුළුවන් දරුවන්ගේ නීරෝගීමත් අනාගතය සඳහා ඉවහල් වනු ඇත.
එමෙන්ම කොවිඩ් වසංගත තත්ත්වය හා ඒ ආසන්න කාලය තුළ ඉපදුන දරුවන්ගේ අඩුබර උපත් හා මන්දපෝෂණ තත්ත්වයන් වාර්තා වී ඇති අතර දරුවන්ට හා ගර්භණී මාතාවන්ට ලබාදෙන ත්‍රිපෝෂ නිසි වේලාවට, නිසි පරිදි දරුවන්ට ලැබීමේ ක්‍රමවේදයේ ද ගැටලු පවතින බව සමාජයේ දැඩි කතාබහට ලක්වේ. විශේෂයෙන් මාස කීපයකට වරක් පමණක් අඩුබර දරුවන් සඳහා ත්‍රිපෝෂ ලැබෙන බව බොහෝ මාතාවන් නිරන්තරයෙන් පවසනු ලැබේ. නිෂ්පාදනය කරනු ලබන ත්‍රිපෝෂ ප්‍රමාණය කොතෙක්ද, ඒවා නිසි පරිදි ලැබිය යුතු දරුවන්ට මාස් පතා ලැබෙන්නේද, ත්‍රිපෝෂ හිඟයක් හෝ ඒවා දරුවන් වෙත ලැබීමේ ක්‍රියාවලියේ යම් යම් ගැටලු පවතී නම් ඒ සඳහා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල වෛද්‍යවරුන් ලවා අධීක්ෂණය කොට උචිත පිළියම් යෙදීමට රජය ප්‍රමාද නොකළ යුතුයි. මන්දයක් දරුවන්ගේ කුසගින්න යනු රජයකට කිසි දින අමතක කළ නොහැකි කාරණයක් නිසාවෙනි. ඊටත් වඩා එය අපට නිරෝගිමත් ජාතියක් බිහිකර ගැනීම සඳහා වූ අභිප්‍රාය ද අවදානමට ලක් කරන අතර රටේ අනාගත සංවර්ධනයට ද දැඩි සේ බලපෑම් එල්ල කරනු ලබන බව අවධානයට ලක් කළ යුතුය.
ජනක බෝකුඹුර