ශ්‍රී ලංකාව අපරාජිත වෙයි

76

ශ්‍රී ලංකා, අයර්ලන්ත, ඇෆ්ගනිස්ථාන තුන්කොන් තරගාවලිය

නායක සදීර සමරවික්‍රම ඇතුළු මුල් පෙළ පිතිකරුවන්ගේ විශිෂ්ට පිතිහරඹයත්, දිල්ෂාන් මධුසංඛගේ සහ දුෂාන් හේමන්තගේ අගනා පන්දු යැවීමත් හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා A, ඇෆ්ගනිස්ථාන A සහ අයර්ලන්ත A අතර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

පෙරේදා (19 දා) ඩුබායිහිදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායමට පන්දු වාර 46ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 192ක් පමණි.

ලකුණු 193ක අභියෝගයක් ජයගැනීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 27යි පන්දු 1ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 193ක් ලබාගනිමින් තරගයේ ජය ලබාගැනීමට සමත්විය.

ඒ අනුව මෙම තුන්කොන් තරගාවලිය යටතේ පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්තය අතර පැවැති අතර එම තරගයෙන් ලකුණු 45ක ජයක්ද, ශ්‍රී ලංකාව මුහුණදුන් දෙවැනි තරගය ඇෆ්ගනිස්ථානයට එරෙහිව කඩුලු 6ක ජයක්ද, තෙවැනි තරගයෙන් ද කඩුලු 6ක ජයක්ද ලබාගනිමින් තරගාවලියේ අපරාජිත බව ආරක්‍ෂා කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටී.

අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී ක්‍රිස්ටෝපර් ඩි නොදැවී ලකුණු 67ක්, මෝගන් ටොපින් ලකුණු 45ක් සහ ස්ටෙෆන් ඩොහිනි ලකුණු 31ක් ලැබීය.

පන්දු යැවීමේදී දිල්ෂාන් මධුසංඛ ලකුණු 44කට කඩුලු 4ක්, දුෂාන් හේමන්ත ලකුණු 24කට කඩුලු 3ක්, මිලාන් රත්නායක ලකුණු 26කට කඩුලු 2ක් සහ තරිඳු රත්නායක ලකුණු 34කට 1 කඩුල්ලක් දවාලීය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී ලසිත් කෲස්පුල්ලේ ලකුණු 53ක්, නායක සදීර සමරවික්‍රම නොදැවී ලකුණු 50ක් සහ ලහිරු උදාර ලකුණු 47ක් ලැබීය.

පන්දු යැවීමේදී ගැවින් හෝයි ලකුණු 47කට කඩුලු 3ක් බිඳහෙළීය.

තරගයේ වීරයා ලෙස ලකුණු 44කට කඩුලු 4ක් බිඳහෙලූ දිල්ෂාන් මධුසංඛ සම්මාන ලැබීය.
සිසිර ඉන්ද්‍රජිත්


advertistmentadvertistment