ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගාවලියේ ජය කලින්ම වෙන්කර ගනිති

320

කවීෂාගෙන් තුන් ඉරියව් දස්කම්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින තරගයෙන් කඩුලු 5ක ජයක් අත්කර ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

එම ජයග්‍රහණයත් සමග තරග තුනකින් සමන්විත තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකිවිය.

හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊයේ (18දා) පැවැති දෙවැනි තරගයේ පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට පන්දුවාර 31ක් තුළ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 92ක් පමණි.

ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 21යි පන්දු 2ක් තුළ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 93ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ තර්ජනාත්මක පන්දු යැවීම හමුවේ බටහිර ඉන්දීය කොදෙව් පිතිකාරිනියන්ට පිටියේ ස්ථාවර වීමට නොහැකි වූ අතර බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ නායිකාව වන හේලි මැතිව්ස් මෙම තරගය සඳහා ක්‍රීඩා නොකළාය.

ඒ අනුව පන්දුවට පහරදීමේදී කොදෙව් කණ්ඩායම වෙනුවෙන් රෂාඩා විලියම්ස් ලකුණු 24ක්, ඒලියා ඇලන් ලකුණු 16ක් සහ අෆී ප්ලෙචර් ලකුණු 16ක් ලැබීය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කවීෂා දිල්හාරි ලකුණු 20කට කඩුලු 4ක්, අචිනි කුලසූරිය ලකුණු 16කට කඩුලු 2ක් සහ චමරි අතපත්තු ලකුණු 8කට කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වූහ.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශ්මි ගුණරත්න ලකුණු 50ක් සහ කවීෂා දිල්හාරි ලකුණු 28ක් ලබාගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී ලකුණු 20කට කඩුලු 4ක් සහ පිත්තෙන් ලකුණු 28ක් ලබාගත් කවීෂා දිල්හාරි තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබීය.

ලකුණු සාරාංශය

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 31ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 92යි.

රෂාඩා විලියම්ස් 24, ඒලියා ඇලන් 16, අෆී ප්ලෙචර් 16.

කවීෂා දිල්හාරි 20-4, අචිනි කුලසූරිය 16-2, චමරි අතපත්තු 8-2, සුගන්දිකා කුමාරි 16-1

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 21.2ක් තුළ කඩුලු 5ක් දැවී ලකුණු 93යි.

විශ්මි ගුණරත්න 50, කවීෂා දිල්හාරි 28.

කරිෂ්මා රාම්හර්ක් 29-2, ෂහීඩා ජේම්ස් 21-1, ඒලියා ඇලන් 15-1, ෂාමිලා කෝනෙල් 13-1

සිසිර ජයසූරිය


advertistmentadvertistment