ශ්‍රී ලංකා සහ බ. ඉ. කොදෙව් කාන්තා ප්‍රථම එක්දින තරගය හෙට

121

අයි.සී.සී. කාන්තා එක්දින ක්‍රිකට් ශූරතා තරගාවලියට අදාළව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ ප්‍රථම තරගය හෙට (15 දා) හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පෙ.ව. 10.00ට ආරම්භ වීමට නියමිතව ඇත.

ඒ අනුව මෙම තරගාවලියේ දෙවන තරගය 18දාත්, තෙවන තරගය 21දාත් හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ. මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි චමරි අතපත්තුට හිමිව ඇති අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හේලි මැතිව්ස්ට හිමිව තිබේ.

මේ වන විට අයි.සී.සී. කාන්තා එක්දින ක්‍රිකට් ශූරතා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ කොදෙව් කාන්තාවන් 7 වැනි ස්ථානයේත්, ශ්‍රී ලංකාව 8 වැනි ස්ථානයේත් පසුවේ.

එසේම අවසන් වරට එක්දින තරගාවලියකදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තාවන් එකිනෙකා මුණගැසී ඇත්තේ 2017 වසරේදී වන අතර බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී පැවැති එම තරගාවලියෙන් තරග 3-0ක පූර්ණ ජයක් කොදෙව් ක්‍රීඩිකාවන්ට හිමි විය.

ශ්‍රී ලංකා සංචිතය

චමරි අතපත්තු (නායිකා), කවීෂා දිල්හාරි, ඉනෝෂි ප්‍රියදර්ශනී, විශ්මි ගුණරත්න, හංසිමා කරුණාරත්න, කාව්‍යා කාවින්දි, අචිනි කුලසූරිය, සුගන්දිකා කුමාරි, හර්ශිතා සමරවික්‍රම, සචිනි නිසංසලා, හසිනි පෙරේරා, උදේශිකා ප්‍රබෝදනී, ඕෂධී රණසිංහ, ඉනෝකා රණවීර, අනුෂ්කා සංජීවනී, නිලක්ෂිකා සිල්වා.

බ. ඉ. කොදෙව් සංචිතය

හේලි මැතිව්ස් (නායිකා), චේමෙන් කැම්බල්, ඒලියා ඇලන්, ෂේමිලා කොනෙල්, ඒ. ප්‍රෙචර්, චෙරී ප්‍රෙචර්, සදීකා ගජ්නබ්, චිනලි හෙන්රි, කුයීනා ජෝසප්, චෙරඩීන් නේෂන්, කරිෂ්මා රාම්හරන්, ස්ටෙපනි ටේලර්, රෂාඩා විලියම්ස්, කේල් විල්මට්, සයිඩ් ජේම්ස්.

සිසිර ජයසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment