ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීම සම්බන්ධයෙන් සිය සංගමයට ඇති ගැටලු පිළිබඳව කරුණු දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීමේදී විනිවිදභාවය, කුසලතාවය, නීතිමය සහ සදාචාරාත්මක ප්‍රමිතීන් පිළිපැදීමේ වැදගත්කම, ජනාධිපති නීතිඥ අනුර බී. මැද්දේගොඩ මහතාගේ අත්සනින් යුත් එම ලිපියෙහි සඳහන් වේ.
පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමේදී සහ නීතියේ ආධිපත්‍යය සහතික කිරීමේදී අධිකරණයේ වැදගත් කාර්යභාරය පෙන්වා දී ඇති ශ්‍රී ලංකා නීතිඥ සංගමය, අධිකරණ පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය පවත්වා ගැනීම සඳහා විනිසුරුවරුන් පත් කිරීමේ ක්‍රියාවලිය, ජ්‍යෙෂ්ඨත්වය, සුදුසුකම් සහ කුසලතාව මත පදනම්ව සිදුවිය යුතු බව ද සඳහන් කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ වනවිට පුරප්පාඩු හතරක් පවතින බව සිය ලිපියෙන් ජනාධිපතිවරයා වෙත කියා ඇති ශ්‍රී ලංකා නීතිඥ සංගමය එම තනතුරු පිරවීම අධිකරණයට සහ පුළුල් නීති පද්ධතියට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි බව ද සඳහන් කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයට කරනු ලබන පත්වීම් අඛණ්ඩතාව, ස්වාධීනත්වය සහ නිපුණතාවය පිළිබිඹු කරන බව සහතික කරන නිර්ණායක අනුගමනය කරන ලෙස ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය ලිපිය මගින් රජයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
සුජීව තත්සර