ශාන්ත අන්තෝනි තුමා

69

අන්තෝනි මුනිතුමා උපත ලැබුවේ, දෙව්මවුන් සවර්ගාරෝහණ වූ දිනය වූ 1195 අගෝස්තු 15 දින පෘතුගාලයේ “ලිස්බන්” නගරයේය. මුලදී “පර්ඩිනන්ඩ්” නමින් ශාන්ත “අගෝස්තීනු” පැවිදි පන්තියට අයත්ව සිටිය ද පසුව “අන්තෝනි” නමින් මෙතුමා “ශාන්ත ප්‍රැන්සිස්කානු” නිකායට ඇතුළු වූයේය. දේශනාවාදියකු ලෙසින් ඉතාලියේ “පාදූවා” පුරවරයේ ජීවත් වූ මෙතුමා එක් සමයක අප වැනිම මනුෂ්‍යයකු වූ අතර මහිමාන්විතව සිටිය ද මානූෂීය ගුණාංගවලින් පරිපූර්ණව භේදයකින් තොරව කාටත් උපකාර කරන්නට දෙවියන් ඉදිරියේ මධ්‍යස්ථ වන බව කවුරුත් නිසැකව පිළිගත් කරුණකි. “මිථ්‍යාදෘෂ්ටිකයන් නසන යකුල” යන විරුදාවලිය ලත් මෙතුමා දෙවිඳුන්ගෙන් ලැබූ ආශ්චර්යවත් වරප්‍රසාද අතර, මළවුන් නැගිටවීම, විවිධ දේශයන්හි එක්විට පෙනීසිටීම. සිත් ගන්නා ලෙසින් භාෂා කීපයක් එකවර කතා කිරීම, රෝගීන් සුව කිරීම, නැති වී ගිය දේ සොයාදීම විශේෂිත වේ. එතුමන්ගේ පාරිශුද්ධ වූ චරිතය තුළ සැඟව තිබූ උතුම්වූත්, අපිරිමිතවූත් මානවදයාගුණය ඉවසීම බැහැපත්කම හා කාරුණික බව නිසාම සාන්තුවරයන් අතර ආනුභාවසම්පන්න අයකු විය. බිලිඳු ජේසූ තුමන් තම ඇකයෙහි හොවාගන්ට තරම් භාග්‍ය ලත් මෙතුමා නිරන්තරයෙන් බැතිමතුන්ගෙන් පිදුම් ලබයි.

ශූද්ධ වූ අන්තෝනි තුමන්ගේ, පාරිශුද්ධ කාර්යශීලී ජීවිතය 1231 ජුනි 13 දින අවසන් වූ අතර, එවකට එතුමා 36 වැනි වියෙහි පසුවිය. එතුමා දෙවිඳුන් ඉදිරියේ කොතරම් වටින්නේදයත්, එතුමන්ගේ ආශීර්වාදලත්, “ජීහ්වධාතුව” සජීවීව අදත් පාදුවාවේ බැසිලිකා දෙව් මැඳුරේ විශේෂ මංජුසාවක තැන්පත් කොට ඇත.

එම්.එස්. රංජනී පෙරේරා
දුන්ගාල්පිටිය.

advertistmentadvertistment
advertistmentadvertistment