ශාන්ත පීතර පාසල් රග්බි පිටියේ අණසක පතුරවයි

139

“ජනාධිපති අභියෝග කුසලාන” අන්තර් පාසල් වයස අවුරුදු 20 න් පහළ පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව තහවුරු කර ගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල නියෝජනය කළ ක්‍රීඩකයෝ ඊයේ (10 වැනිදා) සමත් වූහ.

එකී අනුශූරතාව කොළඹ ඉසිපතන විදුහලට හිමි විය.

ඉසිපතන විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර කොළඹ සුගතදාස පිටියේ පැවති තීරණාත්මක අවසාන මහා සටන අපේක්ෂා කළ පරිදි ආරම්භයේ සිට අවසානය දක්වාම තියුණු හා උණුසුම් මුහුණුවරක් ඉසිලීය.

එක් අවස්ථාවක ඉසිපතන විදුහලට ද තවත් අවස්ථාවක ශාන්ත පීතර විදුහලට ද ජයග්‍රහණය දෝලනය වන ආකාරයක් පෙනෙන්නට තිබුණි. එහෙත් ප්‍රතිවාදී ඉසිපතන විදුහලෙන් එල්ල වූ අභියෝගයට සංවිධානාත්මකව මුහුණ දෙමින් තරගයේ ජයග්‍රහණය ලකුණු 25 – 16 ක් ලෙස තමන් සතු කර ගැනීමට ශාන්ත පීතර විදුහලට හැකි විය.

එහි ප්‍රතිඵලයක් ලෙස මෙවර ප්‍රමුඛ පෙළ පාසල් රග්බී පාපන්දු කෙළිබිමේ ලීග් ශූරතාව මෙන්ම පිළිමළුන් පිටු දැකීමේ ශූරතාව ද බම්බලපිටියට රැගෙන යෑමට ශාන්ත පීතර ක්‍රීඩකයන්ට හැකි වීම කැපී පෙනුණි.

ජයග්‍රාහී ශාන්ත පීතර විදුහල ගෝල් දිනුම් 02 ක් සහ එක් උත්සාහක දිනුමක් සමගින් දඬුවම් පහර 02 ක් ආශ්‍රිතව තම ලකුණු පුවරුව ඉහළ නංවා ගත් අතර පරාජිත ඉසිපතන විදුහල උත්සාහක දිනුම් 02 ක් සහ දඬුවම් පහර 02 ක් සාර්ථක කර ගත්තේය.

ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රාහක ශක්තිය ඇතිව ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් මෙවර තරගාවලිය මෙහෙයවන ලදී.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment