ශීල ගුණැති යතිවර මඟ අරියවංශ සද්ධම්ම යුක්ති සැමරුම් වග

9

වසර එකසිය විසිපහක ගමන් මඟ

මහා විහාර වංශික අමරපුර නිකායේ වර්තමානයේ පාර්ශ්වයන් විසිදෙකක් ප්‍රභේද වී තිබේ. ඊට හේතු කාරණා විවිධය. මෙහිදී මාතෘකා වන්නේ වර්ෂ 1900 දී ආරම්භ කරන්නට යෙදුණු අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික නිකාය පිළිබඳවයි. මෙම නිකායේ ආරම්භය සනිටුහන් වන්නේ සියම් මහ නිකායේ පහතරට භික්ෂු පරම්පරාව හෙබවූ පූජ්‍ය කතළුවේ ගුණරත්න මහ ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් අමරපුර කල්‍යාණවංශය පිහිටුවීමෙනි. පසුකාලීනව මෙම නිකායේ උපසම්පදාව ලත් මාතර ධම්මාරාම ස්වාමීන් වහන්සේ භික්ෂූන් පිරිසක් සමග එක්ව අමරපුර සද්ධම්ම යුක්ති නිකාය පිහිටුවා ගත්හ. මෙම මාතර නිකායේ ශිල සම්පන්න භික්ෂූන් වහන්සේ නමක් වූ පූජ්‍ය වලේබොඩ පියරත්න ස්වාමීන් වහන්සේ කීපවිටක් ම අමරපුර නිකායේ උපසම්පදාව ලබාගෙන කටයුතු කිරීමට උත්සාහ දැරුව ද එය ව්‍යාර්ථ වී බුරුමයට වැඩම කොට වර්ෂ 1838 රාමවතී පුරයේ දී උපසම්පදාව ලැබ ආපසු ලක්දිවට පැමිණ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා නවදෙනකු බිහි කළහ. මේ අතර අමරපුර සද්ධම්මවංශ මහා නිකායේ මහානායකව වැඩ සිටි මාතර ධම්මාරාම හිමි අපවත් වීමෙන් පසු ඇති වූ වියවුල් තත්ත්වයක් නිසා වලේබොඩ පියරතන හිමියන් විසින් වෙනම නිකායක් බිහි කිරීම පිණිස ඇති කළ පසුබිම ප්‍රයෝජනයට ගෙන වර්ෂ 1900 වෙසක් පුර පෑලවිය ලත් රිවි දිනයේ දී කළුතර බෝඹුවල ශ්‍රී සුබෝධිරාජාරාමයේ දී අභිනව නිකායක් එනම් අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික නිකාය බිහි කිරීම පිණිස තීරණයක් ගෙන තිබේ. දැන් මේ නිකායට වර්ෂ එකසිය විසිපහක් සපිරෙයි. මෙම සැමරුම් උත්සවය 2025 අප්‍රියෙල් මස 29 දින සිට මැයි මස 08 වන දින දක්වා කළුතර බෝඹුවල ශ්‍රී සුබෝධිරාජාරාමයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එහිදී උපසම්පදා මහොත්සවය ද කුල දරුවන් 100 ක් පැවිදි කරලීමේ උත්සවය ද පැවැත්වේ.

ශීල ගුණැති යතිවර මඟ අරියවංශ සද්ධම්ම යුක්ති සැමරුම් වග

කළුතර බෝඹුවල ග්‍රාමය අතීතයේ සිට ම රාජ පූජිත වූ ගම්වරයෙකි. කෝට්ටේ හයවන පරාක්‍රමබාහු රජතුමා සිය මව සිහි වීම පිණීස තැනූ පැපිළියානේ සුනේත්‍රා දේවී පිරිවෙනට පුද දෙනු ලැබූ ගම්වර අතර මග්ගොන බද්දෙන් බෝඹුවල ද විශේෂ යැයි පැපිළියාන සන්නසේ සඳහන් වේ. ඒ නිසාම එය රාජ පූජිත ගම්වරයකි. සුවිශේෂී ප්‍රභූවරුන්ට වාස භූමිය සැලසූ මෙහි වර්ෂ 1840 දී පමණ මහා ශාස්ත්‍ර ආලෝකයක් ඇති විය. පෙර සඳහන් කළ පූජ්‍ය වලේබොඩ පියරත්න ස්වාමින් වහන්සේගේ ශිෂ්‍යවරයන් වහන්සේ වන පොල්දූවේ ධම්මාරාමතිස්ස නම් හිමි නමක් බෝඹුවල ගම්පියසේ වස් වැස සිටියහ. නමුත් උන්වහන්සේ වැඩි කලක් එහි රැඳුනේ නැත. ඒ කාලයේ බෝඹුවල ගම්පියසේ පොලිස් විදානේ වශයෙන් සිටි සිරිනේරිස් පොලිස් විදානේ මහතාට ආවාස ඉඩම රුපියල් දහයකට අලෙවි කොට උන්වහන්සේ සිය ගම්පියසට වැඩම කරන ලද්දේ ඥාතීන් ගේ ඉල්ලීම පිටය. නමුත් බෝඹුවල ගම්වාසීන් පසුබට නොවීය. පූජ්‍ය වලේබොඩ පියරත්න ස්වාමින් වහන්සේගේ තවත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් වූ මහගම මංගල තිස්ස හිමියන් වහන්සේ ගමට වැඩම කරවා වස් වස්සවා බෝධින් වහන්සේ නමක් රෝපණය කර ඇරඹූ විහාරස්ථානය එකල දූවේ විහාරස්ථානය නමින් ප්‍රකට විය. ඒ අතර වස්කඩුවේ සුභූති නායක ස්වාමින් වහන්සේගේ පැවිදි පරපුරේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් වූ බෝඹුවල දස්සනසාර නායක ස්වාමින් වහන්සේ මෙහි වැඩම කරවන ලද්දේ ගම්වාසීන්ගේ දැඩි ඉල්ලීම මතය. වර්තමාන සඟ පරම්පරාව ඇරඹෙන්නේ මේ ශිල ගුණ සම්පන්න යතිවරයන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා අතිනි. ඒ අතර පූජ්‍ය ගිරිකොළ ධම්මාලංකාර නිකාය ලේකම් හිමි පූජ්‍ය බෝඹුවල විමල වංශ සහ වත්මන් විහාරාධිපති පූජ්‍ය හල්වතුරේ අස්සජි අධිකරණ සංඝනායක යන ස්වාමින් වහන්සේලා කැපී පෙනෙති.

ශීල ගුණැති යතිවර මඟ අරියවංශ සද්ධම්ම යුක්ති සැමරුම් වග

බෝඹුවල සුබෝධිරාජාරමායේ ස්වර්ණමය යුගය 1850 සිට 1920 දක්වා දිවෙයි. ඒ කාලය තුළ වර්ෂ 1860 දී පමණ සීමා මාලකය සහ දළදා මන්දිරය ද 1905 වසරේ දී විහාර ගෙය ද 1916 දී ධර්ම ශාලාව සහ සංඝාවාසය ද 1929 දී චෛත්‍යරාජයාණන් වහන්සේ ද ආදී විහාර අංගයන් සංවර්ධනයට බඳුන් කරනුයේ යථෝක්තව සඳහන් කළ පූජ්‍ය මහගම මංගලතිස්ස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ මෙහෙය වීමෙනි. විහාරස්ථානයේ තිබූ පැරණි ලේඛන පරීක්ෂා කර බලන කල්හි ඒ කාලයේ විහාරස්ථානයේ කටයුතු සංවිධානය කර ගැනීමට පත් කළ නිලයක් වන විහාර මැම්බර් තනතුර ගැනද කියැවෙයි. මහා විහාරයේ පැවති දේපළ බලාගැනීමේ ක්‍රියාවලියට පත් කර තිබූ සංගක්කාර තනතුර මෙන් මෙය ද ගෞරවනීය තනතුරක් විය. දේපළ සංවර්ධනයට ඒ තනතුර හෙබවූ පුද්ගලයා දායක විය. ගණන් මිනුම් හරිහැටි ඉෂ්ට සිද්ධ කර විහාරස්ථානයට අය වියයුතු මුදල් ලබාදීම සිදු විය. සමහරක්විට විහාරගම් දේවාලගම් පනත ආශ්‍රයෙන් මෙවැනි තනතුරක් ඇති වූ බව සිතිය හැකිය.

මේ වනවිට මේ සද්කටයුත්ත සිදු වී වර්ෂ 125 ක් ගතව තිබේ. මේ නිකාය පාර්ශ්වය යටතේ පළාත් සංඝ සභාවන් නවයක් බිහිව තිබේ. ඒ අනුව විහාරස්ථාන පන්සිය දහයක.ි ස්වාමීන් වහන්සේලා දෙදහසකට අධික සංඛ්‍යාවක් පැවිදිව සිටී.

විසිවන සියවස මුල් දශකයේ 1903 දී පමණ ඇරඹි පළමු උපසම්පදාවෙන් පසු 1916 දී බෝඹුවල සුබෝධිරාජාරාම සීමාමාලකයේ දී උපසම්පදා උත්සවය පැවැත්වූ අතර එදින මුද්‍රණය කර බෙදා හරින ලද ‘විභජ්ජවාදිනො අරහතො සම්බුද්ධස්ස’ නම් වූ පත්‍රිකාව මගින් උපසම්පදා උත්සවයට සම්බන්ධවී සිටි භික්ෂුන් වහන්සේලාගේ නාම ලේඛනය පාළියෙන් රචනා කර ප්‍රසිද්ධ කර ඇත. මේ වනවිට උපසම්පදා උත්සව 44ක් පවත්වා ඇති අතර මෙවර හතළිස් පස් වන උපසම්පදා පින්කම ද කළුතර බෝධි පරිශ්‍රයේ දී සිදු වෙයි. මේ නිකාය පාර්ශ්වය මගින් කරන සේවාවන් ද අතිවිශාලය සමාජ සේවා කර්තව්‍යයන් ද සුවිශාලය. ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනය බැබළ වීමට මෙවැනි ශීල ගුණ සම්පන්න භික්ෂූ පිරිසක් දායාද කළ අරියවංශ සද්ධම්ම යුක්තික නිකාය පෝෂණය කරමින් සංඝ සාමග්‍රීය ඇති කර ගැනීම වර්තමාන භික්ෂූ පරපුරේ කාර්යභාරයයි.

මතුගම සෙනෙවිරුවන්


advertistmentadvertistment