ශුභ නැකැත් දිනයක් සහ ශුභ වේලාවක් නිර්මාණයේ බැරෑරුම්කම

151

2022.08.23 වැනි අඟහරුවාදා දින සවස 06 පසුවී මිනිත්තු 04ට මහනුවරදී ශනි හිමි කුම්භ ලග්නයෙන් හා පුනාවස නැකතේ දෙවැනි පාදයෙන් උපන් ගැහැනු දරුවාට අකුරු කියවීම සඳහා නැකතක් සාදවා ගැනීමට සේවාදායකයා පැමිණියේ 2024.12.15 වැනිදාය.

දරුවකුට අකුරු කියවිය යුත්තේ වයස අවුරුදු 02 අවසන් වී අවුරුදු 03 ලබා අවුරුදු 04 ලබන්නට පෙරය. එනම් තුන් වැනි අවුරුද්දේදීය. ඒ අනුව මෙම දැරිවියට අකුරු කියවීම සඳහා 2024.08.23 සිට 2025.08.22 කාල පරාසය අතර දිනයක් තෝරා ගැනීම සුදුසුය.

අපි දැන් බලමු ඒ සඳහා සුදුසු දිනයක් හා සුදුසු වේලාවක් තෝරා ගැනීම සඳහා 2024.12.16 සිට 2024.12.31 දක්වා අව පක්ෂයේය. නැකත් දීම නුසුදුසුය. 2025.01.01 බදාදා දිනය. මෙදින පාන්දර 03.23 දක්වා 01 තිථිය ය. අකුරු කියවීම සඳහා තිථිය 01 නුසුදුසුය. මෙදින පාන්දර 03.23 සිට පසුදා පාන්දර 02.25 දක්වා තිථිය 02ය. තිථිය 02 අකුරු කියවීම සඳහා සුදුසු වුවත් බදාදා දිනයට තිථිය 02 විෂය. එනිසා මෙදින අකුරු කියවීමට නිසුදුසුය.

2025.01.02 බ්‍රහස්පතින්දා දිනය. මෙදින පැය 23.10 දක්වා වූ සුවණ නැකත දරුවා උපන් නැකත වූ පුනාවස නැකතට වධය. අකුරු කියවීමට නුසුදුසුය. 2025.01.03 සිකුරාදා දිනය. පාන්දර 01.09 දක්වා තිථිය 03ය. එතැන් පටන් පැය 23.40 දක්වා තිථිය 04ය. තිථිය 04 අකුරු කියවීමට නුසුදුසු හෙයින් මෙදිනද අත්හැරිය යුතුය. 2025.01.04 සහ 05 සෙනසුරාදා සහ ඉරිදා නිසා අත්හළෙමි. 2025.01.06 සඳුදා දිනය පැය 18.24 දක්වා තිථිය 07. තිථිය 07 අකුරු කියවීමට නුසුදුසු හෙයින් එදින ද අත්හළෙමි. 2025.01.07 අඟහරුවාදා දිනය. අඟහරුවාදා හෙයින් එදින ද අත්හළෙමි. 2025.01.08 බදාදා දිනය පැය 14.27 දක්වා තිථිය 09 හෙයින් එදින ද අත්හළෙමි. 2025.01.09 බ්‍රහස්පතින්දා දිනය පැය 15.08 දක්වා බෙරණ නැකතය. අශුභ නැකතකි. එම නිසා එදින ද අත්හළෙමි. 2025.01.10 සිකුරාදා දිනය පැය 13.47 දක්වා කැති නැකතය. අශුභ නැකතකි. එය ද අත්හළෙමි. 2025.01.11 සහ 12 සෙනසුරාදා සහ ඉරිදා නිසා අත්හළෙමි. 2025.01.13 සඳුදා දිනයකි. පාන්දර 05.05 දක්වා තිථිය 14ය. අශුභය. පාන්දර පැය 05.05 සිට තිථිය 15ය. එය ද අශුභය. එනිසා එදින අත්හළෙමි. 2025.01.14 අඟහරුවාදා පසළොස්වක පෝය නිසා අත්හළෙමි. 2025.01.15 බදාදා දිනයේ සිට 2025.01.24 දක්වා අව පක්ෂය නිසා අත්හළෙමි. 2025.01.30 බ්‍රහස්පතින්දා දිනය පැය 07.16 දක්වා සුවණ නැකතය. උපන් නැකත වූ පුනාවස නැකතට වධය. එමෙන්ම පැය 16.10 දක්වා තිථිය 01ය. එනිසා එදින ද අත්හළෙමි. 2025.01.31 සිකුරාදා දිනය. පැය 05.52 දක්වා දෙනට නැකත. අනතුරුව පසුදා පාන්දර පැය 04.15 දක්වා සියාවස නැකතය. සියාවස නැකත අකුරු කියවීම සඳහා සුදුසු නැකතක් ලෙස නිර්දේශ කර තිබුණත් සියාවස නැකත අශුභ නැකතක් සේ නිගමනය කර ඇති හෙයින් එදින ද අත්හළෙමි.

2025 පෙබරවාරි මාසය සේවාදායකයා පෙබරවාරි මාසය අඩු මාසයක්ය යන මතයේ සිට පෙබරවාරි මාසයේ නැකැත් අනවශ්‍යයි කී හෙයින් පෙබරවාරි මස අත්හළෙමි. එහෙත් පෙබරවාරි මාසයේ ශුභ නැකැත් ඇති බව මගේ හැඟීමයි.

2025.03.01 සහ 2025.03.02 සෙනසුරාදා සහ ඉරිදා දිනයන් නිසා අත්හළෙමි. 2025.03.03 සඳුදා දිනය. උදේ පැය 06.41 දක්වා රේවතී නැකත ද අනතුරුව පසුදා පාන්දර පැය 04.31 දක්වා අස්විද නැකත ශුභ වුවත් පැය 18.06 දක්වා 04 වැනි තිථිය පවතී. තිථි 04 ශුභ නොවන හෙයින් එදින ද අත්හළෙමි. 2025.03.04 අඟහරුවාදා බැවින් එදින අත්හළෙමි. 2025.03.05 බදාදා දිනය. පාන්දර පැය 02.04 දක්වා බෙරණ නැකත ද පාන්දර පැය 02.40 සිට පසුදා පාන්දර පැය 01.12 දක්වා කැති නැකත ද වේ. 2025.03.06 වැනිදා පාන්දර 01.12 සිට 2025.03.07 වැනිදා පාන්දර පැය 00.10 දක්වා රෙහෙන නැකත පැවති නමුත් 2025.03.05 සහ 2025.03.06 තිථි 06 සහ තිථි 07 බැවින් අකුරු කියවීමට නුසුදුසුය. එම නිසා ඒ දින දෙක ද අත්හළෙමි. 2025.03.07 සහ 2025.03.08 සිකුරාදා සහ සෙනසුරාදා තිථි 08 සහ තිථි 09 බැවින් ඒ දින දෙක ද අත්හළෙමි. 2025.03.09 ඉරිදා දිනය බැවින් අත්හළෙමි. 2025.03.10 සඳුදා දිනය. සඳුදා දිනයට තිථිය 11 ක්‍රැකවය. එම නිසා එදින ද අත්හළෙමි. 2025.03. 11 අඟහරුවාදා දිනය. අඟහරුවාදා අශුභ නිසා එදින ද අත්හළෙමි. 2025.03.12 බදාදා දිනය. පාන්දර පැය 02.18 දක්වා අස්ලිස නැකතය. අස්ලිස නැකත අකුරු කියවීම සඳහා නුසුදුසුය. පාන්දර පැය 02.18 සිට පසුදා පාන්දර පැය 04.07 දක්වා මා නැකතය. මෙදින තිථිය 13 පැය 09.15 දක්වා ඇත. මා නැකතක් 13 තිථියත් ශුභ වුවත් මා නැකත බදාදා දිනයට මුල් පැය 01 මිනිත්තු 12 අශුභයි. හේ හේතු නිසාත් උදේ පැය 09.15ට පෙර නැකත් වේලාවක් දිය යුතු බැවිනුත් අකුරු කියවීම සඳහා දරුවා සූදානම් කර ගැනීමේ අපහසුතාවය නිසාත් මෙදින ද අත්හළෙමි. 2025.03.13 බ්‍රහස්පතින්දා දිනය. පැය 10.39 දක්වා තිථිය 14 බැවින් මේ දින ද අත්හළෙමි. 2025.03.14 සිකුරාදා දිනය. පුර පසළොස්වක බැවින් මෙදින ද අත්හළෙමි. 2025.03.15 සෙනසුරා දිනයේ සිට 2025.03.29 දක්වා අව පක්ෂය නිසා නුසුදුසය. 2025.03.30 ඉරිදා දිනය. ඉරිදා දින නිසා අත්හළෙමි. 2025.03.31 සඳුදා දිනය. පැය 13.48 දක්වා පවතින අස්විද නැකත සඳුදා දිනයට අව හෙයින් මෙදින ද අත්හළෙමි.

2025.04.01 අඟහරුවාදා දිනය. අඟහරුවාදා බැවින් එදිනත් අත්හළෙමි. 2025.04.02 බදාදා දිනය. උදේ පැය 08.53 දක්වා කැති නැකත ද අනතුරුව පසුදා උදේ පැය 07.05 දක්වා රෙහෙන නැකත ද වේ. මෙදින පැය 02.36 දක්වා තිථිය 04 ද අනතුරුව පැය 23.55 දක්වා තිථිය 05 ද වේ. රෙහෙණ නැකතක් තිථිය 05ත් ශුභ වුවත් උපන් නැකත පුනාවසට රෙහෙන නැකත වධය. එම නිසා මෙදින ද අත්හළෙමි. 2025.04.03 බ්‍රහස්පතින්දා දිනය. පැය 21.48 දක්වා තිථිය 06 බැවින් අත්හළෙමි. 2025.04.04 සිකුරාදා දිනය පැය 20. 20 දක්වා තිථිය 07 බැවින් අත්හළෙමි. 2025.04.05 සහ 2025.04.06 සෙනසුරාදා සහ ඉරිදා නිසා අත්හළෙමි. 2025.04.07 සඳුදා දිනය. උදේ පැය 06.27 දක්වා පවතින පුෂ නැකත මෙදිනට උත්පාතය. උදේ පැය 06.27 සිට පසුදා උදේ පැය 07.57 දක්වා පවතින අස්ලිස නැකත අකුරු කියවීමට නිර්දේශ කර නැත. ඒ නිසා මෙදින ද අත්හළෙමි. 2025.04.08 අඟහරුවාදා දිනය. මෙදින නැකැත් නොදෙන නිසා අත්හළෙමි. 2025.04.09 බදාදා දිනය. පැය 22.59 දක්වා වූ තිථිය 12 අකුරු කියවීම සඳහා නිර්දේශ කර නොමැති හෙයින් මෙදින ද අත්හළෙමි. 2025.04.10 බ්‍රහස්පතින්දා දිනය පැය 12.27 දක්වා වූ පුවපල් නැකත අකුරු කියවීම සඳහා නිර්දේශ කර නොමැති හෙයින් මෙදින ද අත්හළෙමි. 2025.04.11 සිකුරාදා දිනය. තිථිය 13 පවතින්නේ පාන්දර පැය 01.03 දක්වාය. අනතුරුව තිථිය 14 උදා වේ. තිථිය 14 රිට්ටා ගණයේ නිසා එදින අත්හළෙමි. 2025.04.12 සහ 2025.04.13 සෙනසුරාදා සහ ඉරිදා නිසා අත්හළෙමි. 2025.04.14 සිට 2025.04.28 දින දක්වා අව පක්ෂයේය. නැකැත් දීම නුසුදුසුය. 2025.04.29 අඟහරුවාදා දිනය. මෙදින නැකැත් නොදෙන නිසා අත්හළෙමි. 2025.04.30 බදාදා දිනය. පැය 14.18 දක්වා 03 වැනි තිථිය. මෙදින දග්ධය. එබැවින් මෙදින ද අත්හළෙමි.

2025.05.01 බ්‍රහස්පතින්දා දිනය. මෙදින මුවසිරස නැකත මුල් පැය 02 මිනිත්තු 24 අත්හළ යුතුය. පැය 11.30 දක්වා පවතින තිථිය 04 රිට්ටා ගණයට වැටෙන නිසා මෙදින අත්හළෙමි. 2025.05.02 සිකුරාදා දිනය. පැය 13.11 දක්වා අද නැකත පවතී. අද නැකත අකුරු කියවීම සඳහා සුදුසු නැකතක් ලෙස නිර්දේශ කර තිබුණත් අද නැකත අශුභ නැකතකි. එම නිසා එදින ද අත්හළෙමි. 2025.05.03 සහ 2025.05.04 සෙනසුරාදා සහ ඉරිදා නිසා අත්හළෙමි. 2025.05.05 සඳුදා දිනය. පැය 14.07 දක්වා අස්ලිස නැකතය. අකුරු කියවීමට අශුභය. එමෙන්ම පැය 07.39 දක්වා 08 වැනි තිථියය. අශුභය. එනිසා මෙදින ද අත්හළෙමි. 2025.05.06 අඟහරුවාදා දිනය. නැකත් නොදෙන නිසා අත්හළෙමි. 2025.05.07 බදාදා දිනය. පැය 18.21 දක්වා පුවපල් නැකතය. පුවපල් නැකත අකුරු කියවීම සඳහා නිර්දේශ කර නැත. එනිසා එදින ද අත්හළෙමි. 2025.05.08 බ්‍රහස්පතින්දා දිනය. අකුරු කියවීම සඳහා ශුභ දිනයකි. මෙදින පැය 21.09 දක්වා යෙදී ඇති උත්‍රපල් නැකත අකුරු කියවීමට ශුභය. පැය 12.32 දක්වා යෙදී ඇති තිථිය 11 අකුරු කියවීමේ ශුභය.

දිනය, නැකත, තිථිය යන ක්‍රියාංගය පමණක් ශුභ වීම නැකතක් ශුද්ධ කර ගැනීමට ප්‍රමාණවත් යැයි උතුම් ජ්‍යොතිෂ ශාස්ත්‍රයෙහි සඳහන් හෙයින් එකී ක්‍රියාංගයෙන් සමන්විත 2025.05.08 වැනි බ්‍රහස්පතින්දා දිනය දරුවාට අකුරු කියවීම සඳහා සුදුසු යැයි තීරණය කළෙමි.

මෙම ලිපියේ අරමුණ අකුරු කියවීම සඳහා සුදුසු නැකැත් දිනයක් තෝරා ගැනීම පමණි. ශුභ නැකැත් වේලාවක් තෝරා ගැනීම පිළිබඳව ඉදිරි ලිපියකින් පැහැදිලි කරන්නෙමි.

අපි දැන් බලමු 2025.05.08 වැනි බ්‍රහස්පතින්දා දිනයෙහි ඇති වැදගත්කම.

  1. දිනය – ශුභ නැකැත් දීමට සුදුසු යැයි තීරණය කර ඇති සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවලින් එකක් වීම. (බ්‍රහස්පතින්දා)
  2. නැකත – අකුරු කියවීම සඳහා සුදුසු යැයි සම්මත කර ඇති ශුභ නැකැත්වලින් එකකි උත්‍රපල් නැකත. 2025.05.08 වැනි බ්‍රහස්පතින්දා පැය 21.09 දක්වා පවතී. උත්‍රපල් නැකතේ ශුභ තත්ත්වය මෙසේ දක්වමු.
  3. අකුරු කියවීමට සම්මත කර ඇති නැකතකි. ඒ අනුව නැකත ශුභය.
  4. දින සම්බන්ධ නැකත් අනුව බ්‍රහස්පතින්දා දිනයට උත්‍රපල් නැකත ශුභය.
  5. ආනන්දාදි අටවිසි මහා යෝග අනුව බ්‍රහස්පතින්දා දිනයට උත්පල් නැකත ශුභය. මාතංග මහා යෝගය යෙදී ඇත. යොදාගනු ලබන ශුභ මුහුර්තය යෙදෙන දිනට දග්ධ, මර, කානු ආදී දෝෂයක් යෙදුණ ද එම වේලාවට මෙම මහා යෝගයක් යෙදේ නම් මෙම දෝෂ භංග වේ. සැක හැරගන්න. ඒ අනුව නැකත ශුභය.
  6. උපන් නැකත පුනාවසට උත්‍රපල් නැකත සාධකය. ඒ අනුව නැකත ශුභය.

මේ අනුව නැකත ඉතා ඉහළින් ගැළපේ.

  1. තිථිය – අකුරු කියවීම සඳහා සම්මත ශුභ තිථි අතරින් එකකි එකොළොස් වැනි තිථිය.

එකොළොස් වැනි තිථියේ ශුභ තත්ත්වය මෙසේ දක්වමු.

  1. අකුරු කියවීම සඳහා සම්මත කර ඇති තිථියකි. ඒ අනුව ශුභය.
  2. දින සම්බන්ධ තිථි අනුව බ්‍රහස්පතින්දාට එකොළොස් වැනි තිථිය ශුභය.

මේ අනුව තිථිය ද ඉතා ඉහළින් ගැළපේ.

ත්‍රියාංගය ශුභ වීම නැකතක් ශුද්ධ කර ගැනීමට ප්‍රමාණවත්ය යන ජ්‍යොතිෂ සිද්ධාන්තය අනුව මෙම දිනය සුදුසුය.

ශුභ නැකැත් දිනයක් සහ ශුභ වේලාවක් නිර්මාණයේ බැරෑරුම්කම

දේශමාන්‍ය, ජ්‍යොතිෂවිද්‍ය විභූෂණ, ජ්‍යොතිෂවේදී
උපාලි ආරියරත්න
සුදර්ශන මාවත, අංක 26, දෙමටගොල්ල,
උකුවෙල දුරකථන අංකය – 0779179162


advertistmentadvertistment