ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවගේ මෙන්ම සමස්ත ලෝක බෞද්ධ ප්‍රජාවගේත් මහත් ගෞරවාදරයට පත් අනුරාධපුර වැඩහිදින ශ්‍රී මහා බෝධීන්වහන්සේ ජීවමාන ලිඛිත ඉතිහාසයක් ඇති ලෝකයේ පවතින එකම ශාකයයි. සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයාණන් වහන්සේ ගෞතම බුදුන් ලෙස බුද්ධත්වයට පත් වන්නේ මෙම ඇසතු බෝරුක මුලදීය. ගෞතම බුදුන් වහසේ බුද්ධත්වයෙන් පසු සත් සතිය ගතකිරීමේදී සතියක් පුරා අනීමිස ලෝචනයෙන් කෘතගුණ දැක්වූ මහා බෝධිය මෙයයි.
ඉන්දියාවේ ගයා සිට බෝධීන් වහන්සේ ලංකාවට වඩමවාගෙන ඒමට පෙරාතුව උන්වහන්සේට අශෝක අධිරජු පුදසත්කාරය කළ අයුරුත් ඊටත් පෙරාතුව සැරියුත්, මුගලන් අගසවුවරුන් ඇතුළු මහා රහතන්වහන්සේලා පුදසත්කාර කළ ආකාරයත් මහා බෝධි වංශයේ සඳහන් වේ. එමෙන්ම බෝධි වන්දනය ආරම්භ වූයේ බුදුරදුන් සිටි සමයේ සිට බව කාලිංග බෝධි ජාතකයේ සඳහන් වේ.
මේ සියලුම ග්‍රන්ථයන් මුලින් සිංහල බසින් ලියා පසු කලෙක පාලි බසට පරිවර්තනය කර ඇත. නමුත් මේ වනවිට පාලි වලින් ලියවුණු බෝධි වංශය භාවිතයේ පවතී. මූලික ග්‍රන්ථයට අදාළ විචාර බොහොමයක් දැකිය හැකි වේ. එමෙන්ම හතරවන පරාක්‍රමබාහු රජු සමයේ විලගම්මුල මාහිමි විසින් සිංහල මහා බෝධි වංශය රචනා කර තිබේ. මේ සටහන ලියවෙන්නේ පාලි බසින් ලියවුණු ග්‍රන්ථවලට අනුකූලවයි. මේ සඳහා සිංහලෙන් ලියූ තල්පත් මෙන්ම සංස්කෘත මිශ්‍ර පාලි බසින් ලියවුණු කරුණු ද අඩංගු වේ. එමෙන්ම සමන්තපාසාධිකාව රචනා කළ අශිවඝෝෂ හිමි සමග වැඩ විසූ උපතිස්ස හිමි විසින් පාලි බසින් රචිත මහා බෝධි වංශය මෙහිදී අවධාරණයට ගැනේ.
මුල්ම අවධානය යොමුවන්නෙ කාලිංග බෝධි ජාතකයටයි. බෝධි වන්දනය බුදුරදුන් ජීවමානව සිටින කල්හිම අනුමත කළ අයුරු මෙහිදී විස්තර කෙරෙන්නේ මෙලෙසය.
“බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවසන කල්හි ආනන්ද මහරහතන් වහන්සේ විසින් කරන ලද බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීම පිළිබඳ විමසුමකදී මෙලෙස උන්වහන්සේ පහදා දී තිබේ.
තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑමට ආසන්න බව අසා සැවැත්නුවර වැසියෝ මල්මාලා ද සුවඳ මල් වඩම් ද අතැතිව ජේතවනයට පැමිණියහ. ඔවුන්ට ගෞරවය දැක්වීමට වෙනත් තැනක් නොලැබී, ඔවුන් ඒ සියල්ල සුවඳවත් වූ කුටියේ දොරටුව අසලින් තබා නික්ම ගියහ. මෙය ඔවුනට මහත් සතුටක් විය.
එහෙත් අනාථපිණ්ඩිකට එය අසන්නට ලැබිණි. තථාගතයන් වහන්සේ ආපසු වැඩම කළ පසු ආනන්ද තෙරුන් වහන්සේ වෙත පැමිණ “ස්වාමිනී, තථාගතයන් වහන්සේ වන්දනාවේ යන විට මේ ආරාමයට පැමිණෙන බැතිමතුන් බුදුන් වහන්සේට පූජා කිරීමට රැගෙන ආ බොහෝ දේ ඉතිරි වී ඇත. සුවඳ මල් වඩම්, මල්මාලා පුදා මිනිසුන්ට ගෞරව කරන්නට තැනක් නැත. මේ බව උන්වහන්සේට දැනුම් දිය හැකිද? අරමුණ.” ඒ අනුව ආනන්ද තෙරුන් මේ පිළිබඳ බුදුරදුන් ගෙන් මෙසේ විමසීය. ස්වාමීන්වහන්ස බැතිමතුන්ට ඔබවහන්සේ සිහිපත් කරමින් වන්දනා මාන කළ හැකි ස්ථාන කීයක් තිබේද? “ආනන්ද තුනක්”
“ඒවා මොනවාද?”ශරීර ධාතුවක්, භාවිත හෝ අඳින ධාතුවක්, ස්මාරක ධාතුවක්” –
“ස්වාමීනී, ඔබ වහන්සේ ජීවත්ව සිටින කාලය තුළ බුදුමැඳුරක් කළ හැකිද?” “නැත, ආනන්දය, ශරීරයට පමණක් මූලිකව සිදු නොකළ යුතුය ?”“ නිර්වාණය අනුස්මරණය කිරීම සුදුසුය, මන්දයත් නිර්වාණ අවබෝධය රඳාපවතින්නේ පරිකල්පනය මත පමණි ”
ජේතවන දොරටුව අබියස පිහිටි බෝධීන් වහන්සේ නමක් වැඩමවීම සුදුසුද?” “ආනන්දය, කෙසේ හෝ එසේ කළ මැනව, එය මට වාසස්ථානයක් වනවා සේම වෙයි.”
මේ බව අනාථපිණ්ඩිකට ද විශාඛාවට ද රජුට ද මෙය දැනගත හැකි විය. ඉක්බිති ජේතවන දොරටුව අසල දී බෝසත් වහන්සේට හිදීමට වළක් ඉවත් කර, “මට ජේතවනය ඉදිරිපිට බෝධීන් වහන්සේ නමක් සිටුවන්න අවශ්‍යයි, ඔබ වහන්සේ මට මහා බෝධීන් වහන්සේ ගේ ඵලයක් ලබාදෙනව ද” කියා මොග්ගල්ලාන ප්‍රධාන මහරහතන් වහන්සේට වදාළ සේක.
ඒ සඳහා මුල් වූ වැඩිහිටියෙකු හොඳින් කැමැත්තෙන්, බෝධීන් වහන්සේ යට වේදිකාවට වාතය හරහා ගියේය. ඔහු තම සිවුරෙහි නටුවෙන් වැටෙන නමුත් බිමට නොපැමිණි ගෙඩියක් තබා ආපසු ගෙනැවිත් ආනන්දයට දුන්නේය. එදා බෝධීන් වහන්සේ රෝපණය කිරීමට නියමිත බව වැඩිමහල්ලා කෝසල රජුට දැන්වීය. එදින සවස් කාලයේ රජතුමා විශාල පිරිසක් සමග අවශ්‍ය සියල්ල රැගෙන පැමිණියේය.
එවිට අනාථපිණ්ඩික සහ විශාඛා ද, ඊට අමතරව සැඳැහැවතුන් පිරිසක් ද පැමිණියහ.
බෝධීන් වහන්සේ රෝපණය කළ යුතු ස්ථානයේ වැඩිහිටියා රන් කළයක් තබා එහි පතුලේ සිදුරක් ඇති කළේය. සියල්ල සුවඳැති ජලයෙන් තෙත් කරන ලද පොළොවෙන් පිරී ගියේය. “රජතුමනි, මේ බෝධීන් වහන්සේගේ බීජය සිටුවන්න” කියා එය රජුට දුන්නේය.
නමුත් තම රාජ්‍යය සදාකාලිකව තමන් අත නොතැබිය හැකි බැවින් එම බීජය අනාථපිණ්ඩික නම් මහා වෙළෙන්දාට පවරා දුන්නේය.
ඉක්බිති අනාථපිණ්ඩික තෙමේ සුවඳැති පස අවුස්සා එය බිම හෙළුවේය. එය ඔහුගේ අතින් බිමට වැටුණු සැණින් සියල්ලන්ගේම ඇස් ඉදිරිපිටම නගුල් හිසක් මෙන් පළලින් පනස් රියනක් උස බෝ පැළයක් හටගත්තේය. සතර දෙසින් සහ ඉහළට කඳ මෙන් රියන් පනහක් දිග විශාල අතු පහක් විහිඳුවයි. ඒ වන විටත් වනාන්තරයට අධිපති වූ ගසක් සේ සිටගෙන සිටියේය.
ආනන්ද මහ බෝධීන් වහන්සේ යට මා විසින් සත්‍ය සාක්ෂාත් කර ගැනීමේ උච්චතම අවස්ථාව පත්වූවා සේ මිනිසුන්ගේ යහපත සඳහා බෝධීන් වහන්සේ අසල සිට කටයුතු කරන ලෙස”වදාළ සේක.
“ ආනන්ද, මෙම බිම මේ ස්ථානය බර දරාගත හැකි තාක් දුරට, මිනිසුන්ගේ යහපත සඳහාත්, සත්‍යාවබෝධය ළගාකර ගැනීම සඳහාත් මේ බෝධිය භාවිතා කරන ලෙස මම ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරනවා” බුදු රජාණන් වහන්සේ දන්වා සිටි සේක.
ආනන්ද හිමිගේ මූලිකතවයෙන් මෙම බෝධීන්වහන්සේ රෝපණය කළ බැවින් ” ආනන්ද බෝධීන් වහන්සේ” නමින් හඳුන්වනු ලැබීය.
මේ අනුව පෙනී යන්නේ බෝධි වන්දනය සඳහා බුදුරදුන් ලබාදුන් අවසරයයි. අදටත් ආනන්ද බෝධීන් වහන්සේ ජේතවනාරාමයේ වඩහිඳිනු දැකිය හැකිය.
කෙසේ නමුදු ශ්‍රී ලංකාවට වඩම වූ ශ්‍රී මහා බෝධීන් වහන්සේ බුදුරදුන් විසින් බුද්ධත්වයට පත්වන මොහොතේ වැඩහිඳි ඇසතු බෝ සමිඳුන්ගේ දක්ෂිණ ශාඛාවකි. මහා බෝධි වංශ රචකයා වූ උපතිස්ස තෙරුණුවන් මුලින්ම විස්තර කරන්නේ මේ ඇසතු බෝ රජාණන් වහන්සේට පුද සත්කාර කළ අයුරුයි. ආරම්භය මෙසේ සනිටුහන් තබමින් මෙම ග්‍රන්ථය රචනා කිරීම මෙසේ ඇරඹෙයි.
“ඉතින් මම දැන් මේ ලේඛනයෙහි ආරම්භයෙහි පහසු කරමින්, ලෝකයාට තෙරුවන්ගේ වචන පැහැදිලිව දැක්වීම පිණිස, සර්වඥ බුදුරජාණන් වහන්සේගේ මුල් භාෂාව වූ මගධී භාෂාවෙන් ආරම්භ කරමි.
ඒ මගින්, පිළිගන්නා ලද භාවයෙන්, සෑම සත්ත්වයෙකුටත් මේ ග්‍රන්ථය පරිශීලනය කළ හැකිය.
මේ විදිහට, දැන් යම් ප්‍රශ්න පහක් මෙහි පැමිණෙයි:
- “මහා බෝධි” කියන වචනයෙන් අදහස් කරන්නේ කුමක්ද?
- එය අයත් කා හටද?
- එහි සාම්ප්‍රදාය වත් පිළිවෙත් මොනවාද?
- කවුරුන් විසින් පිහිටුවනු ලබුවේද?
- කොතැනක පිහිටා තිබේද?
ඊට පිළිතුරු ලෙස:
“මහා බෝධිය යනු
“බෝධි” යනු මාර්ග හතරෙහි ප්‍රඥාවයි. බුදුරජාණන් වහන්සේ එම ප්‍රඥාව උපදවාගනු ලැබුයේ මෙම වෘක්ෂය අසල සිටයි. එනිසා එම වෘක්ෂය “බෝධි” යැයි කියනු ලැබේ.
බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රාඥයෙකු වූ බැවින් මේ බෝධීන් වහන්සේ “මහා බෝධි” ලෙස හඳුන්වයි.
මීළගට වැදගත් වන්නේ අශෝක රජතුමා ඇසතු බෝධීන් වහන්සේ පුද සත්කාර කළ අයුරුයි.
මහා බෝධි වංශය ලියවී ඇත්තේ කවි ආකාරයෙනි. එහිදී අශෝක රජතුමා ශ්‍රී මහා බෝධීන් වහන්සේට පුද සත්කාර කරනු ජීවමාන බුදුරදුන් වන්දනා කරනවා හා සමානව බවක් බෝධි වංශයේ සඳහන් වේ.
“මහා රජ්ජුරුවන් වහන්සේගේ මහා බෝධි වන්දනය.
බෝධිසත්වයන් වහන්සේගේ
අවසාන බෝධි මූලය වශයෙන්,
අසෝක රජතුමා මහා බෝධිය සුරැකීය.”
රජතුමා දිනපතා බෝධි වන්දනා කළේය, සෙනෙහසින් හා ආරක්ෂාවෙන් පිරුණු සිතින්, පූජා භාණ්ඩ පිරුණු කරඬු රැසක් සමග.”
රාජ orewan සහ විශිෂ්ට මහනුවන්,
දිනපතා පූජා කිරීම එතුමා හට සහය දුන්හ.
එතුමාගේ සිත සන්සුන් කිරීමට මේ සියල්ල ඉවහල් විය.
“මහා බෝධිය වන්දනා කිරීම මගින් සියලුම පාපී සිතුවිලි මකා දැමීමට හැකිවිය.”
(බෝ.වං.13)
එලෙසම බෝධීන් වහන්සේට පූජා කළ යුතු ද්‍රව්‍ය අටක් ද අශෝක රජතුමා නම් කළ අතර පූජා පැවැත්විය යුතු අයුරුද සඳහන් කළේය.
මහා බෝධි වන්දනා – ශාක්‍ය කුලයේ ගෞරවය උදෙසා… කළ අයුරු
“මෙම පූජාවන් අතරින්, අශෝක රජුගේ ප්‍රධානම වතාවත් වූයේ, මහා බෝධිය වටා ගමන් කිරීමයි, සුවඳ ද්‍රව්‍ය පූජා කිරීමයි.”
“බෝධිය වටා සංගීත වාදකයන්, නාදය සමගින් ගීත ගායනා කළහ.
රන්, මුතු, වළලු, රන් මාලා බෝධියට පිරිනමන ලදී.”
“බෝධිසත්වයන් වහන්සේගේ
අසීමිත මහිමය,
මේ මහා බෝධි වන්දනා තුළින් ගායනා කෙරිණ.
එමගින් සියලු සිත් තුළ භක්තිය පහළ වී යහපත් සිතිවිලි පැතිරෙයි.”
“ බෝධි වන්දනා කළ මිනිසුන්,
ආලෝකයෙන් පිරුණු ගතිගුණ ඇතිව,
සන්සුන් ජීවිතයකට පිවිසෙති,
සදා සතුටින් පිරී යති.”
(බෝ.වං.14 පරි)
මෙලෙස මහත් බැතියෙන් දිනපතා පුද පූජා කළ රජතුමා ශ්‍රී මහා බෝධිය මහත් බැතියෙන් ආරක්ෂා කළේය. පසු කලෙක රජුට මෙන්ම ශාසනයට ද බලපෑම් ඇතිවූ සමයක බුදු දහම සුරක්ෂිත කිරීම සඳහාත් අසල්වැසි රාජ්‍යයන් සමග සමීප බව තහවරු කරගැනීම සඳහාත් රටවල් නවයක් වෙත රජතුමා බුදු දහමේ පණිවුඩය යවනු ලැබීය. ඒ අනුව ලක්දිවට තම පුතු වූ මහින්ද මහරහතන් වහන්සේත්, ඉට්තිය, උත්ථිය සම්බල, බද්දසාල යන හිමිවරුත් තම එකම මුණුපුරා වූ සුමණ සාමණේරයන් වහන්සේත් බණ්ඩුක උපාසකත් එවන ලදී. මිහිඳු හිමියන් ඉතා සාර්ථක ලෙස තම දූත මෙහෙවර සිදුකළ අතර එවක ශ්‍රී ලංකාවේ පාලකයා වූ තිස්ස රජු ලාංකීය රාජ්‍ය බුද්ධ රාජ්‍යයක් කරනු ලැබීය.
ඒ අනුව බොහෝ කුල දරුවන් පැවිදි දිවියට පත් වූ අතර ශ්‍රී ලංකාව තුළ ඉතා ශීඝ්‍රයෙන් බුදු දහම පැතිරිණ.
තිස්ස රජුගේ නෑනා වූ අනුලා දේවිය විසින් ලංකාව තුළ භික්ෂුණි ශාසනයද පිහිටුවන ලෙස ඉල්ලීමක් කෙරිණ. මේ අනුව මිහිදු හිමි විසින් අශෝක රජතුමාගෙන් මේ සඳහා සහය ඉල්ලනු ලැබීය. ඒ අනුව අශෝක රජතුමා තම දියණිය වූ සඟමිත්තා මහරහත් තෙරණිය ලංකාවට එවීමට තීරණය කළේය. සඝමිත් තෙරණිය ගිහිකල හැඳින් වූයේ අයපාලී නමිණි. ඇය මෙන්ම මිහිඳු හිමිද අශෝක රජුගේ පළමු බිසව වූ දේවී කුමරියගේ දරුවන් ය. අයපාලී කුමරිය 14 වෙනි වියේදී අශෝක රජුගේ බෑනණු කෙනෙක් වන අග්‍රිබ්‍රහ්ම නම් කුමරාහට විවාහකර දුන් අතර සුමන් (සුමන සාමණේර) ඇගේ පුතු විය. සඟමිත් තෙරණිය සමග බෝධීන්වහසේගේ අංකුරයක් එවීමට අශෝක රජතුමා තීරණය කරනු ලැබුවේ ලංකාව තුළ ඉතා හොඳින් බුදු දහම වැඩෙන බව දුටු බැවිණි.
සඝමිත් තෙරණිය පිළිබඳ බෝධි වංශය විස්තර කරන්නේ උන්වහන්සේ වීරියෙන් පිරුණු උත්තමාවක් ලෙසයි. එතුමියගේ ලංකා ගමන මෙසේ විස්තර වේ.
“ලංකාද්වීපයෙහි, සද්ධර්මය පිළිපදින,
සද්ධර්ම රක්ෂා කරන, සත් සීලාචාර ඇති,
බුදු පිළිවෙත ඇදි, ගෞරවයෙන් යුත්,
සිරි ලාංකාව, බෝධීන්වහසේට නිසි ලෙස ගරු බුහුමන් දක්වනු ඇත. “ඒ අනුව සඝමිත් තෙරණිය සමග පිරිසක් මගධයේ සිට ලංකාවේ දඹකොළපටුණ තොටුපළ වෙත රැගෙන පැමිණෙනු ලබිණ.
මහා වංශයේ මෙය මෙසේ සඳහන් වේ.
“අශෝක රජුගේ දියණිය වූ සංඝමිත්තා භික්ෂුණිය බෝධියේ දකුණු ශාඛාව රැගෙන පාතාලිපුත්ත නගරයෙන් පිටත් වූවාය…”
(මහාවංශය, XIX පරිච්ඡේදය,) කෙසේ නමුදු පාටලීපුත්ත නගරයේ සිට ඇගේ මව ගේ උපන් ප්‍රදේශය වන කාලිංගයට පැමිණෙන මෙම පිරිස අමරාවතී බෞද්ධ රාජධානියට අයත් තිමලිත්ටි නම් තොටුපළකින් අවසන් වරට නැව් නැගී ඇත.
මේ පිළිබඳ මහා වංශයේ සඳහන් වන්නේ බෙංගාල බොක්කේ පිහිටි තිමලිත්ටි තොටුපළ සිට නැව් නැග තිබේ. එසේම එය බංග්ලාදේශයට අයත් තොටක් ලෙස මතයක් පැවතියද එය එසේ නොවන බව මෙම නව සාධක මගින් තහවුරු වේ. සබෑ තොටුපළ වන්නේ තොටල කොන්ඩා තොටුපළයි.
නූතනයේ මෙම තොටුපළ ඉතා විශාල නොවුණ ද ආන්ද්‍රා ප්‍රදේශයේ පිහිටි විශාඛාපට්නම් සුවිසල් නාවික වරාය ආශ්‍රිතව පවතින, තොටල තොට නමින් එදා හඳින්වූ අද තොටල්කොණ්ඩ්ඩා මහාවිහාරය පාමුල පවතින ධීවර වරාය බව ශ්‍රි ලංකා නාවික හමුදාව මගින් 1997 දී හඳුනාගනු ලැබූ ජම්බකෝල පට්ටන විහාරය හෙවත් දඹකොළ පටුන විහාරයේ සනිටුහන් වේ. මේ පිළිබඳ අපි එවක හිටි නාවික හමුදාපති වූ අද්මිරාල් දයා සඳගිරි මහතාගෙන් විමසූ විට එතුමන් පවසා සිටියේ නාවික හමුදාව මගින් කරන ලද පර්යේෂණ මත වඩාත්ම නිවැරදි ස්ථානය වන්නේ තොටල කොණ්ඩා තොට බවයි.
මේ බව සනාථ කිරීමට තොටලකොන්ඩා මහා විහාරයේ පවතින නටබුන්ද සාක්ෂි දරයි. මෙම විහාරය වසර 2500 කට වඩා පැරණි අන්ද්‍රා ප්‍රදේශයේ පුරාවිද්‍යා මහාචාර්යවරයකුවන් මදුසුදනා රාවෝ මහතා ප්‍රකාශ කර සිටි අතර මානව විද්‍යානයෙකු හා බෞද්ධ පර්යේෂකයෙකු වන් මහාචාර්ය සත්‍යපාල මහතා ප්‍රකාශ කළ සිටියේ බුදු දහම ලොවපුරා රැගෙන් ගිය බොහෝ රහතුන් මෙහි වැඩසිටි බවයි. ඒ බව සනාත කරමින් අදටත් ඉතා පැහැදිලිව පවතින භාවනා කුටි 200ක්, විශාල දානශාලවක පදනම්, මුලුතැන්ගෙයි පදනම් සහ මහල් කිහිපයක් සහිතව තිබී යැයි සැලකිය හැකි අති විශාල පිරිවෙනෙහි පාදම සාක්ෂි දරයි. මේ ලෙසටම ස්නානය සඳහා භාවිතා කළා යැයි සැලකිය හැකි පොකුණු 3ක්ද අදත් හඳුනාගත හැකිය. අදටත් මෙම ප්‍රදේශය හඳුන්වන්නේ ඍෂිකොණ්ඩා ලෙසයි.
ඊට හේතුව වී ඇත්තේ අහසින් වඩින ඍෂි වරුන්ගෙන් මෙම මහා විහාරය පිරී පැවතුණ බැවින් යැයි ජනප්‍රවාදයේ පවතී.
මෙම ස්ථානය පුරාවිද්‍යා ඒකකයට අයත් වුවත් නිසි කළමනාකරණයක් ඇතිව හෝ අවබෝධයක් අතිව ආරක්ෂා කරනු දක්නට නොලැබේ. එහි සිටිනා ආරක්ෂක නිලධාරියා සහ නිල නොළත් ස්වේච්ඡා මග පෙන්වන්නෙකු විසින් ඔවුන් දන්නා දේ සංචාරකයන්ට පවසා සිටී. මේ පිළිබඳ අදහස් දක්වමින් ප්‍රදේශයේ සිටින ජ්‍යෙෂ්ඨ මහාචර්යවරයෙකු වූ ක්‍රිෂ්ණමෝහන් මහතා කියා සිටියේ අවුරුදු 65 ක මෙම ප්‍රදේශයේ ජීවත් වූවකු ලෙස හා බුදු දහමට ඉතා ආදරය කරන්නෙකු ලෙස මෑත කාලයක් වන තුරුම ටොටලකොන්ඩා යනු හොරුන්ගේ සහ අනාචාරයේ හැසිරෙන්නන්ගේ ගොදුරක් බවට පත්ව තිබූ ස්ථානයක් බවත් පසුව මහඇමති ධුරයට පත් චන්ද්‍රබාබු නායිදු මහතා හඳුන්වා දුන් ව්‍යාපෘතියක් ලෙස මෙම ස්ථානය අද තත්වයට සංවර්ධනය වූ බවයි.
කෙසේ නමුත් සඝමිත් තෙරණිය මෙන්ම මිහිදු මාහිමි අවසන් වරට වැඩසිටි යැයි සලකෙන මෙම මහා විහාරය පිළිබඳ නිසි පුරාවිද්‍යා පර්යේෂණයක් කළ යුතු යැයි මාගේ හැඟීමයි.
ධර්මාශෝක රජුන්ගේ එකම අරමුණ වූයේ එතුමන් සේම ලාංකික පාලකයින් ද ශ්‍රී මහා බෝධීන් වහසේට පුද සත්කාර කරනු ඇති බවට වූ විශ්වාසයයි.
ලොව හතරවෙනි බලවතා වූ ඉන්දීය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඉතාමත් බැතියෙන් ශ්‍රී මහා බෝධීන්වහසේ වන්දනා කරනු ලැබූ අයුරු මහා අධිරාජ්‍යක් ගොඩනඟමින් සිටි අශෝක රජු හෙවත් ධර්මාශෝක රජු දුටුවේ නම් එතුමන් පස්වනක් ප්‍රීතියෙන් පිනා යනු නොඅනුමානය.
සටහන සහ ඡායාරූප
මහාචාර්ය නිමාලි තක්ෂිලා විතානගේ,
ආන්ද්‍රා විශ්වවිද්‍යාලය, ඉන්දියාව