සඳරැජිනි ගීතයට ඉහළ ප්‍රතිචාර ලැබෙනවා – වසන්ති රත්නායක

33

ජනප්‍රිය ගායිකාවක් වන වසන්ති රත්නායක ගායනා කළ නවතම ගීත දෙකක් පසුගියදා නුගේගොඩ සඳරු ගමගේ ශබ්දාගාරයේදී පටිගත කරන ලදී.

රෝහණ හෙට්ටිආරච්චි රචනා කළ ‘අවන්හල නුඹයි’ සහ ‘සඳ රැජිනි’ යන ගීත ද්විත්වය ප්‍රවීණ සංගීතවේදී විශාරද නවරත්න ගමගේ සංගීතවත් කර තිබේ. ඇයගේ පළමු ගීතය ‘සඳ රැජින’ හි මියුසික් වීඩියෝව පසුගියදා අන්තර්ජාලයට එළිදැක්වූ අතර එය දින දෙකක් තුළ ලක්ෂ දෙකකට අධික පිරිසක් නරඹා තිබීම විශේෂත්වයකි. ඇයගේ ගායන දිවිය ගැන වසන්ති පැවැසුවේ මෙවැන්නකි.

සඳරැජිනි ගීතයට ඉහළ ප්‍රතිචාර ලැබෙනවා - වසන්ති රත්නායක

දෙනියාය පල්ලෙගම මධ්‍ය මහ විද්‍යාලයෙන් සිප්සතර හදාරා පසුව දෙනියාය රාජපක්ෂ විද්‍යාලයෙන් ඉගෙනුම ලබා වයස අවුරුදු හයේ සිට සින්දු කියන මම මුලින්ම වේදිකාවට පිවිසෙන්නේ එඩ්වඩ් ජයකොඩි මහත්මයාගේ ‘අකුරු මැකී නෑ කොළ ගැලවී නෑ’ කියන සින්දුව ගායනා කිරීමෙනි.

ඉන් පසුව සිංහල, දෙමළ සහ හින්දි භාෂාවෙන් ගීත ගායනා කළ අතර දෙනියාය පල්ලෙගම ක්‍රීඩා සමාජය හරහා වසන්ති ගී ප්‍රණාමය නමින් ඒක පුද්ගල සංදර්ශනයක් ද පැවැත්වූවා. ඒ සමග රුහුණු සේවයේ ළමා ගායිකාවක් ලෙසින් සංගීත දිවියේ පළමු අඩිතාලම දමාගත්තා.

පසුව දෙනියාය ප්‍රදේශයේ සෑම ප්‍රසංග වේදිකාවකම ගීත ගැයූ අතර පල්ලෙගම කේ. සෝමබන්දු, දෙනියාය චන්ද්‍රදාස රණසිංහ, නිවේදක චම්ලි පෙරේරා සහ පොලිස් ස්ථානාධිපති පරාක්‍රම ද සිල්වා මහත්වරු මට ලොකු සහයෝගයක් ලබාදුන්නා.

පසුව පොලිස් ස්ථානාධිපති පරාක්‍රම ද සිල්වාගේ මිතුරෙකු වන ජනප්‍රිය ගායක සමන් ද සිල්වා ප්‍රමුඛ ඔහුගේ සංගීත කණ්ඩායම දෙණියායට ආපු වෙලාවේ ඒ ප්‍රසංගයට ද මට සින්දු කියන්න හම්බවුණා.

පස්සේ පරාක්‍රම සිල්වා මහතාගේ හඳුන්වාදීම මත මම සමන් ද සිල්වාගේ සමන් ඇන්ඩ් ද ක්ලෑන් සංගීත කණ්ඩායම සමග ගීත ගැයීමට කොළඹට ආවා. ඊට පසුව හැම සංගීත කණ්ඩායමක් සමගම මට සින්දු කියන්න හම්බවුණා. ඒ අතර ගැලැක්සීස්, මාරිම්බා, සන්ෆ්ලවර්ස් වගේම මහින්ද සිල්වා ප්‍රමුඛ සුපර්ස්ටාර් ප්‍රධාන වෙනවා.

ඊට පසුව මාලනී බුලත්සිංහල මහත්මිය යටතේ සංගීතය හැදෑරුවා. මහරගම තරුණසේවා සභාවේ මංගල සේනානායක මහතා යටතේ නාට්‍යකරණය ද හැදෑරුවා. මගේ සංගීත ගමනේදී මොරටු පුරවරයේ නිවේදක හේමසිරි හල්පිට, උපසේන ෆොන්සේකා, සංවිධායක සහ ගේය පද රචක රෝහණ හෙට්ටිආරච්චි සහ දෙහිවල අමිත් ජයවර්ධන මට ලොකු සහයෝගයක් ලබාදුන්නා. පසුව මොරටුව එගොඩ උයන වර්ල්ඩ්පොලිබෑග් ආයතනයේ විධායක අලෙවි නියෝජිතවරියක ලෙස සේවය කරමින් සිටි මා ඊශ්‍රායලයේ රැකියාවකට ගිය අතර දැනට මම වසර ගණනාවක ඉඳලා එහි හෙද සේවිකාවක ලෙස සේවය කරන ගමන් සංගීතය ද අත්නොහැර කරගෙන යනවා.

පසුගිය දවස්වල මගේම නිර්මාණ දෙකක් එළිදැක්වූවා. ඒකෙන් පළමු ගීතය වන ‘සඳරැජිනි’ ගීතය දින දෙකක් ඇතුළත ලක්ෂ දෙකක රසික ප්‍රසාදයක් ලැබුණ අතර සති දෙකක් ඇතුළත ලක්ෂ හයක රසික ප්‍රතිචාරයක් ද ලැබුණා. ඉදිරියේදී තවත් අලුත් නිර්මාණ එළිදැක්වීමට අදහසක් තියෙනවා.

මගේ දෙවෙනි ගීතය ‘අවන්හල නුඹයි’ රූගතකිරීම් අවසන් කරලයි තියෙන්නේ. එයද ඉදිරියේදී ඔබ සැමට නැරඹීමට හැකිවෙනවා.

දිනේෂ්


advertistmentadvertistment