ශ්‍රී මාමා ට වසර 25යි
පුරා වසර 25ක් කලා ලෝකයේ රැඳෙමින් කුඩා දරුවන්ගේ සෞන්දර්ය මෙන්ම මානසික සංවර්ධනයට කලා නිර්මාණ සහ ළමා ප්‍රසංග රැසක් ඉදිරිපත් කළ ශ්‍රී කාන්ත වීරක්කොඩි නමින් ඔහුට අපි කවුරුත් වැඩිය හැඳින්වූයේ නැතත් ශ්‍රී මාමා කිව්වම අපි කවුරුත් කැමති චරිතයක්. පොඩි දරුවන් වෙනුවෙන් ඔහු මහඟු සේවයක් ඉටු කර ඇත. 80 දශකයේ අගභාගයේ කලාවට පිවිසි ඔහු පොඩි දරුවන්ගේ මානසික වර්ධනය සඳහා සංගීතය යොදා ගනිමින් විශාල කාර්යභාරයක් සිදුකරයි.
ලංකාවේ අද වනවිට පැරණි සිංහල ළමා ගීත අපට අසන්න ලැබෙන්නේ කලාතුරකිනි. මන්ද සියලුම දෙනා කාර්ය බහුලත්වයත් සමග ගීතයක් රස විඳින්නටවත් අද කාලයක් නොමැති තරම්. ‘මගෙ පොඩි යාළු’ වැනි පැරණි සිංහල ගීත අදටත් අපේ හදවත් තුළ නොමැකෙන මතකයක් තිබෙන ගීතයක්. ඒ හා සමානව අනිකුත් පැරණි ළමා ගීත අභාවයට යමින් සිටින වකවානුවක එම වගකීම තම කරට අරගෙන දරුවන් වෙනුවෙන් යමක් කරන්නට තමයි ‘ශ්‍රී මාමා’ උත්සාහ කරන්නේ.
දැන් වෙනකොට පැරණි ළමා ගීත නැති වෙමින් යනවා. දරුවන්ට ඒ සින්දු අහන්නවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මාධ්‍ය හරහාවත් ඊට අවස්ථාවක් ලබාදීලා නැහැ. පෙර පාසල් දරුවන්, පාසල් දරුවන් වෙනුවෙන් ඔහු ‘සතුටු ළමා ලෝකය’ නමින් වැඩසටහනක් සිදුකරනවා.
මේ වනවිට පෙර පාසල් 1000කට අධික ප්‍රමාණයකට වැඩසටහන සිදුකරලා තියනවා. කණ්ඩායමක් ලෙස ගොස් පුංචි දරුවන් වෙනුවෙන් ගීත ගායනා කරමින් ක්‍රියාකාරකම් සමගින් ප්‍රාසාංගික වැඩමුළුවක් ලෙස දෙමාපියන්, ගුරුවරුන් දැනුවත් කරමින් දරුවන් වෙනුවෙන් මේ සිදුකරන කාර්ය භාරය නිතැතින්ම අගය කළ යුතුය. ‘සතුටු ළමා ලෝකය’ නමින් අපේ කණ්ඩායමක් ඉන්නවා. විවිධ තේමාවන්වලට ඇඳුම් පැලඳුම් සකස් කර සජීවීව ගීත ගායනා කරනවා. දරුවනුත් අපි එකතු කර ගන්නවා.
මුදල් ලබාගැනීමේ අරමුණකින්ම නෙමෙයි මේ කටයුත්ත සිදුකරන්නේ. අපේ දේ රැකගන්න අපි අපේ දරුවන්ට දැන්ම කියලා දුන්නේ නැතිනම් මේ දේවල් අපිට ආරක්ෂා කර ගැනීමට බැරි වෙනවා. අතීතයේ සිට අපේ විශිෂ්ට කලාකරුවන් මහත් උත්සාහයෙන් ගොඩනැඟූ දේශීය කලාකෙත අස් වද්දන කල. එම මෙහෙය අගයනු වස්, පුරන් වෙමින් පවතින හරවත් ළමා ගීත කලාව නැවත සිහිගන්වමින් ශ්‍රී මාමා චරිතයට වසර 25ක් පිරීම නිමිත්තෙන් වියපත් නොවන – සුවපත් මතක ‘සඳ වට හිරු’ ගීත රසෝඝය 2025 මාර්තු 30 සවස 6.30ට කොළඹ 7, සුදර්ශි සිංහල සංස්කෘතික ආයතන එළිමහන් රංග පීඨයේදී ඉදිරිපත් කරනු ලබයි.
සුන්දර සිතිවිලිවලින් පිරීගිය ඔබගේ ළමාවිය කවි සින්දු අසමින්, ගී සින්දු ගායනා කරමින්, තාලයට රටාවට දුව පැන නටමින් සතුටු වූ කාලවකවානුවකි. ඒ අතීතයට යළි පිය මැන ගී රස විඳිමින් ළමා ලොව නැවත සැරි සැරීමට වැඩිහිටි අපි ද කැමැත්තෙමු.
ඒ නිසාවෙන්ම සෞන්දර්යාත්මක රසවින්දනය කැටි වූ ළමා ගීත ගැයුම්, වැයුම් මෙන්ම රැඟුම් ද ඇතුළත් කර ගනිමින් ඔබ සමග සතුටු වීමට මෙම ප්‍රසංගය ඉදිරිපත් කරන්නෙමු.
ඔබ බාල කාලයේ ඇසූ ළමා ගීත ඒ රසයෙන්ම ඔබට සිහිපත් කරන්නට ‘සඳ වට හිරු’ ගීත රසෝඝය තිළිණ කරන්නෙමු. මෙම ප්‍රසංගය සැඳෑ සුවය විඳින ඔබට නැවුම් අත්දැකීමක් වනු නියතය. ශ්‍රී මාමාගේ දුරකථන අංකය – 0777248136 වේ.
සුජාතා ජයරත්න