සබරගමුව කිරිමඩු ශාන්තිකර්මයේ පුද ලබන මංගර දෙවියෝ

80

ලංකාවේ සිංහලයන් අතර මෙන්ම දමිළ ජනයා අතරද ගෞරවාදරයට පාත්‍රව සිටින මංගර දෙවියෝ වන්නි ජනයා අතර මෙන්ම තමන්කඩුව ප්‍රදේශයේත් රුහුණේ වලවේ ගංදෑලේ මාතලේ සහ මයියංගන ප්‍රදේශවලත් පුදපෙත් ලබති. අත් සතරකින් යුත් මංගර දෙවියන් එක් වමතක ගිනිකබලක්ද දකුණු අතක පොල්මලක්ද අනිත් වමතෙහි කඩුවක්ද දකුණතෙහි අභය මුද්‍රාව ද දරා සිටියි.

භාරතීය සම්භවයක් ඇතැයිද පැවසෙන මංගර දෙවියන් ඉන්දියාවේදී යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය උගත් බවත් ඒවා උපයෝගී කරගනිමින් ලංකාවේදී දස්කම් පෑ බවත් පැවසේ. (දේව පුරාණය 358 පිටුව)

ඉරි නුග කිරිනුග මානුග මෙලෙසින
බෝනුග දෙහිනුග පටනුග දිලෙමින
කිරිපළු නුගයන සත්කුල නුගයෙන
මෙනුග සතට මැද රත්නුග පැළවුන

කිසිවකුට කපා දැමිය නොහැකි නුග ගසක් මොහු විසින් කපාදමා දස්කම් පෑ බව පැවසේ. කදිරාගොඩ නම් ගම්පියසේදී මංගර එහි විසූ කුළු මීමෙකු බැඳීමෙන් සහ බින්තැන්න ප්‍රදේශයේදී ඇතකු අල්ලා දස්කම් පෑ බවද පැවසේ. කතරගම කන්දේදී ඇලි මුවකු ඇල්ලීමෙන්ද දස්කම් පෑ මංගර දෙවියන් බැටළු වාහනාරූඪව සිටී.

බොහෝ විට මංගර දේව විශ්වාසය අනුව සතුන් ඇති කිරීම සම්බන්ධව ද විවිධ තොරතුරු බැඳී පවතී. මංගර දෙවියන් සම්බන්ධ අභිචාර විධිය කිරිමඩු ශාන්තිකර්මයයි. මංගර දෙවියන් සමග පත්තිනි දේවමෑණියන් සුමන සමන් දෙවියන් සහ කතරගම දෙවියන් පරිවාර දෙවියන් ලෙස කිරිමඩු ශාන්ති කර්මයේ පුදපෙත් ලබයි.

සබරගමු නර්තන සම්ප්‍රදායේ සුවිශේෂී ශාන්තිකර්මයක් වන කිරිමඩුව ශාන්තිකර්මය විශේෂයෙන් රත්නපුර කලවාන කුරුවිට බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයක බෙහෙවින් පවතී.

ගැමියන් සිය අසවනු නෙළාගැනීමෙන් පසු අතමිට සරුව විවේකීව සිටින කාල පරාසය තුළ ගවා මහිෂාදීන් ආරක්‍ෂා කරගැනීමත් වඳුරු වසංගත රෝබිය දුරුකරගැනීම පිණිසත් කිරිමඩු ශාන්ති කර්මය පවත්වයි. උඩරට කෙහොඹායක් ශාන්ති කර්මයේ පූජා විධි මෙන්ම කිරිමඩු ශාන්ති කර්මයේදීද කප්සිටුවීම තොට පේකිරීම පහන් දැල්වීම මංගල දවුල් වාදනය මංගර දේවතා කන්නලව්ව දළුමුර පාලිය හත්පද පෙළපාලිය යහන්දැකීම පන්දම් පද ඇතුළු නර්තනාංග රැසක් සිදුකරන අතර අවසන කෙරෙන දේව ශාන්තියෙන් මඩුව නිමාවේ. කිරිමඩුව ශාන්ති කර්මයේ එක් පුරාවෘත්තයකට අනුව මංගර කුමරුන් මීකැඩීම සඳහා වනයට ගිය අවස්ථාවක එය කැඩීමට ගත් උත්සාහයකදී රජමැස්සිය මියගිය අතර එම රජ මැස්සිය ගවර විලේ මීමෙකු වී උප්පතිය ලබන බවත් මෙම මීමා මරා කිරි උතුරවා සෙත්ශාන්තිය කොට නැවත එම මීමාට පණ ලබාදෙන බව පැවසේ (උඩ පාත සබරගමු නර්තනය අතිරේක කියවීම් පොත. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඥාණසිරි පීරිස්)

මංගර දෙවියන් කිරිහරකුන් භාරව සිටින දෙවියා ලෙසද සැලකේ. සුදු ඇඳුමකින් සැරසී නිතර සැරිසරන බව ජන විශ්වාසයේ පවතී. මෙතෙමේ සිරිලක මායාරටේ උපන්නෙකු බවත් ඉන්දියාවට ගොස් සිට පසුව ලංකාවට නැවත පැමිණ රුහුණේ උසන්ගොඩ විසූ බවත් එහිදී දේවාල භූමියේ නුගගසක තිබූ මීයක් කඩාකෑමේදී මීමෙකු ඔහුට ඇනීම හේතුවෙන් මංගර මියගිය බවත් පසුව දෙවියකු වී උප්පත්තිය ලැබූ බවත් පැවසේ. (දේවපුරාණය-338 පිටුව)

මංගර දෙවියන්ගේ තවත් උපත් කතාවකට අනුව මංගර කුමරු බිසවකගේ පියයුරු දෙමැදින් උප්පත්තිය ලද බව කියවේ. මායා රට විසූ කිතල්වල නම් රජුගේ බිසවුන් දියනෑම පිණිස හුදෙකලාවම අසල පිහිටි විලකට ගියාය. විලේ දිය නෑ බිසව ආපසු මාලිගාවට විත් රාත්‍රී නිදි යහනට ගිය බිසවුන්ට අපූරු සිහින තුනක් පෙණිනි. පළමු සිහිනයෙන් දැවැන්ත නාගයකු දකින බිසව දෙවැනි සිහිනයෙන් අගනා මාණික්‍යයක් දුටුවාය. තුන්වන සිහිනයෙන් ඇය රනින් නිමකළ ඔටුන්නක් හිස පැළඳ සිටිනු දකියි. මෙම සිහින විමසූ නැකැත්කරුවන්ගේ අදහස වුණේ බිසව බලවත් කුමාරයකු ලබන බවයි.

මෙතෙමේ සිය ආත්ම භාවයන් අතර දහතුන්වෙනි ආත්මභාවයකදී ඉන්දියාවේ දකුණු වෙරළබඩ ප්‍රාන්ත රජෙකුගේ රාජ පුත්‍රයකු ලෙස උප්පත්තිය ලබන බවද මෙසේ උප්පත්තිය ලබන මංගර කුමරු සැහැසි ගති පැවතුම් ඇත්තෙක් වන අතර රජුට එපාවෙන මොහු පිරිසක් සමග රටින් පිටුවහල් කරයි. මෙසේ ලක්දිවට පැමිණෙන මංගර රුහුණු රට පෙදෙසේ කලක් ඉඳ බිංතැන්නට පැමිණෙන බවද පැවැසේ. මංගර දෙවියන්ගේ දේවරූප කතරගම වැඩිහිටි කන්දේද බේරුවල සූනියම් දේවාලයේද උඩුනුවර ඇම්බැක්ක දේවාලයටද නුදුරු වෙරළබඩ කන්දේ දේවාලයේ ද පවතී. මෙම දෙවිදුන්ගේ ස්වරූපය මෙම කෝල්මුර ගායනාවෙන්ද පැහැදිලි වේ.

සතරක් මහ බඹර දමෙන් වැඩමෙව් මනුලොව වඩන්න
සතරක් මංගර සුරිදුනි පෙරටුව ආයුධ දරන්න
කබලක් ගිනි අතකින් ගෙන අතකින් රන් කඩුව ගන්න
මලකුත් පොල් අතකින් ගෙන බැටළු වාහනෙන් වඩින්න

දස දහසක් සක්වලට කොදෙව් දෙදහසට රුහුණු මායා පිහිටි රටයයි යන නාමයෙන් ප්‍රසිද්ධ වන්නාවූ මෙම සිංහල දිවයිනට ඔබවහන්සේ ගේ අණ පවතිනවා සත්තවාදී සැබෑවී නම් බිංතැන්නේ මහලේවායේ සිටින හස්ති රාජයා අල්ලා දණ නමස්කාරය කළ ආනුභාව අද දක්වා මෙම ශ්‍රී ලංකාවේ පැතිර පවතිනවා සත්තවාදී සැබෑවී නම් කතරගම කන්දස්වාමීන් වහන්සේගේ ඇලිමුවා අල්ලාමරා හතරගාතේ වෙන වෙනම කපා නැවත ප්‍රාණේ පිහිටුවා කතරගම කන්දස්වාමීන් වහන්සේට දණ නමස්කාර කරවපු තැනේදී හරි මගෙ මස්සිනේයි කියා කතරගම කන්දස්වාමීන් වහන්සේගෙන් නිසිසේ නින්දගම් දහඅටක් තෑගි ලැබුවා සැබෑවී නම් ලොව්තුරා සර්වඥයන් වහන්සේගෙන් වරම් ගෙන දහඅට දේශයේ යකුන්ඩ ශ්‍රී වික්‍රම සෙනෙවිරත්න යයි යන නමකින් ප්‍රසිද්ධව මෙම ශ්‍රී ලංකාවේ පැතිර පවතිනවා සත්තවාදී සැබැවී නම්… ආදී වශයෙන් මංගර දේව කන්නලව්වේ මංගරදෙවියන්ගේ හාස්කම් දැක්වේ. (සි.දේ.පු 339 පිටුව)

සබරගමුව කිරිමඩු ශාන්තිකර්මයේ පුද ලබන මංගර දෙවියෝ

දහම්පාසල් ආචාර්ය ’ කලාභූෂණ’
විශ්වාභිනන්දන’
සියනෑ ගෞරවකීර්ති
සරණපාල නුවරපක්‍ෂ
පූගොඩ. 0718985424

advertistmentadvertistment
advertistmentadvertistment