මඟුල් මහා විහාරය ඉදිකර තියෙන්නෙ කාවන්තිස්ස රජු…

මඟුල් මහා විහාර භූමියේ කටාරම් කෙටූ ලෙන් 25යි 11ක සෙල් ලිපිත් කොටලා…

පර්වතය මුදුනෙ දාගැබත් නිධන් හොරු හාරලා පරිවාර චෛත්‍යයත් විනාශ කරලා…

ආදි මානවයා භාවිතා කළ ගල් ආයුධවල කොටසුත් හමුවෙලා…

ගල් කෙමි පොකුණුවල ජලය මහ පෑවිල්ලකටවත් හිදෙන්නෙ නෑ…

යාල මහ වන මැද පිහිටි ඓතිහාසික බෞද්ධ පුදබිම් කිහිපයකි. ඒ අතරින් සිතුල්පව්ව රජමහ විහාරය ප්‍රධානය. එම පුදබිමට යනෙන තිස්සමහාරාම නගරයේ සිට යෝධකණ්ඩිය මාර්ගයේ කිලෝමීටර 12 ක් පමණ ගමන් කරන විට හමුවන මඟුල් මහා විහාරය ද යාල වන මැද නටබුන් බවට පත් වී තිබෙන ඓතිහාසික බෞද්ධ පුදබිමකි.

ඉපැරැණි චෛත්‍ය වහන්සේනමක් සහ විසල් ලෙන් විහාරයක් තුළ සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ සිටින ඒ පින්බිමේ ගල් තලාවන් මත ගල් කෙමි ඇසුරින් නිර්මාණය වූ මහ පෑවිල්ලකට හෝ දිය නොසිඳෙන පොකුණු සමූහයකි. විහාරය පාමුල තැන්නෙ කුඩා වැවකි. පින්බිම පුරා මහ වනයෙන් යට වූ කටාරම් කෙටූ ලෙන් 25 ක් පමණ තිබෙන අතර ඒ ලෙන් 11 ක සෙල්ලිපි ද කොටා තිබේ. එමෙන්ම පින්බිම මැද පිහිටි විසල් ගල් පර්වතය මස්තකයේ තැනිතලා බිමේ පිහිටි චෛත්‍ය වහන්සේ නිධන් සොරුන් විසින් ගඩොල් ගොඩක් බවට පත් කර ඇති බව කන වැකෙන විට නිවී සැනහී තිබුණු සිත ගිනියම් විය. එම පුදබිම පුරා තැන, තැන පිහිටි සෙසු චෛත්‍ය වහන්සේ ද මැදින් හාරා නිධන් කොල්ලකා ඇති බව ඇසෙන විට දෙසවන් අඟුළු වැටිණි. ඒ පව්කාරයන් විසින් රැස් කරගෙන තිබෙන අකුසල ගැන සිහිවන විට සිත තිගැස්සිණි. මඟුල් මහා විහාරස්ථානයේ, විහාරාධිකාරී නාගිත හාමුදුරුවෝ එම පුදබිමේ ආශ්චර්ය ගැන කරුණු පැහැදිලි කරනවිට එහි ‘බෞද්ධ උරුමය’ කොල්ල කෑ නිධන් සොරුන් යහතින් නම් නැති බව අපට හැඟිණි.

“මම අවුරුද්දයි මාස කිහිපයක් එක දිගට මේ ස්ථානයේ ලෙන් කුටියක වැඩ සිටියා. මගෙ තනියට හිටියේ වන සතුන් විතරයි. වලස්සු නිතර එනවා. දිවියා ඉඳහිට එනවා. අලි, ඇත්තු රංචු පිටින් ඇවිත් මේ පොකුණුවල වතුර බීලා යනවා. ඒ සතුන්ගෙ නපුරු බැල්මක්වත් මා දෙසට වැටිලා නෑ. ඒ වගේම මම වැඩ සිටි කුටියෙ ඉදිරිපස පිහිටලා තිබුණේ චෛත්‍ය වහන්සේ දෙසට මුහුණලා. සමහර දවස්වල මහ රෑට එළි ඇවිත් චෛත්‍යයට පාත් වෙනවා හොඳට පේනවා. සුදු වතින් සැරසුණු සෙවණැලි චෛත්‍ය වහන්සේ වන්දනා කරන අයුරු පේනවා. පෝය දවස්වල රෑට මල් සුවඳින්, හඳුන්කූරු සුවඳින් මුළු භූමියම සුවඳවත් වෙනවා. ඒක පුදුමාකාර සුවඳක්. ඒ වගේම මේ භූමියේ වැඩසිටින විට හිතට පුදුමාකාර සහනයක් දැනෙනවා. භාවනායෝගීව වැඩ සිටි මහරහතන් වහන්සේට ම වෙන් වෙච්ච භූමියක් කියලා මනසට දැනෙනවා. සමහර ලෙන්වල කටාරමට පහළින් එම ලෙන් පූජා කිරීම පිළිබඳ සඳහන් පූර්ව බ්‍රාහ්මී ශිලා ලේඛන දැකගන්න තියෙනවා. ඒ බොහෝමයක් ශිලා ලේඛන පුරාවිද්‍යාඥයන් විසින් කියවලා තියෙනවා. මහරහතන් වහන්සේගේ නම්වලට පූජා කරන ලද ලෙන් කුටි වගේම, සතරදිගින් පැමිණෙන මහ සංඝරත්නයට පූජා කරපු ලෙන් කුටිත් ඒ අතර තියෙනවා…”

මහ රෑට සුදු සෙවණැලි චෛත්‍යය වන්දනා කරන උස පර්වතයට නඟින්න ගල් පඩිත් තියෙන යාල වන මැද මඟුල් මහා විහාරය
ලෙන් විහාරය තුළ සැතපෙන බුද්ධ ප්‍රතිමාව

“ඒ වගේම මඟුල් මහා විහාර ආරාම සංකීර්ණය ඉදිකර ඇති කාලය ක්‍රි. පූ. 3 වන සියවසත් ක්‍රි. පූ. 1 වන සියවසත් අතර කාලයට අයත් වෙනවා. මාගම රාජධානියේ පාලකයාව සිටි කාවන්තිස්ස රජු තම විවාහය සිහිපත් කරමින් මඟුල් මහා විහාර හතරක් ඉඳිකර තියෙනවා. ඒ එක විහාරයක් තමයි මේ මඟුල් මහා විහාරය. සියලු විහාරංගවලින් මේ පින් බිම අංගසම්පූර්ණව නිර්මාණය කරලා තියෙනවා. මේ පින්බිමේ ප්‍රධාන දාගැබ තුළ බුදුන් වහන්සේගේ ශාරීරික ධාතූන්වහන්සේ තැන්පත් කොට තිබෙන බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ වගේම මේ මඟුල් මහා විහාරය හා බැඳුණු තවත් ඉතිහාස කතා රාශියක් තියෙනවා. කාවන්තිස්ස රජු සහ විහාරමහාදේවීය සිතුල්පව්ව විහාරය වන්දනා කරගැනීමට පැමිණි අවස්ථාවක සහදේව මහරහතන් වහන්සේගේ උපදෙස් පිට ආකාස චෛත්‍ය වහන්සේ ඉදිකිරීමට මහ ගල් පර්වතය මුදුනට නොනවත්වා ගඩොල් රැගෙන ගොස් මරණාසන්නව ගිලන් වූ සාමණේර හාමුදුරුවන්ට කතා කර නැවත රජ වාසලට පැමිණෙනවිට අශ්ව කරත්තයේ එක රෝදයක් පොළවේ එරිලා තියෙන්නෙ මේ මඟුල් මහා විහාරය ඉදිරිපිට. දෛවඥයෝ සොයා බලනකොට විහාරමහාදේවියගේ කුසේ කුළුඳුල් දරු සම්පත පිළිසිඳගෙන ඇත්තේ අශ්ව කරත්තෙ රෝදය පොළොවේ එරුණු මොහොතේ. විහාරමහාදේවියගේ ආරාධනාව මත කුසේ පිළිසිඳගෙන තියෙන්නෙ මරණාසන්නව සිට අපවත් වෙච්ච සාමණේර හාමුදුරුවෝ. දේවියගේ කුසේ වැඩී මෙළොව එළිය දුටු ඒ දරුවා දුටුණුගැමුණු කුමාරයා. අපේ රට එක්සේත් කරපු මහා වීර දුටුගැමුණු රජතුමා. ඒක දීර්ඝ ඉතිහාස කතාවක්. මම පැහැදිලි කළේ කෙටියෙන්…” පහළ වැව ඉස්මත්තේ චෛත්‍ය වහන්සේ දෙසට පියවර මනිමින් අපවත් වූ සිතුල්පව්ව රජමහා විහාරාධිපති මැටරඹ හේමරතන නායක හාමුදුරුවන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය රත්නය වූ, යෝධකණ්ඩිය දේවානන්ද ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පති, බෝපාගොඩ නාගිත හාමුදුරුවෝ මඟුල් මහා විහාර භූමියේ ඉතිහාසයත්, ආශ්චර්යයත් අපට පැහැදිලි කළහ.

1917 වර්ෂයේදී සිතුල්පව්ව සොයාගෙන පැමිණි කලහේ ශ්‍රී ගුණරතන නායක හාමුදුරුවෝ සහ ඉලුක්පිටියේ ජිනරතන හාමුදුරුවන්ට ප්‍රථමයෙන් හමුවී ඇත්තේ මඟුල් මහා විහාරයයි. එහෙත් නැවත ප්‍රතිසංස්කරණය වෙමින් බෞද්ධයාගේ වන්දනාවට පාත්‍ර වූයේ පසුව සොයාගත් සිතුල්පව්ව විහාරයයි. ඉතිහාසයේ සඳහන් ආකාරයට සිතුල්පව්ව ආරණ්‍ය සේනාසනය ආශ්‍රය කරගෙන මහරහතුන් වහන්සේ 12000 ක් වැඩ සිටි රුහුණු රට මඟුල් මහා විහාරයේ ද මහරහතුන් වහන්සේ වැඩ සිටි බවට එම භූමියෙන් සොයාගත් සෙල්ලිපි සහ කටාරම් සහිත ලෙන් කුටි සාක්‍ෂි දරන බව සැබෑය.

දාගැබට ඉදිරිපිට, මහ ගල් ත්‍රිත්වයක් බද්ධව පිහිටි තුන් දෙසට නිර්මාණය වී තිබෙන ලෙන් කුටි අභ්‍යන්තරය තුළ ඝනකම් බිත්තිවලින් කාමර වෙන් කර ඇති ආකාරයත්, එම බිත්ති ගල්, ගඩොල්, මැටි බදාම යොදා ඉදිකර ඇති බවත් එම කුටිවල අවශේෂ කොටස්වලින් පැහැදිළි වේ. එහෙත් දැන් එම ලෙන් කුටි වවුල් වාසස්ථාන බවට පත් වී තිබෙන අයුරු දුටු විට නම් සිත පෑරිණි. ඒ සතුන්ගෙ මළ, මුත්‍රා දුගඳට ලෙන් කුටි තුළ වැඩි වේලාවක් රැඳෙන්නට ද නොහැකි විය. ගල් තලාව මතින් පුදබිම ඉදිරියට පැමිණි අපි නිධන් සොරු විනාශ කර ඇතැයි පැවසෙන චෛත්‍ය වහන්සේ පිහිටි විසල් පර්වතය පාමුල පහළ පර්වත මුදුනෙ පිහිටි බුද්ධ ප්‍රතිමාව අසල නතර වීමු. යාල තුරු වියන හොඳින් දර්ශනය වන එම පර්වත මස්තකය මත හිඳගත් විට මොහොතින් මගේ සිත දැහැන්ගත විය. එහෙත් දැහැනට සමවැදී කාලය ගත කිරීමට ඉඩක් නොතිබිණි. මඟුල් මහා විහාර භූමියේ දැකබලා ගැනීමට තව බොහෝ නටබුන් ඉතිරිව තිබිණි. නිසල වන මැද, ඇත් රජුන් පවා වන්දනා කරන බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඳ පුදාගෙන අපි උස් ගල් පර්වතය මස්තකයට නඟින ගල් පඩි පෙළ සොයා ගියෙමු.

ක්‍රමයෙන් උස්ව යන ගල් තලා පහකින් පමණ සමන්විත නටබුන් සහිත මඟුල් මහා විහාර ආරාම සංකීර්ණයේ ප්‍රධාන දාගැබ පිහිටා ඇත්තේ පහත්ම ගල් තලාවට මදක් උස් වූ දෙවැනි ගල් තලාව මතය. එහි දකුණු දිසාවට මීටර් 17 ක් පමණ දිගින් හා මීටර් 16 ක් පමණ පළලින් යුත් චතුරස්‍රාකාර වේදිකාවක් මත එම දාගැබ ඉදිකර තිබේ. ගල්, ගඩොල් උපයෝගී කරගෙන ඉදිකර තිබෙන වේදිකාව මතට නැඟීමට උතුරු දෙසින් ගල් පුවරු යොදා සකස් කරන ලද පියගැට පෙළ ද ගරා වැටී තිබේ. එම වේදිකාව මීටර් 2.5 ක් පමණ උස් වන අතර දාගැබේ විෂ්කම්භය මීටර් 8 ක් පමණ වේ. පසුකාලීනව විනාශ වූ මුල් දාගැබ වටකොට ගඩොල් හා සිමෙන්ති භාවිතයෙන් එහි අඩක් ඉදිකොට තිබේ. එහි උස මීටර් 4 ට වැඩි නැත. අපවත් වූ සිතුල්පව්ව රජමහා විහාරාධිපති මැටරඹ හේමරතන නායක හාමුදුරුවන්ගේ අනුශාකත්වය යටතේ වර්තමානයේදී එම දාගැබ සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර ඇති බව ද වාර්තා වේ. දාගැබේ මළුව වටා අලංකාරවත් රන් වැටක් ද ඉදිකර තිබේ. එමෙන්ම ප්‍රධාන දාගැබ ආසන්නයේ, පහළ වැවට උතුරු දෙසින් නටබුන් වූ ගොඩනැඟිල්ලක ගඩොල් බැමි හා ගල් කණුවක් ද දැකගැනීමට ලැබේ. ගඩොල් බැමි මතින් වාහන ගමන් කිරීම නිසා එම පුරාවිද්‍යා සාධක විනාශ මුඛයට තල්ලු වෙමින් තිබෙන බව ද පෙනේ. නටබුන් බවට පත් වී තිබෙන එම ගොඩනැඟිල්ලට උතුරු දෙසින් ඉහළ කොටසේ කැඩී ගිය ගල් කණු සහිත ගොඩනැඟිල්ලක අවශේෂ කොටස් ද දැකගැනීමට තිබේ.

තවත් ස්ථාන කිහිපයක නටබුන් බවට පත් වී තිබෙන විසල් ගොඩනැඟිලිවල පාදම් කොටස් හොඳින් දිස් වේ. විහාර සංකීර්ණයේ ඉදිරි කොටස වටවන පරිදි ඉදිකළ සීමා ප්‍රාකාරයක අවශේෂ කොටස් ද ශේෂ වී තිබේ. ගල් සහ ගඩොල් යොදා ඉදිකළ භාවිතය හඳුනාගැනීමට අපහසු ගොඩනැඟිලි කිහිපයක අවශේෂ කොටස් ද ඈතින්, මෑතින් පෙනේ. මඟුල් මහා විහාර පින් බිම මැද පිහිටි උස් පර්වත මස්තකයට නඟින ගල් පඩි පෙළ සොයා යන අපිට චුරු, චුරු වැස්ස බාධා කළ හෙයින් සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ සිටින පෞරාණික ලෙන් විහාරය තුළට ඇතුළු වුණෙමු. එම ලෙන් විහාරය පිහිටා ඇත්තේ ගල් පඩි පෙළ සහිත උසම ගල් පර්වතය පාමුලය. මීටර් 16 ක් පමණ දිගින් යුත්, මීටර් 4 ක් උසින් යුත් කටාරමක් සහිත ලෙනෙහි ගැඹුර මීටර් 5 කි. එහි දකුණු අන්තයේ මීටර් 09 ක් පමණ දිගැති ප්‍රතිමා ගෘහය නිර්මාණය කර තිබේ. එම ප්‍රතිමා ගෘහය තුළ මීටර් 6.3 ක් දිග සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කර තිබේ. එම ප්‍රතිමාව හා අභ්‍යන්තරයේ ඇති සියලුම සිතුවම් නවීකරණය කර ඇති බව ද පැහැදිළිව දර්ශනය වේ. ලෙන් විහාරය තුළ වවුලන් රජදහනක් කරගෙන තිබුණ ද බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ ආසනය පිරිසිදුව තිබීම වාසනාවකි. එමෙන්ම ප්‍රතිමා ගෘහය ඉදිරිපස කණු පාදම්ගල් දෙකක් දක්නට ලැබෙන අතර එහි තිබූ පැරැණි ඉදිකිරීමකට අයත් දැව කුලුනු සවිකොට තිබූ ඒවා විය හැකි බව ද අනුමාන කළ හැකිය. චුරු, චුරු වැස්ස මුරණ්ඩු විය. විහාර ගෙයි ගල් පොළව මත හිඳගෙන සිටින විට මගේ සිත අතීතයට දිව ගියෙමි.

මහ රෑට සුදු සෙවණැලි චෛත්‍යය වන්දනා කරන උස පර්වතයට නඟින්න ගල් පඩිත් තියෙන යාල වන මැද මඟුල් මහා විහාරය

වසර 1,25,000 ක් තරම් ඈත යුගයක මෙරට මානව ජනාවාස පැවැති බවට සාධක බුන්දල පතිරාජවෙල ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ. සිතුල්පව්ව අවට භූමියෙන් ද ප්‍රාග් ඓතිහාසික යුගය නියෝජනය කරනු ලබන සාධක බහුලව හමු වී තිබේ. ආදි මානවයා භාවිතා කළ බවට අනුමාන කරන ගල් ආයුධ නිෂ්පාදනය කළ ස්ථාන හා ඔවුන්ගේ ජනාවාසයක් යැයි හඳුනාගත හැකි ස්ථාන සමූහයක් ද මඟුල් මහා විහාර භූමිය අවටින් හමු වී තිබෙන බව ද වාර්තා වේ. ඔවුන් ආයුධ තැනීමට භාවිතා කළ වටගල් කැබලි, සුදු – රතු – දුඹුරු කහඳ පතුරු, තිරිවාන ගල් පතුරු අවට පිහිටි ගල් තලා මතින් හා ලෙන් ආශ්‍රිතව හමු වී තිබේ. නියොලිතික හා මහා ශිලා සංස්කෘතියට සම්බන්ධ යැයි බොහෝ සෙයින් සැලකිය හැකි සාධක ද මඟුල් මහා විහාරය අවට විසිරී පැතිරී තිබෙන බව වාර්තා වේ. එහෙයින් මඟුල් මහා විහාර භූමිය සහ අවට ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවෙන මහා ඉතිහාසයක් සඟවාගෙන සිටින පින්බිමක් බව සැබෑය. එමෙන්ම පසුකාලීනව විවිධ රජවරු යටතේ විවිධ විහාරාංග නිර්මාණය කිරීමට අවශ්‍ය ගල් කණු සකස් කිරීමට මඟුල් මහා විහාර භූමියේ ගල් උපයෝගී කරගෙන ඇති බවත්, මේ ස්ථානයේදී ගල් කණු නිර්මාණය කර ඇති බවට ද සාධක හමු වී තිබේ. බුද්ධ ප්‍රතිමා වහන්සේට එකත්පසව ගල් පඩිය මත අසුන් ගෙන සිටි නගිත හාමුදුරුවෝ නැවත හඬ අවදි කිරීමත් සමඟ මම පියවි සිහියට පැමිණියෙමි.

“මේ පර්වතය මුදුන සීගිරි පර්වතය වගේ විශාල ගල් තලාවක්. ඉහළට නඟින්න ගල් පඩිපෙළ තියෙනවා. පර්වත මුදුනට යාල වනාන්තරය හොඳින් දර්ශනය වෙනවා. ඉර සේවය බලන්න පුළුවන්. මුහුද හොඳට පේනවා. සාගරය හොඳින් දර්ශනය වෙන විශාල ගල් පර්වත මුදුන්වල අතීතයේ දාගැබ් නිර්මාණය කර තිබෙන බව ඉතිහාස කරුණුවලින් අනාවරණය වෙනවා. එහි අරමුණ වෙලා තියෙන්නෙ මුහුදේ ගමන් කරන යාත්‍රාවලට මේ බෞද්ධ දේශයක් බව දුර සිට හඳුන්වාදීමට. අපේ රටේ ප්‍රෞඪත්වය කියා පෑමටත් ඒ දාගැබ් උපයෝගී කරගන්න ඇති. යාල කැලය මැද පිහිටි ආකාශ චෛත්‍යය එයට කදිම උදාහරණයක්. ඒ වගේම මේ පර්වත මුදුනේ ඉදිකර තිබෙන දාගැබ් සිව්රැස් වේදිකාවක් මත ඉදිකර තිබූ බවත් අවශේෂ කොටස්වලින් හඳුනාගෙන තිබෙනවා. සිව්රැස් වේදිකාව මීටර් 12.3 ක් දිගිනුත්, මීටර් 11.5ක් පළලිනුත් යුක්ත වෙලා තියෙනවා. ගඩොල් හා ගල් යොදා ඉදිකර ඇති වේදිකාව සෙ. මී. 80 ක් පමණ උසින් යුක්තයි. දාගැබේ විශ්කම්භය මීටර් 7.5 ක්. මීටර් 2 ක උසකින් යුක්තවෙලා තියෙනවා…” නාගිත හාමුදුරුවෝ විස්තර කරන නටබුන් චෛත්‍ය වහන්සේ දැකබලා ගැනීමට පර්වත මස්තකයට ගමන් කිරීමට අනෝරා වැස්ස අපට ඉඩ ලබා නොදුන්නේය.

අප මෙතෙක් කතා කළේ ඔබ නොදත් මඟුල් මහා විහාර භූමියේ ඇස්මානයේ පෙනෙන පුරාවිද්‍යා සාධක ගැන පමණි. කෙටුම්පත් සකස් කර ඇති ආකාරයට මඟුල් මහා විහාරයට අයත් අක්කර දෙසියපනහක් වැනි විශාල භූමි භාගයක් පුරා බෞද්ධ නටබුන් විසිර තිබේ. මඟුල් මහා විහාර භූමියේදී දැකගැනීමට තිබෙන බෞද්ධ ස්මාරක, විඳින්නට තිබෙන සොබා සෞන්දර්ය සිතුල්පව්ව විහාර භූමියට වඩා වැඩිය. එහෙත් මේ ඓතිහාසික පින්බිම ආරක්‍ෂා කරගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය තවම යොමු වී නැත. ලෙන් කුටි බොහෝමයක් තිබුණ ද දැන් එම කුටි ජාරාවාස වී තිබේ. මිනිසාගේ පැවැත්මට අත්‍යවශ්‍ය පානීය ජල පහසුකම් හෝ නැත. එහෙයින් මේ වන විට එම සිද්ධස්ථානයේ ස්වාමීන් වහන්සේනමකට වැඩ සිටීමට අවශ්‍ය පහසුකම් නොමැත. එම පහසුකම් සම්පූර්ණ වෙන්න මේ වෙනකොට මඟුල් මහ විහාරයේ ද ප්‍රතිසංස්කරණ කටයුතු අවසාන බව නාගිත හාමුදුරුවෝ අප සමඟ පැවසූහ.

දෙස්, විදෙස් සංචාරකයන්ගේ නෙත්, සිත් ඇද බැඳගන්නා ආකර්ෂණීය සිද්ධස්ථානයක් වන මඟුල් මහා විහාරය නැවත නඟාසිටුවීමට ඔබට යමක් කළ හැකිය. සිතුල්පව්ව විහාරස්ථානයේ සිට මඟුල් මහා විහාර භූමියට ඇති කිලෝ මීටර් 12 ක දුරට ජල නළ එලීමට සම්මාදම් විය හැකිය. භික්‍ෂු වාසයට යෝග්‍ය ලෙන් කුටියක වැඩ නිම කොට පූජා කිරීමට අවස්ථාව තිබේ. මඟුල් මහා විහාරය නැවත ප්‍රතිසංස්කරණය කිරීමට හැකි පමණින් දායක විය හැකිය. එම කුසල කර්මවල විපාක සසර ගමන කෙටි කරගැනීමට ඔබට පිහිට වේ. එමෙන්ම දෙස්, විදෙස් බෞද්ධ ඔබත් මඟුල් මහා විහාරය වන්දනා කරගත යුතු බව අපගේ හැඟීමය. මේ මනරම් පින්බිම විදේශීය සංචාරකයන්ගේ නෙත’ගට යොමු කිරීමට අදාළ නිලධාරීන්ගේ නෙත් විවර වේ යැයි අපි සිතමු. තවදුරටත් පින්බිමේ රැඳෙන්නට ඉඩක් නැති විය. මඟුල් මහා විහාරය පාමුලට ගංවතුර ගලාවිත් තිබිණි.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment