දඹධුරය ගම හදා ජාතියට ආදර්ශයක් දෙමින් රටක් දිනාගත් ග්‍රාම නිලධාරීනී ඇයයි

1590

අප රටේ රාජ්‍ය සේවය පිළිබඳ ඇත්තේ එතරම් හොඳ චිත‍්‍රයක් නොවේ. අල්ලස, දූෂණය, මෙන්ම අකාර්යක්ෂමතාවයන් නිසා රාජ්‍ය සේවය පිරිහී ඇත. සමස්ත රාජ්‍ය සේවකයෝම දූෂිතයෝ නොවෙති. එහෙත් එවැනි පිරිසක් රාජ්‍ය සේවය තුළ සිටින බව සත්‍යයකි. අප රටේ රාජ්‍ය සේවය පිළිබඳ ප‍්‍රතිරූපයන් ඉහළ නැංවූ අපේ කාලයේ සැබෑ දිරිය කතක, මාතාවක පසුගිය දිනෙක අපට මුණගැසුණි. ඇය නමින් නිෂාරි අනුරුද්ධිකා නම් වන්නීය. ඇය කටාන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දඹධුරය ග‍්‍රමසේවා කොට්ඨාසයේ ග‍්‍රාම නිලධාරිනියයි.

ට‍්‍රාන්ස්පේරන්සි ආයතනය (Transparancy) සමාජයට සුවිශේෂී වටිනාකම් එකතු කරන රාජ්‍ය සේවකයන් ඇගයීම් සඳහා වාර්ෂිකව සම්මාන හා උපහාර පිදීමේ උත්සවයන් සංවිධානය කරනු ලබයි. සුපිළිපන් ප‍්‍රණාම ලෙස නම් කෙරෙන මෙම සම්මාන උත්සවය 2021 වර්ෂය සඳහා බස්නාහිර පළාත නියෝජනය කරමින් බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේදී පැවැත්විණි. එහිදී අප කතානායිකාව වන නිෂාරි අනුරුද්ධිකා සුපිළිපන් සම්මානලාභිනියක වන්නේ ග‍්‍රාමසේවා නිලධාරී ඉතිහාසයේ සුවිශේෂිතම චරිතයක් බවට පත්වෙමිනි.

ඔබ ග‍්‍රාමසේවා නිලධාරි වෘත්තිය තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබෙනවාදැයි අපි ඇගෙන් විමසුවෙමු.

මම මුලින්ම සේවය කළේ පෞද්ගලික ආයතනයක. අලෙවි අංශයෙයි. මගේ දක්ෂතා දුටු ආයතනය මාස තුනක් ඇතුළත මට අලෙවි අංශයේ සුපවයිසර්වරියක ලෙස උසස්වීමක් ලබා දුන්නා. මට හොඳ වැටුපක් ලැබුණා. ඔය අතරෙ තමයි 2012 වර්ෂයේදී ග‍්‍රාම නිලධාරිනියක ලෙස පත්වීමට අදාළ ලිපිය ලැබෙන්නේ. මම දෙපාරක් සිතුවේ නැහැ. එම තනතුර ලබා ගන්න තීරණය කළා. පෞද්ගලිකව බැලූවා නම් මට හිටපු තනතුරෙන් ඉහළ වැටුපක් ලබාගෙන මගේ පවුල හොඳින් බලාගෙන ඉන්න තිබුණා. නමුත් මම ජීවිතය දිහා බලන විදිහ වෙනස්. මම ඉපදිලා ඉන්නේ මගේ පවුල වෙනුවෙන් පමණක් නොවෙයි කියන සිතුවිල්ලෙයි මම ඉන්නේ. මම නිතරම හිතන්නේ අපි සරල වෙන්න ඕනෑ කියලයි. අපි කොයිතරම් හම්බ කළත් ලොකු නිවාස තැනුවත් අපට නිදාගන්න එක කාමරයක් හොඳටෝම ප‍්‍රමාණවත්. අපට කන්න බොන්න, විඳගන්න තිබෙන දේවලූත් එහෙමයි. සරලව හිතුවොත් ජීවිතය සැහැල්ලූවෙන් ගතකරන්න පුළුවන්. එයින් ලැබෙන නිදහස තුළ මම මගේ ජීවිතය කළමනාකරණය කර ගන්නේ ජනතාව වෙනුවෙන් සේවය කිරීමටයි.

දඹධුරය ගම හදා ජාතියට ආදර්ශයක් දෙමින් රටක් දිනාගත් ග්‍රාම නිලධාරීනී ඇයයි

දඹධුරය ග‍්‍රාමසේවා කොට්ඨාසය සම්පූර්ණයෙන්ම ගංවතුරෙන් යටවන ප‍්‍රදේශයකි. ඊට හේතු වී තිබෙන්නේ දඩුගංඔයට ආසන්නව මෙම ගම්මානය පිහිටා තිබීමයි. ඇය මෙම ගමට එද්දී දඹධුරයට නිසි ග‍්‍රාම නිලධාරී කාර්යාලයක්වත් නොතිබිණි. නමුත් අද වනවිට ස්මාට්, හුරුබුහුටි ග‍්‍රාම නිලධාරී කාර්යාලයක් දඹධුරයට ඇත. ඇයගේ ධෛර්යයවන්තභාවයෙන් ජනතාවට සේවය කිරීමට කැපවීම නිසා ජනතාවගෙන් පෙරළා ලැබුණ හිතවත්කම් මත මෙම සියල්ල දඹධුරයට ලැබී ඇත.

‘‘දඹධුරය කියන්නේ කුඩම්මාගේ සැලකිලි ලැබුණු ග‍්‍රාමසේවා කොට්ඨාසයක්. මම මුලින්ම ග‍්‍රාමසේවා කාර්යාලය පටන්ගන්න ගියේ ගුරුවරයකුගේ ගෙදර. ඉන් පසුවයි මෙතැනට ආවේ. කොවිඞ් වසංගතය ඇවිත් මාස හයක් යද්දී මෙම ප‍්‍රාදේශයට ගංවතුරක් ආවා. මම මැදිහත් වෙලා ගමේ අවතැන්වූ ජනතාවට දවස් ගාණක් කන්න දුන්නා. මේවා කරනකොට ගමේ ජනතාව මට සමීප වුණා. අද මම ගමේ මොනව හරි කරන්න හැදුවොත් මුළු ගමම එකතු වෙනවා. මිනිස්සු මට පණ දෙන්න වුණත් සූදානම්.

පිංපඩි ගැනීමට ඇගේ ළඟට කොළ පුරවා ගැනීමට පැමිණෙන උදවිය ගැන ඇයට තිබුණේ දුකකි. එනිසා ඔවුන්ට යම් ආර්ථික ශක්තියක් ලබාදීමට ඇය කල්පනා කළාය. ග‍්‍රාමසේවා නිලධාරී චරිතයෙන් ඔබ්බට ගොස් ඇයගේ සැබෑ මානවවාදී චරිතය ඉස්මතු වන්නේ ඔය අතරතුරේදීය.

පිංපඩි ගන්න එන අම්මලා තාත්තලා දුටුවිට මට විශාල දුකක් ඇතිවුණා. මම ඔවුන්ට පහන්තිර ඇඹරීමට අවශ්‍ය පහසුකම් සලසා දුන්නේ ඔවුන්ගේ ආර්ථිකය සුළුවෙන් හෝ ශක්තිමත් කිරීමේ අටියෙන්. ඒ විතරක් නෙවෙයි අපි හැදුවා ‘අපේ ගම’ කියල සංවිධානයක්. එහි කටයුතු දඹධුරයට පමණක් සීමා වෙලා නැහැ. එය ජාත්‍යන්තර සංවිධානයක්. එහි සභාපතිනිය ලෙස සමාජ සද්කාර්යයන් විශාල ප‍්‍රමාණයක් අපට පසුගිය කාලයේදී කරන්න පුළුවන් වුණා. මෙම සංවිධානය හරහා ව්‍යවසායකයන් 250 ක් පමණ අපි බිහිකරලා තියෙනවා. විශේෂයෙන් බිම්මල් වගාව ගැන පුහුණුවක් ලබාදී පිරිසක් බිම්මල් හදන්න යොමු කළා. ඉතාමත් පහළ ආර්ථික මට්ටමක සිටි අය මේ නිසා ශක්තිමත් වුණා. සමහරු පුංචි වාහනයක් අරන් මෙම ව්‍යාපාරය කරගෙන යනවා. ඒ ගැන මට ඇත්තේ විශාල සතුටක්.

නිල් කටරොළු සංගමයේ ලේකම් වශයෙන්ද මම කටයුතු කරනවා. රුසියාවේ ව්‍යාපාරිකයකු හා එක්ව නිල් කටරොළු අපනයනය කිරීමට අප ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.

ඔබව මෙම සම්මානයට නිර්දේශ කිරීම හා සම්මානය ලබාගත් මොහොත දක්වා ලැබූ අත්දැකීම් මොනවාදැයි අපි ඇගෙන් විමසුවෙමු.

මෙම සම්මානය සඳහා මාව නිර්දේශ කර තිබුණේ. ගම්පහ ග‍්‍රාමසේවා නිලධාරී සංගමයයි. එම කාලයේදී කොරෝනා නිසා මම වැඩ රාශියක හිරවෙලයි හිටියේ. අපේ ග‍්‍රාමසේවා නිලධාරීන් පිරිසක් කොරෝනා වසංගතය නිසා නැතිවුණා. සුපිළිපන් සම්මානය සඳහා පරීක්‍ෂණයට එන්න කියලා කිව්වම මට වේලාවක් නැහැ කිව්වා. නමුත් මාව යෝජනා කළ ග‍්‍රාමසේවා නිලධාරී සංගමයට කරන අසාධාරණයක් නිසා මගේ ජංගම දුරකථනයෙන් ඡුෘත්‍ 225 ක් හදලා යැව්වා. ඒක අසීරු කටයුත්තක්. නමුත් මම ඒ දේ කළා. මෙම සම්මාන උත්සවයේ අර්ධ අවසාන 250 දෙනා අතරට පළමුව තේරුණා. ඒකට රාජ්‍ය සේවයේ විවිධ නිලතල දරන අයව තෝරාගෙන තිබුණා. ඒ අතර කොරෝනා පාලනය කිරීමට කැපවුණු වෛi ක්‍ෂේත‍්‍රයේ හා පරිපාලන ක්‍ෂේත‍්‍රයේ දැවැන්තයෝ සිටියා. කෙසේ හෝ මෙම සම්මාන ප‍්‍රදානයේ අවසන් දස දෙනාට තෝරාගත් විට සම්මුඛ පරීක්‍ෂණයේදී මම ඇහැව්වා ග‍්‍රාම නිලධාරිනියක් වුණු මාව මෙම සම්මානය සඳහා තෝරාගත්තේ ඇයි කියලා. ඒ අවස්ථාවේදී සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලයේ සිටි නිලධාරියෙක් කිව්වා, මෙම සම්මානයට ග‍්‍රමා නිලධාරිනියක් තෝරා ගැනීමට විරුද්ධ වුණා කියලා. ඒකට හේතුව වශයෙන් ඔහු දැක්වූයේ ග‍්‍රාමසේවා නිලධාරී තනතුර එතරම්ම අකාර්යක්ෂමයි කියලයි. නමුත් මගේ ඡුරදසෙකැ බැලූ විට ඔහුගේ හිත වෙනස් වෙලා තිබුණා. ග‍්‍රාම නිලධාරිනියකට මෙතරම්ම වැඩ කොටසක් කළ හැකිද කියලා ඔහු පුදුම වෙලා තියෙනවා.

නිෂාරි විසින් ග‍්‍රාමසේවා නිලධාරී තනතුරට අලූත් වටිනාකමක් එක්කරදී ඇත. මෙම සම්මාන පිරිනමන විනිශ්චය මණ්ඩලයේ සිටි සාමාජිකාවක පවසා ඇත්තේ ශ‍්‍රී ලංකාවට ඔබින ග‍්‍රාමසේවා නිලධාරී නව සන්නාමයක් ලෙස ඇය හැඳින්විය හැකි බවයි.

තමන් දරන තනතුර වැඩ කරන්න මදි යැයි කන්කෙඳිරිගාන රාජ්‍ය නිලධාරීන්ට නිෂාරි විසින් අලූත් පාඩමක් කියා දී ඇත. නව සියවසේ අප රටේ රාජ්‍ය නිලධාරීන්ගේ භූමිකාවට අලූත් හැඩයක් ලබාදුන් ග‍්‍රාම නිලධාරිනී නිෂාරි අනුරුද්ධිකාගේ ඉදිරි ගමන සාර්ථක වේවායි අපි හදවතින්ම සුබ පතමු.

වසන්ත ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment