ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුවකුට නවක වධය ලබාදීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන තිබූ සිසුන් 10 දෙනා එළඹෙන 29 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් භාග්‍යා දිල්රුක්ෂි මහත්මිය නියෝග කළාය.
සැකකාර සිසුන් ඊයේ (16දා) බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙරිණි.
ඉකුත් අප්‍රේල් 29 වැනිදා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ චරිත් දිල්ශාන් නමැති සිසුවා දිවි නසාගෙන තිබුණි.
විශාදය හේතුවෙන් තමන් දිවි නසාගන්නා බවට ඔහු සිය අත්අකුරින් ලිපියක් ලියා තිබුණ ද ඔහුගේ ඥාතීන් හා මිතුරන් චෝදනා කළේ විශ්වවිද්‍යාලයේ ඇති නවක වධය දරාගත නොහැකිව ඔහු දිවි නසාගෙන ඇති බවය.
ඒ සම්බන්ධයෙන් සිදු කෙරුණු විමර්ශනවලට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිසුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක සහ බලන්ගොඩ – එන්. එච්. පියසේන