සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ 2 වැනි වසරේ සිසුවකු වූ චරිත් දිල්ෂාන් සිසුවා ගෙල වැලලාගෙන දිවි නසා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සරසවියේම සිසුන් 16 දෙනකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට ඊයේ (02දා) ඔවුන් සමනල වැව පොලිස් ස්ථානයට කැඳවා තිබිණි.
ඒ අනුව ඊයේ දහවල් වනවිට සිසුන් දස දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබූ බව ද ප්‍රකාශකයෙක් කීය.
එම සිසුන් පිරිස චරිත් සිසුවාට නවක වධය දුන්නේ යැයි පැවසෙන සිසුන් නොවන බව ද හෙතෙම කියා සිටියේය.
මියගිය සිසුවාට නවක වධය ලබා දුන්නේ යැයි කියන සිදුවීම ඇසින් දුටු සිසුන් පිරිසකගෙන් මෙලෙස ප්‍රකාශ ලබාගත් බව ද එම නිලධාරියා කීය.
ගම්පොළ පදිංචි චරිත් දිල්ෂාන් නමැති මෙම තරුණයා සිය නිවසේ පිටුපසදී ගෙල වැලලාගෙන දිවිනසා ගෙන තිබුණේ පසුගිය 29 වැනිදා රාත්‍රියේය.
එම සිද්ධියට අදාළව සබරගමුව සරසවියේම සිසුන් පිරිසක් සමනළ වැව පොලිසියට ද චරිත්ගේ ඥාතීන් ඒ ගැන පුස්සැල්ලාව පොලිසියට ද පැමිණිලි කර තිබිණි.
විශ්වවිද්‍යාල සිසුවාගේ මෙම සියදිවි නසා ගැනීමට නවක වධය බලපෑවේ නම් ඊට සම්බන්ධ සිසුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බව ද සමනළ වැව පොලිසිය කියයි.
දිවිනසා ගත් චරිත් විසින් සිය ලිපියේ සඳහන් කර ඇත්තේ තමන් මානසික ව්‍යාධියකට ලක්වීම නිසා සිය දිවි නසාගන්නා බවය. තමුන්ගේ කුඩා මල්ලි හොඳින් බලාගන්නා ලෙසත් අම්මා තාත්තාගෙන් සමාව ඉල්ලන බවත් එහි සඳහන් කර තිබූ බව ද පොලිසිය පවසයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුරංග දිල්හාන් -ගම්පොළ
ආචාර්ය සමිති සම්මේලනයේ අප්‍රසාදය
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ චරිත් දිල්ෂාන් සිසුවාගේ ඛේදජනක සිදුවීම ගැන විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සිය අප්‍රසාදය පළකරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙවැනි ක්‍රියා හරහා මානුෂීය ගරුත්වය සහ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට ඇති මහජන විශ්වාසය පලුදු වන බව එම නිවේදනයේ දැක්වේ.
මියගිය සිසුවාට සාධාරණයක් ඉටුවන තුරු සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය වෙනුවෙන් පෙනී සිටින බවද මෙම සිද්ධිය සම්බන්ධව අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් කඩිනමින් අවශ්‍ය බවද විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය වැඩිදුරටත් කියා සිටී.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්