සමනලවැව දකුණු ඉවුර දැඩි අනතුරක…දකුණු ඉවුරකැඩී ගියොත් උඩවලවේ ජලාශයත් කැඩෙනවා

173

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්යය ජගත් ගුණතිලක

කල්තොට කූරගල තනමල්විල වැල්ලවාය ලුණුගම්වෙහෙර ඇඹිලිපිටිය අඟුණකොළපැලැස්ස අම්බලන්තොට තිස්සමහාරාමය හම්බන්තොට ජනතාව අනතුරේ

…..මම 1994දී පශ්චාත් උපාධිය සඳහා නිබන්ධන සකස් කළේ සමනළවැව සම්බන්ධයෙන්.. ඒ වන විට වැවේ දකුණු ඉවුරේ සකසා ඇති උමග ආශ්‍රයේ ජල කාන්දුවක් සිදු වන බවට අනාවරණය වුණා. කළ යුතුව තිබුණේ උමගය කොන්ක්‍රීට් යොදා වසා දමන එකයි. මේ පිළිබඳව එවකට අප කළ සියලු පර්යේෂණ දත්ත විසඳුම් විදුලිබල මණ්ඩලය වෙත භාර දුන්නත් කිසිවෙක් මේ පිළිබඳව සැලකිල්ලක් දැක්වූයේ නැහැ..

එදා නියපොත්තෙන් කඩන්න තිබුණු ප්‍රශ්නය අද පොරවෙන් කපන්නටවත් බැරි තරමට ඔඩු දුවලා. මේ වන විට සමනළ වැව සිට හම්බන්තොට දක්වා පහත් බිම්වල ජීවත් වන ජනතාවගේ ජීවිත අවදානමකට ලක් වෙලා ඉවරයි…..

යම් හෙයකින් සමනළවැව ජලාශයේ දකුණු ඉවුරේ කඩාගෙන ගියොත් ඒ ආසන්නයේ තියෙන උඩවලවේ ජලාශය ද කඩාගෙන යෑමේ අවදානමක් තිබෙනවා. මොකද පසුගිය වසර 30ක කාලය පුරාම සමනළ වැවේ දකුණු ඉවුරෙන් ජලය කාන්දු වීමක් සිදුව තිබෙනවා.. මේ වට විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා දෙපාර්තමේන්තුව සමනළ වැව ආශ්‍රිතව සිදුවන ජල කාන්දුව පිළිබඳ ගැඹුරු විමර්ශනයක් සිදුකොට දත්ත වාර්තාවක් සකස් කර අවසන්. එම දත්ත අනුව සහ පර්යේෂණයන් අනුව පැහැදිලිව දක්නට ලැබෙන ප්‍රබල කාරණයක් වන්නේ ජලාශයේ දකුණු ඉවුරෙන් කාන්දු වී එළියට පැමිණෙන ජලයේ හුණුගල් පාෂාණ දියවී එන බවයි. දිනකට කාන්දු වන ජලය සමඟ පාෂාණ ටොන් ගණනක් දියවී යෑමේ අවදානම ඇති බව රසායනික ජල පර්යේෂකයන් විසින් පෙන්වා දී තිබෙනවා. එහි ප්‍රමාණාත්මක ගණනය කිරීම් පිළිබඳව මේ දිනවල අවධානය යොමුවී තිබෙන බව කියන්න පුළුවන්. භූගත ප්‍රදේශයේ සිදුවන ක්‍රියාවලිය පිළිබඳව අප අනුමානයන් සමග පර්යේෂණ සිදුකරන්නේ. ඒ නිසා මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතුමයි. ……පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජගත් ගුණතිලක මහතා අවධාරණය කළේය.

සමනළ වැව වේල්ල තැනීම පිළිබඳ පර්යේෂණ ආරම්භ වූයේ වසර 1956 සිටය. රුසියාව ඇමරිකාව ඇතුළු රටවල් සමග ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවරුද දිගුකාලීනව පර්යේෂණ සිදුකළද ස්ථිර නිගමනයකට පැමිණීමට අපොහොසත්ව සිටියහ. සමනළ වැව වේල්ල තනනු ලැබුවේ 1986 වසරේ ජපානයේ සහ බි්‍රතාන්‍යයේ එක්ව සිදුකරනු ලැබූ දීර්ඝකාලීන පර්යේෂණ රැසකින් අනතුරුවය. මේ සඳහා මූල්‍යාධාර ලබා දුන්නේද එම රටවල් දෙක විසිනි. ශ්‍රී ලංකාවේ ජල විදුලිබල නිෂ්පාදනය සඳහා ඍජු දායකත්වයක් සපයන සමනළ වැව ජලාශයේ විදුලි බල ව්‍යාපෘතිය මගින් වසරකට මෙගාවොට් හාරසිය පහක ශක්තියක් නිපදවනු ලබයි. ටර්බයින දෙකක් මගින් සක්‍රීය වන විදුලිබල නිපදවීමේදී මෙගාවොට් එකසිය විස්සක විදුලි උත්පාදනයක් සිදුවන බවත්, ඉන් මුදාහරින ජලය පහළ ප්‍රදේශවල ගොවීන් ගේ ජල අවශ්‍යතාවයෙන් තුනෙන් දෙකක් සපයා දිය හැකි බවත් පැවසෙයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කල්තොට ප්‍රදේශයේ ගොවිමහතකු වන සාදාසීලි ගුණරත්න මහතා මෙසේ කියා සිටියේය.

“අපේ පරම්පරා ගාණක් ජීවත් වෙන්නේ ගොවිතැන් කරලා දන්නා කාලයක ඉඳලා අපට වතුර ලැබෙන්නේ සමනළවැවෙන්. දැන් එන්න එන්න වතුර අඩුවෙනවා. සමනළ වැවේ වතුර තමයි උඩවලවෙ ජලාශයටත් යන්නේ. සමනළ වැව කියන්නේ අම්මෙක් වගේ. අපේ වතුර ටික මුලින්ම ගේන තැන එතන. වතුර කාන්දු වෙනවා කියලා එක එක දේවල් කරනවා. ඒත් විසඳුමක් නැහැ. දැන් උඩවලවෙන් ජලය අරගෙන ගොවිතැන් කරන හැමෝම වගේ අසරණ වෙලා. වතුර නැතුව කොහොමද යායක් වැඩ කරන්නේ. ඒ විතරක්ද යල කන්නෙට වෙච්ච සංතෑසිය මහටත් වුණොත් අපට සිද්ද වෙන්නේ ගොවිතැන අතහැරලා දාන්න…”

සමනළවැවේ ජල ධාරිතාව ඝන මීටර් මිලියන දෙසිය හැත්තෑපහකි. ජලය අවම කාලවලදී හෙවත් පසුගිය අගෝස්තු මාසය වන විට ජලාශයේ ජලය ඝන මීටර් මිලියන පනහ දක්වා පහත වැටී තිබිණි. සමනළ වැව පිහිටා තිබෙන්නේ උඩවලවේ ද්‍රෝණියෙහිය. වලවේ ගඟ සහ බෙලිහුල්ඔය එක්වන තැන වාන් දොරටු තුනකින් යුත් වැව්බැම්ම ඉදි කරනු ලැබ ඇත. එය මුහුදු මට්ටමේ සිට මීටර් හාරසියයක් උසින් පිහිටා ඇති අතරම බලන්ගොඩ නගරයට සමීපයෙහි ඇත්තේය.

ජලාශයේ සාමාන්‍ය ජල ධාරිතාව මීටර් හාරසිය හැට එකක් ලෙස සටහන් විය යුතු වුවද, පසුගිය සමයේ එය ක්‍රමක්‍රමයෙන් අඩුවෙමින් පැවැතියේය. දැඩි වියළි කාලගුණය හේතුවෙන් යැයි සැකයක් මතු වුවත් ප්‍රදේශවාසීන් පෙන්වා දුන්නේ සමනළ වැවෙහි දකුණු ඉවුර ආසන්නයෙන් ජලය කාන්දු වී යන බවය. බෙලිහුල්ඔය දෙනගම වලවේ ගඟ ජලයද වර්ෂාව අඩුවීම ඔස්සේ අවම මට්ටමක පැවතීම මත පහත් බිම්වල ජනතාව වගාකර ගත නොහැකිව අසරණ භාවයට පත්ව සිටියහ. දශක ගණනාවක් මෙම තත්ත්වය දිගින් දිගටම පැවත එන බැවින් මේ සඳහා නිශ්චිත විසඳුමක අවශ්‍යතාවය විදුලිබල මණ්ඩලයටද අවබෝධ වී තිබිණි. ඊට තවත් සාධකයක් වූයේ, ජල කාන්දුවෙන් සියයට හැත්තෑ පහක් නතර කර ගත් විට ඉතිරිවන ජලධාරිතාවෙන් මාසයකදී රුපියල් මිලියන දෙසියකට වැඩි විදුලි බලයක් නිපදවිය හැකි බවට ගණනය කළ හැකි වීමය. සෑම මාසයකදීම රටට හිමි විය යුතු රුපියල් මිලියන දෙසියක මුදල මේ වනතුරු වසර තිහක් තිස්සේ අපතේ ගොස් ඇත. තවදුරටත් එය ගණනය කළ විට ඉකුත් වසර තිහ තුළ සමනළ වැවෙහි ජල කාන්දුව මත රටට අහිමි වූ මුදල රුපියල් බිලියන හැත්තෑ දෙකකි.

මේ තත්ත්වයත් සමගම විදුලි බල මණ්ඩලය විසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්ය ජගත් ගුණතිලක මහතා ඇතුළු කණ්ඩායම වෙත සමනළ වැව දකුණු ඉවුරේ ජල කාන්දුව පිළිබඳව පර්යේෂණ ආරම්භ කිරීම පිණිස භාර දෙන ලදී. සමනළ වැවෙහි ආරම්භයේ සිටම සිදුව තිබූ ක්‍රියාදාමයන් ඇසුරින් අවසන් තීරණය මේවන විට රජය හමුවේ තබා තිබේ.

“ජපානයේ නිපෝන් කොයි සහ බි්‍රතාන්‍යයේ ඇලෙක්සැන්ඩර් ගිබ්ස් එක්ව තනන ලද සමනළ වැවෙහි ස්ථායිතාවය පිළිබඳව මුල සිටම පර්යේෂණ පවත්වා ඇති බවට කරුණු භූ විද්‍යා කණ්ඩායමට අනාවරණය කරගත හැකිව තිබුණි. ඒ අනුව 1987 වේල්ල ව්‍යාපෘතිය 1991 වන විට අවසන් කොට එම වසරේදීම පළමු වන ජල පිරවුම ලෙස ජලාශය සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරවීමට කටයුතු යොදා තිබිණි. ජලය පුරවා දින නවයකට අනතුරුව සමනළවැව දකුණු ඉවුරේ ජල කාන්දුවක් සිදුව ඇති බවට දත්ත හා තොරතුරු සටහන්ව ඇත. ඒ පිළිබඳව නැවතත් පර්යේෂණ පවත්වා දකුණු ඉවුර විද growth Curtin ලෙස තාක්ෂණික පිළියමක් යොදා තබන්නට කටයුතු යොදා ඇති බවටද අනාවරණය වී තිබේ. අනතුරුව නැවතත් 1992 දී දෙවැනි වරට ජලාශයේ ජලය පිරවීමක් සිදු කොට ඇත. ජලාශයේ සම්පූර්ණ උස මීටර් සියයක් උසට ජලය හිර වීමේ අපේක්ෂාවෙන් ජලය පුරවා ගෙන යන අතරේ හැත්තෑ නවවන මීටරයේදී ජලය පිරී ඇති විට දකුණු ඉවුර කැඩීගොස් තිබේ.

එයින් අනතුරුව නැවත මේ පිළිබඳ දීර්ඝ ලෙස පර්යේෂණ පවත්වා ඇති අතර මෙම තත්ත්වයට ප්‍රධානතම හේතු වූ හුණුගල් කුහර බවට ද අනාවරණය කරගෙන ඇත. ගල් මිශ්‍ර මැටි තට්ටුවක් ලෙස ගල් පිරවුම කින් දකුණු ඉවුරේ බිඳීයෑම යළි ස්ථාපිත කරන්නට කටයුතු කර ඇත. මේ අතර දකුණු ඉවුරට මං මාර්ග හතරක් තනා අභ්‍යන්තර භූගත ක්‍රියාවලිය පර්යේෂණය කිරීමටත් ඔස්සේ අභ්‍යන්තරයේ ගල් සහ මැටි රැඳවුම් රඳවා ශක්තිමත් ලෙස ඉවුර තනා තැබීමටත් කටයුතු යොදා තිබිණි.

වසර 1992 ඔක්තෝබර් විසි දෙවැනි දිනයේ සමනළ වැවේ ප්‍රබලම ජල කාන්දුව සිදුව ඇත.

වේල්ලේ සිට මීටර් තුන්සියයක් පතුලේ පහළට වන්නට නැවත දකුණු ඉවුරේ ප්‍රබල ජල කාන්දුවක් ඇති වී තිබේ. එම ජල කාන්දුව තත්පරේට ඝන මීටර් දෙකක් ලෙස සඳහන්ව ඇත. සමනළ වැවෙහි ජලය අඩුවන කාලයේ මෙම ජල කාන්දුව තප්පරේට ඝන මීටර් 1.6 කි.

මේ සම්බන්ධයෙන් එවකට විදුලිබල මණ්ඩලය ජල කාන්දුව සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වා දකුණු ඉවුරේ කිලෝමීටර් දෙකහමාරක දුරක් වන තෙක් මී වදයක් වැනි මැටි ආස්තරණයක් යෙදීමට පියවර ගෙන තිබිණි. එය wet blanket ලෙස හඳුන්වයි.

මේ සඳහා වියදම රුපියල් බිලියන දෙකකි

එහෙත් එයින්ද නිශ්චිත විසඳුමක් ලැබුණු බවක් පෙනෙන්නට නොවීය. විදුලිබල මණ්ඩලය විසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සමනලය භාර දෙන්නේ එවිටය. මේ සම්බන්ධයෙන් ආචාර්ය ජගත් ගුණතිලක මහතා වසර 1994 දී පුළුල් පර්යේෂණයක් සිදු කර තිබීම මත ඉදිරි කාර්යන් සිදුකිරීම පහසු වී තිබිණි. එම පර්යේෂණ වාර්තා ද උපයෝගි කරගනිමින් 2022 වසරේ සමනළ වැව ආශ්‍රිතව පවතින තත්ත්වය පිළිබඳ පුළුල් අධ්‍යයනයක් කිරීමට ඔහු ඇතුළු කණ්ඩායම කටයුතු කර තිබිණි.

වසර මිලියන ගණනක් තිස්සේ පාෂාණ ස්ථරවල තිබූ හුණුගල් දියවෙමින් පාෂාණවල සවිවර ඇතිවීම සමනළ වැව දකුණු ඉවුරේ කරනා ලැබුණු භූගත ක්‍රියාවලිය විය.

සතර උඩවලව ජලාශයට ජලය සැපයීමෙන් පසුව සමනළ වැවේ ජල මට්ටම අඩු වූ අවස්ථාවලදී කිමිදුම්කරුවන් යොදවා දකුණු ඉවුරත් සමනළවැව හි වේල්ලට ඉදිරියෙන් ඇති ගොඩබිමෙහි සින්ක් සිදුරු ලෙස හඳුන්වන වළවල් වැනි භූගත ගිලාබැසීම් සොයාගත හැකි විය. ඒවායින් කොපමන ප්‍රමාණයක් ජලය කාන්දු වන්නේ ද යන්න පුළුල්ව විමර්ශනය කිරීම සඳහා වර්ණ සහිත ඩයි මිශ්‍ර ජලය කාන්දු වන ප්‍රදේශ වෙත යොදා පරීක්ෂණ සිදු කරන ලදී. දකුණු ඉවුරේ මග කට සහ ඒ අවට පරීක්ෂා කිරීමේදී ඩයි මිශ්‍ර ජලය ඝන මීටර් දෙදහක ටැංකි දෙකක් යොදවා බලන කල ජලයන් නැවත පිටතට පැමිණෙන බවක් කිසිදු අවස්ථාවක දක්නට නොලැබිණි. ඒ තහවුරුව ඇත්තේ උමං කට ඔස්සේ ජලය කාන්දු වන බවය.

තවද සින්ක් සිදුරු මගින් ජලය කාන්දු වන බව ද පැහැදිලිව නිගමනය කළ හැකි වී තිබිණි. මේ අතර සින්ක් සිදුරු ඇති ප්‍රදේශයේ සිට සමනළ වැව දකුණු ඉවුර තෙක් හුණුගල් ස්තරයක් දිගේ ජලය කාන්දු වන බවටද පර්යේෂක කණ්ඩායමට තොරතුරු අනාවරණය කරගත හැකි වී තිබේ.

මේ අනුව කාන්දු වන ජලය පරිමාවෙන් දකුණු ඉවුර ඔස්සේ ජලය 75% ක් සහ සින්ක් සිදුරු ඔස්සේ ජලය සියයට දහයක් කාන්දු වන බවට තහවුරු කරගෙන ඇත. තත්ත්වයන් තවදුරටත් විග්‍රහ කළ විට පේරාදෙණි විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමේ විග්‍රහයක් මත ජලය කාන්දු වන ස්ථාන තුනක් ඇති බවට හඳුනාගෙන තිබේ. දකුණු ඉවුරේ ආස්තරයක් සකසා නොමැති විවෘත උමග, වේල්ලට ඉදිරියෙන් ඇති කොටසේ සින්ක් සිදුරු ආශ්‍රිතව සහ වලවේ ගඟේ පතුල ලෙසය.

මෙම කාන්දුව නතර කිරීමට නම් උමංග වැසිය යුතු වෙයි. සින්ක් සිදුරුද වැසිය යුතුවේ. අපි සමනළ වැවේ ජල මට්ටම අඩු වූ විට මේ කාර්යය කිරීම පහසු වන අතර මග වැසීම සඳහා කොන්ක්‍රීට් ආස්තරණයක් දැමිය යුතුවේ. විශ්වවිද්‍යාල පර්යේෂණ කණ්ඩායම ගණනය කර ඇති අන්දමට ඒ සඳහා වන කොන්ක්‍රීට් සඳහා පමණක් රුපියල් මිලියන හතළිස් හතරක් වැය වන අතර සේවක වැටුප් ඇතුළු සෙසු ඉදිකිරීම් සමග මුළු වියදම රුපියල් මිලියන සියයක් වේ. මේ සඳහා මැටි මිශ්‍රිත ආස්තරණයක් යෙදිය හැකි වුවත් එය ස්ථීර විසඳුමක් වනු ඇද්ද යන්න එම කණ්ඩායම සැක කරන අතර ඒ සඳහා වුවත් රුපියල් මිලියන විස්සක් වැයවන බවට ගණනය කර ඇත. තාවකාලික පැලැස්තර අලවනවා වෙනුවට තිරසාර විසඳුමක් ලබා දෙමින් සමනළ වැව ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකළ යුතු බවට පර්යේෂණ කණ්ඩායම තරයේ තීරණය කොට තිබේ.

එම ප්‍රතිකර්මයෙන් අනතුරුව සමනළ වැවේ ජලය එක්රැස් කිරීමෙන් මාසයකට රුපියල් මිලියන 200 ක ආදායමක් විදුලිබලය උත්පාදනයෙන් ඉපැයිය හැකි වන අතර පහත්බිම්වල ගොවි ජනතාවට අඩු නැතුව ජලය බෙදා දීමට ද හැකි වනු ඇත. තවද උඩවලව ජලාශයෙන් පෝෂණය වන ගොවි බිම් සඳහා ද නොඅඩුව ජලය සැපයිය හැකි වනු ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාල භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂණ කණ්ඩායම තහවුරු කරයි.

මේ මොහොත වන විටත් ආචාර්ය ජගත් ගුණතිලක මහතා ඇතුළු කණ්ඩායමක් සමනළ වැව ආශ්‍රිතව භූගත ගැටලු ඇති වන්නේ ද නැද්ද යන්න පිළිබඳව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ දත්ත සමීක්ෂණ වාර්තා පිළිබඳ අවධානය යොමු කර සිටී. කාන්දුවන ජල මට්ටම් පිළිබඳව සෑම විනාඩියකදීම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ දත්ත ලබා ගනිමින් සිටී. තවද පොළොව අභ්‍යන්තරයේ සඳහා බිහිවිදමන් 45ක් පමණ යොදවා ජල කාන්දු සම්බන්ධයෙන් දිගින් දිගටම අවධානය යොමු කොට ඇත.

භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂණ කණ්ඩායම මේ වන විට විදුලිබල මණ්ඩලයේ හෝ දේශපාලන අධිකාරියේ තීන්දු තීරණ මත සමනළ වැවේ ජල කාන්දු සඳහා වන ප්‍රතිකර්ම යෙදීමේ කටයුතු ආරම්භ වන තෙක් බලා සිටී.

ඒ බලා හිඳිල්ල හරියටම එළුවා පස්සේ ගිය නරියා ගේ බලා හිඳිල්ල වාගේම විය හැකිය.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment