සමාජ ශාලාවේ ගැටුමෙන් කටුනායක ඇඟලුම් සේවිකාව මරා දමලා

1453

ඇය එක්දරු මවක්

පොලිසිය සීසීටීවී දර්ශනත් පිරිස්සයි

රාත්‍රි සමාජ ශාලාවක ඇතිවූ ගැටලුවක් මුල්කර ගනිමින් හටගත් ආරවුලක් දුරදිග යෑමෙන් කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවයේ නියුතු සේවිකාවක, ඊයේ (28දා) අලුයම සීදුව ලියනගෙමුල්ල ප්‍රදේශයේදී මරා දමා තිබේ.

36 හැවිරිදි එක් දරු මවක වන බටහිර බටුවත්ත නෙළුව, ගාල්ල යන ලිපිනයෙහි පදිංචි උස්ගොඩ මානගේ තිසාරා මධුවන්ති නමැති කාන්තාව මෙසේ මරා දමා තිබේ.

ඇය මීට වසර 06කට පමණ පෙර කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවය සඳහා පැමිණ තිබූ අතර පසුව ඇය සීදුව සංචාරක හෝටලයක සේවය කරන පුද්ගලයකු සමඟ සීදුව, ලියනගෙමුල්ල, ජූඩ් මාවත ප්‍රදේශයේ නේවාසිකාගාරයක තාවකාලිකව පදිංචි වී සිට තිබේ.

ඇය රාත්‍රි සමාජ ශාලාවක සිදුවූ සිදුවීමක් මුල්කර ගෙන මෙම පුද්ගලයා සමග ආරවුලක් ඇතිකර ගෙන ඇති අතර 28දා අලුයම 2.00ත් 3.00ත් අතර කාලයේ ඇය සහ එම පුද්ගලයා ශාන්ත සෙබස්තියන් දේවස්ථානය ඉදිරිපිටින් ගමන් කරන ආරක්‍ෂිත කැමරා දර්ශන සීදුව පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

ඒ අනුව මෙම දේවස්ථානය ඉදිරිපිට මාර්ගය අසළ දරුණු කැපුම් තුවාල සහිතව ඇය මරා දමා තිබිණි.

මීගමුව වැඩ බලන මහෙස්ත්‍රාත් ඉන්දික සිල්වා මහතා මෙම ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්‍ෂාව සිදුකළ අතර ඇයගේ සිරුර අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණය සඳහා මීගමුව මහ රෝහල වෙත යොමු කර තිබේ.

මේ සිදුවීම පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු මීගමුව පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි ගාමිණී රත්නායක මහතාගේ අධීක්‍ෂණය යටතේ සීදුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ධනුෂ්ක බණ්ඩාර, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කුමාර, පොලිස් සැරයන් (70136) තරංග, පොලිස් කොස්තාපල්වරුන් වන (27180) බණ්ඩාර සහ (56302) රණසිංහ යන මහත්වරුන් විසින් සිදු කරමින් සිටී.

කටුනායක – ටී. කේ. ජී. කපිල සහ කටුනායක ආනන්ද නිශ්ශංක

advertistmentadvertistment
advertistmentadvertistment