සරල – නිවැරදි මැතිවරණ හා දේශපාලන ක්‍රමයක්

92

වසර ගණනාවක් තිස්සේ දේශපාලඥයින් විසින් තම වැරදිවලට දඬුවම් නොලබමින් හිතුමතේ ජනතා පරමාධිපත්‍යය කොල්ලකෑම නිසා, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ, මූලික ලක්ෂණය වන ’ප්‍රධානියා/ ඒජන්ත’ ගිවිසුම උඩයටිකුරු කරමින්, කූට දේශපාලනඥයන් දෙවිවරුන් බවට පත්වී, ජනතාව ඔවුන්ගේ අසරණ බැතිමතුන් බවට සලකා දශක 07ක් ගෙවී ගොස් අවසානය.

“සාමකාමී නව පරපුරේ අරගලය” නමින් 2022 වසරේදී මතුවූ ඓතිහාසික “ජන නැගිටීම” සමග මුසුවූ රටෙහි “බංකොලොත් භාවය” ප්‍රකාශයට පත් කිරීමත් සමග, අපගේ මැතිවරණ ක්‍රමයේ මූලික දුර්වලතා සම්බන්ධයෙන් කිසිදු පර්යේෂණයකින් සම කළ නොහැකි සේම ඉවත දැමිය නොහැකි බරපතළ අභියෝගයක් ජනගත කර ඇත. එය නම්, පසුගිය දශක කිහිපය මුළුල්ලේ, අපගේ පාර්ලිමේන්තුව තුළ, බලයට කෑදර, ඥාති සංග්‍රහය පෙරටු කරගත් නිසි සුදුසුකම් නොමැති සම්ප්‍රදායක දේශපාලනඥයන්ට රජ කිරීමට ඉඩ දුන්නේ ඇයි ද? යන්න ප්‍රශ්න කිරීමයි.

තවද, කුට දේශපාලනඥයන් විසින් සංඛ්‍යාත්මකව ස්ථාවර ආණ්ඩුවක ඊනියා අවශ්‍යතාවය උලුප්පා දක්වමින්, ඡන්ද සමානාත්මතාවයට පටහැනි වන, ව්‍යවස්ථා ප්‍රතිපාදන තුළින්, ප්‍රධාන පක්ෂවලට වැඩි ආසන සංඛ්‍යාවක් ලබාගැනීමේ උපාය, මෙම ලිපියේ රචක ඇතුළු ඡන්ද දායකයින් කිහිපදෙනකු විසින් හෙළි කිරීම තුළ, 2015 වසරේ සිට ජනගත විය.

රටෙහි වත්මන් තත්ත්වයට පාදකවී ඇති එම මුල්බැසගත් හේතුන්වලට, දේශපාලන හා මැතිවරණ ක්‍රම සංශෝධන තුළින් පිළියම් යෙදීම, ඛේදජනක ලෙස මග හැර ඇත. එනිසා, ළඟ එන විධායක ජනපතිවරණ අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රකාශනවල, ‘සැබෑ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයක්’ සඳහා අනිවාර්යයෙන් අඩංගු කළ යුතු, මූලික පූර්ව අවශ්‍යතා වන ඡන්ද සමානාත්මතාවය, කුසලතාවය, නිරවද්‍යතාවය සහ සහේතුකභාවය මත පදනම්ව, පවතින මැතිවරණ හා දේශපාලන ක්‍රමවලට, යාවත්කාලීන කළ සරල සහ සාධාරණ ක්‍රම වෙනස්කම් නොහොත් ‘සිස්ටම් චේන්ජ්’ පහත සඳහන් පරිදි පියවරාත්මකව ඉදිරිපත් කරමි.

  1. ජාතික මැතිවරණ කොමිසම (NEC) විසින් දැනටත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන්නාවූ, පක්ෂ විසින් ලබාගත් ජාතික ඡන්ද ප්‍රතිශතය මත පදනම්ව, සරලව සහ නිවැරදි ලෙස ජාතික ආසන සංඛ්‍යාව ගණනය කිරීම. එමගින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය (1948) අනුව ‘ඡන්දයේ සමානාත්මතාවය‘ සහතිකවී, ශ්‍රී ලාංකිකත්වය, අව්‍යාජභාවය සහ සහේතුකභාවයද විනිවිද ලෙස තිව්‍රර වේ.
  2. එක් එක් පක්ෂය විසින් හිමි කරගත් එම ජාතික ආසන සංඛ්‍යාව, තම දිස්ත්‍රික් ඡන්ද ප්‍රතිශතය මත පදනම්ව, එක් එක් දිස්ත්‍රික්කයට අනුයුක්ත කිරීම.
  3. නව පරපුරේ ඉල්ලීම අනුව, පක්ෂ/කණ්ඩායම් විසින් සුදුසු අපේක්ෂකයන් කුසලතා පදනමින් තේරීම සහතික කිරීම සඳහා, NEC විසින් රටපුරා ඒකීයත්වය රැකෙන පරිදි සකස් කරන ලද පොදු සුදුසුකම් නිර්ණායක මාලාවක් හා ලකුණු ලබාදෙන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ ක්‍රමයක්, මැතිවරණ කොට්ඨාස මට්ටමින් සිදුකිරීම අනිවාර්ය කිරීම.
  4. එම කුසලතා ලකුණු අනුව සකස් කළ මැතිවරණ කොට්ඨාස උප – ලැයිස්තු, තම දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුවලට ඇතුළත් කර ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීම. දිස්ත්‍රික්ක 10ක හෝ ඊට අඩුවෙන් තරඟ කරන පක්ෂවලට එක් මධ්‍යම සංචිත නාමයෝජනා ලැයිස්තුවක් (ජවිපෙ විසින් කලින් සිදු කළ පරිදි) කුසලතා අනුපිළිවෙලින් NEC වෙත ඉදිරිපත් කිරීමට අවසර දීම. එහිදී, සකස් කරනු ලබන සියලුම මැතිවරණ කොට්ඨාස නාමයෝජනා උප -ලැයිස්තු සහ මධ්‍යම සංචිත නාමයෝජනා ලැයිස්තුවල සෑම නම් 5ක් ඇතුළත, අවම වශයෙන් කාන්තාවන් 01කෙනෙකු සහ වයස අවුරුදු 35 ට අඩු තරුණ/තරුණියන් 01 කෙනකු සිටීම අනිවාර්ය කිරීම මගින් පාර්ලිමේන්තුවේ සහ පළාත් සභා තුළ කාන්තා සහ තරුණ නියෝජනය (20% බැගින්) සහතික කිරීම. ඒ සඳහා, සම්මුඛ පරීක්ෂණ ක්‍රමය තුළ, කාන්තාවන්ට සහ තාරුණ්‍යයට විශේෂ ලකුණු ලබා දිය යුතුව ඇත.
  5. ඉහත සඳහන් මූලික නාම යෝජනා ලැයිස්තු දිස්ත්‍රික් මැතිවරණ සහකාර/ නියෝජ්‍ය කොමසාරිස්තුමාගේ සටහන් ඇතිව NEC ට ඉදිරිපත් කළ විට, ඒවා NEC විසින් නිශ්චිත කාලරාමුවකට යටත්ව, මහජන විරෝධතා හා අනුමැතිය සඳහා භාෂා 3 කින් ජාතික පුවත් පත්වල පළ කරනු ඇත.
  6. ඉන් අනතුරුව, NEC ගේ සටහන් හා උපදෙස් අනුව පක්ෂ විසින් තම අවසාන නාම යෝජනා ලැයිස්තු සංශෝධනය කර NEC වෙත යවා, අවසන් අනුමැතියෙන් අනතුරුව ඉහත සඳහන් පුවත්පත්වල නැවත පළ කරනු ඇත.

ඉහත ක්‍රමවේදය අනුව, රට පුරා මහජන අනුමැතිය ලත්, සැබෑ ‘රට – පළමු – දේශපාලන වෘත්තිකයින්’ නම් කිරීම සහතික කළ හැක. (විස්තරාත්මක ක්‍රමවේදය සකස් කර ඇත).

  1. තවද, මෙහි අනෙක් විශේෂ වාසිය වනුයේ, සංකීර්ණ මිශ්‍ර ඡන්ද (MMV) ක්‍රමය තුළ සිදු කළ නොහැකිවූ, වලංගු ඡන්ද සඳහා වන ‘සමාන වටිනාකම’ ආරක්ෂා කරගනිමින්, පැරණි FPP ක්‍රමය යටතේ විශාල ඡන්දදායකයන් පිරිසකගේ අපේක්ෂාව වූ මැතිවරණ කොට්ඨාස 160 ට අවම වශයෙන් මන්ත්‍රී 01 බැගින් පත් කිරීම සහතික කිරීමට හැකිවීමයි.

උදාහරණයක් වශයෙන්, මැතිවරණ කොට්ඨාස 15ක් ඇති කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉහත අංක 02 අනුව, පක්ෂ ‘A’ට ආසන 11ක් ලැබී, මැතිවරණ කොට්ඨාස 9 ක් ජය ගෙන ඇත්නම්, එම මැතිවරණ කොට්ඨාස උප – ලැයිස්තුවල ඉහළින්ම සිටින බහු මන්ත්‍රී කොට්ඨාස නාමිකයන් ඇතුළුව 9 දෙනෙකු පළමුව ගණනය වේ. ඉතිරි ආසන 2ක සඳහා, පක්ෂය විසින්, වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ඇති කොට්ඨාස 2 කේ නාමිකයන්, අදාළ කුසලතා ලැයිස්තුව අනුව තේරීමෙන් ආසන 11 සම්පූර්ණ වේ. ඒ හා සමානව, අනෙකුත් පක්ෂවලටද, තම කොළඹ දිස්ත්‍රික් ආසන හිමිකම් අනුව, අදාළ උප – ලැයිස්තුවල ඉහළින්ම සිටින නාමිකයින්ට ආසන හිමිවනු ඇත. මධ්‍යම සංචිත ලැයිස්තුවක් ඇති පක්ෂවලට කුසලතා අනුපිළිවෙළ පවා අනුගමනය නොකර පාර්ලිමේන්තුවට තම නාමිකයන් පත් කිරීමට ඉඩ දීමෙන් අවැඩක් සිදු නොවේ. මන්දයත්, NEC විසින් සියලුම නාමිකයන්, ‘රට පළමු දේශපාලන වෘත්තිකයින්’ බවට සහතික කර ඇති නිසාය.

  1. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 29 දෙනා, ‘සෙනෙට්‘ මට්ටමේ බහුශ්‍රැතයින් 29 දෙනෙකු ලෙස, බහු ප්‍රජා ජනගහන අනුපාතයන්ද සලකා බලා, දිස්ත්‍රික් මට්ටමේ නම් කිරීම සඳහා, නිශ්චිත, විනිවිද පෙනෙන නිර්ණායකයින් ඇතුළු ක්‍රමවේදයක් පනවන්න. 1972 දී අහෝසි කරන ලද සෙනෙට් සභාවට ආදේශයක් ලෙස ඔවුන් හඳුන්වා දීමට අදහස් කළ බැවින්, ඡන්දයෙන් තේරී පත් නොවූ මැතිවරණ අපේක්ෂකයෝ මෙම කාණ්ඩය යටතේ සුදුස්සන් නොවෙති.

ප්‍රතිලාභ

මැතිවරණ ක්‍රමයේ සියලු අරමුණු තාර්කිකව, අවම උත්සාහයකින් සහ විශේෂයෙන්මි‘බංකොලොත් රටක’ මහා භාණ්ඩාගාරයට දරා ගැනීමට පහසු වන සේ සකස් කර ඇති, ඉහත සරල ක්‍රමවේදයෙන් ලැබෙන ප්‍රධාන ප්‍රතිලාභ කිහිපයක් පහත දැක්වේ.

  1. ‘ශ්‍රීලාංකිකත්වය’, සාධාරණත්වය සහ නිරවද්‍යතාවය දක්වා විහිදෙන ‘ඡන්ද සමානාත්මතාවය’ සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ මිනිස් අයිතිවාසිකම් ප්‍රකාශනයට සහ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පූර්ණ ලෙස අනුකූල වීම තුළ, ගෝලීය ප්‍රශංසාවට ලක්වීම.
  2. ඥාති සංග්‍රහයෙන් හා සාමය කඩවන එදිරිවාදිකම් ඇති කරන කළු සල්ලිකාර නුසුදුසු ‘හෙන්චයියන්’ගෙන් පිරුණු ‘මනාපෙ’ නාමයෝජනා ලැයිස්තු වෙනුවට, කුසලතා මත පදනම් වූ ‘රට පළමු – දේශපාලන වෘත්තිකයන්’ විසින් ආදේශ කරනු ලබන හෙයින්, ඔවුන් සැබෑ ලෙසම ජනතාව නියෝජනය කරමින් උත්තරීතර පාර්ලිමේන්තුවේ අරමුණු ඉටුකරනු ඇත. ඔව්හු සම්මුතිවාදී වාද විවාද හරහා පාර්ලිමේන්තුවේ ගෞරවය පවත්වා ගනිමින් ‘සැමට ජය’ තත්ත්වයක්ද ඇති කරනු ඇත.
  3. විනිවිදභාවයෙන් හා අව්‍යාජව සෑම මැතිවරණ කොට්ඨාසයක් සඳහා අවම වශයෙන් 01 මන්ත්‍රීවරයකු මෙන්ම, කාන්තා, තරුණ හා කුඩා පක්ෂ ද ඇතුළත් කර ගැනීම තුළ, ‘ශ්‍රී ලාංකීය’ ජනතාවගේ සහ සියලුම පක්ෂ/කණ්ඩායම්වල අපේක්ෂාවන් ඉටුවීම.
  4. දිස්ත්‍රික් මට්ටමින් අචල ආසන සංඛ්‍යා තීරණය කර, පළාත් සභා මැතිවරණය සඳහා යෙදවීමට හැකිවීම.
  5. ‘මිශ්‍ර ඡන්ද (MMV) හා ‘මනාප’ ක්‍රම අහෝසි කිරීම නිසා, මැතිවරණ ක්‍රියාවලිය ඉතා සරල හා වඩාත් අර්ථවත්වී ප්‍රචණ්ඩත්වයෙන්ද තොරවනු ඇත.
  6. රජයේ වියදම් ඇතුළු කාලය සහ ශ්‍රමය වැයවීම විශාල ලෙස අඩුවනු ඇත.
  7. මැතිවරණ ප්‍රතිඵල මධ්‍යම රාත්‍රිය වන විට ප්‍රකාශ කළ හැක.
  8. සමස්ථ මැතිවරණ අභ්‍යාසය පරිසර හිතකාමී වනු ඇත.
  9. සංකීර්ණ MMV ක්‍රමය යටතේ අත්දුටු විවාදාත්මක අනියම් අනුපාත, ප්‍රමාදයන්ට තුඩු දෙන Overhangs ප්‍රශ්න හා ආසන සංඛ්‍යාව අයාලේ වැඩිවීම මතු නොවනු ඇත.
  10. සෑම මැතිවරණයකදීම, ඡන්දදායකයින් විසින් යෙදිය යුත්තේ එක ‘X’ සලකුණක් පමණක් බැවින් එක දිනක මැතිවරණ 01කට වඩා පැවැත්විය හැක.
  11. වර්තමාන පාර්ලිමේන්තුව තුළ කැපවූ සෙනෙට් ඝනයේ බහුශ්‍රැත ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 29ක් සඳහා ඉඩකඩ ඇති නිසා, දෙවැනි ස්ථරයක් ලෙස බාහිරව ‘සෙනෙට් සභාවක්’ වැනි අමතර වියදම් සහිත ආයතනයක් අවශ්‍ය නොවේ.
  12. පක්ෂ නායකයින් විසින් යටි අරමුණු ඇතිව නම් කරනු ලබන කූට පුද්ගලයන්ට ඡන්දය ලකුණු කිරීම අහෝසි වීම තුළ, ‘බූරුවන්’ගේ ලැයිස්තුවලින්‘‘අශ්වයන්’ තෝරා ගැනීමේ අසීරු කාර්යයෙන් සරල ඡන්දදායකයින් නිදහස් වීම.
  13. සුපරීක්ෂණය කළ හැකි සහ විගණනය කළ හැකි ක්‍රියාකාරී සැලැස්මක් සහිතව, යෝජිත පක්ෂ මැතිවරණ ප්‍රකාශනය නඩු පැවරිය හැකි ලේඛනයක් බවට සන්නාම ගත වීම තුළ, එය කෙරෙහි විශ්වාසය තබා තම ඡන්දය තීරණය කිරීමට ජනතාව පෙළඹෙනු ඇත.
  14. ඊට අමතරව, හතු පිපෙන්නාසේ මතුවන කූට හා තැරව්කාර දේශපාලන පක්ෂ අධෛර්යමත් කිරීම; පක්ෂ- මාරු මගඩිය අහෝසි කිරීම හා බහු මැතිවරණ පැවැත්වීම වැනි රචකගේ අනෙකුත් සිස්ටම් චේන්ජ් යෝජනා තුළින්, මැතිවරණ ක්‍රමයේ ගුණාත්මකභාවය සහ ඵලදායිතාවය ඉහළ නැංවෙනු බව නිසැකය.

ජනතාව පදනම් කරගත් සහේතුක දේශපාලන පරිපාලන ක්‍රමයක් කරා

  1. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර දෙමුහුන් ආකාරයේ විධායක නොවන ජනාධිපති ක්‍රමයක් ඇතිකිරීම
  2. අවශ්‍ය නම් වැඩි බලතල සහිතව පළාත් සභා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරය සහ ප්‍රතිලාභ සහේතුක කිරීම
  3. පළාත් පාලන මැතිවරණය නිර්දේශපාලනීකරණය කර, සමාජ සාධාරණත්වය සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් යෝජිත ‘ජන සභා‘ තුළින් ‘ග්‍රාම රාජ්‍ය‘ සංකල්පයට අනුව ‘ග්‍රාම නිලධාරි වසම් මට්ටමින්, ස්වාධීන අපේක්ෂකයින් සඳහා පාර කැපීම
  4. තිරසාර ජාතික කැබිනට් ක්‍රමයක් ස්ථාපනය කිරීම සඳහා, පක්ෂ ලබාගත් ජාතික ඡන්ද ප්‍රතිශතය අනුව ඇමති ධුර පිරිනැමීම මගින් සමස්ත දේශපාලන ක්‍රමය සහේතුක කර, ජාතික සමගිය සහ සාමය ඇති කිරීම සඳහා ‘ශ්‍රීලාංකිකත්වය‘ පෝෂණය කිරීම රචකගේ මුඛ්‍ය පරමාර්ථය වේ.

අවසාන සටහන

වසර ගණනාවක් තිස්සේ දේශපාලඥයින් විසින් තම වැරදිවලට දඬුවම් නොලබමින් හිතුමතේ ජනතා පරමාධිපත්‍යය කොල්ලකෑම නිසා, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ, මූලික ලක්ෂණය වන ’ප්‍රධානියා/ ඒජන්ත’ ගිවිසුම උඩයටිකුරු කරමින්, කූට දේශපාලනඥයන් දෙවිවරුන් බවට පත්වී, ජනතාව ඔවුන්ගේ අසරණ බැතිමතුන් බවට සලකා දශක 07 ක් ගෙවී ගොස් අවසානය. එබැවින් කඩිනමින් නව ජනපති අනුග්‍රහයෙන් පහත සඳහන් ව්‍යවස්ථාමය සංශෝධන කර සැබෑ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිෂ්ඨාපනය කිරීමද අත්‍යවශ්‍ය වේ.

ලබැඳියාවන් අතර ගැටුම තුළ, සියලුම ජනතා නියෝජිතයින්, තම සුදුසුකම් හා තෝරාගැනීමේ ක්‍රියාවලිය, වැටුප්/වරප්‍රසාද ඇතුළු වෙනත් අදාළ සියලු කටයුතුවලට සම්බන්ධවීම තහනම් කිරීම, ඒ සියලු දෑ සම්බන්ධයෙන් මැතිවරණ හා රාජ්‍ය සේවා /වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසම්වල අවසාන නිර්දේශයන්, විධිමත් අනුමැතිය සඳහා පමණක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට හැකිවීම හා යථෝක්ත කොමිසම් ඇතුළු අනිකුත් අදාළ කොමිසම් සඳහා ද, විශ්‍රාමික විනිසුරුවන්, විද්වතුන්, සිවිල් සංවිධාන හා ක්‍රියාකාරීන්ගෙන් සමන්විත නිත්‍ය කාර්ය සාධන බළකායන් ස්ථාපනය කර, ජනතාව පදනම්වූ දේශපාලන පරිපාලනය පුළුල් කිරීම ව්‍යවස්ථානුකූලව සිදු කිරීමට යෝජනා කෙරේ.

බර්නාඩ් ප්‍රනාන්දු – හිටපු නියෝජ්‍ය මහා කළමනාකරු – ලංකා බැංකුව

advertistmentadvertistment
advertistmentadvertistment