සාහිත්‍ය විචාරය හා විචාරක කාර්යභාරය සාහිත්‍ය විචාරය පිළිබඳ විශිෂ්ට විවරණයක්

2897

සම්මානිත මහාචාර්ය කුලතිලක කුමාරසිංහ මහතා විසින් රචිත “සාහිත්‍ය විචාරය හා විචාරක කාර්යභාරය” කෘතිය ශාස්ත්‍රීය පදනමක පිහිටා සාහිත්‍ය විචාරය පිළිබඳවත්, විචාරකයාගේ කාර්යභාරය පිළිබඳවත් සම්පාදනය කරන ලද සාහිත්‍යයේ ප්‍රගමනයට හේතුවන සාහිත්‍ය විචාර ග්‍රන්ථයකි.

වත්මන්හි පළවන නවකතා, කෙටිකතා, කාව්‍ය සංග්‍රහ සහ වෙනත් සාහිත්‍ය කෘතීන් පිළිබඳව දිවයිනේ පුවත්පත්, සඟරා හා පොත්පත් තුළින් සිදු කරන සාහිත්‍ය විචාරයන් කෙතෙක් දුරට ගුරුකුල අත්තුඃකංසනයෙන් මිදී අපක්ෂපාතීව, සාධාරණව, මැදහත්ව සිදු කරන්නේ ද? මේ පිළිබඳව සාහිත්‍ය සමාජය තුළ ඇත්තේ ප්‍රශ්නාර්ථයකි.

එවන් පසුබිමක් තුළ සාහිත්‍ය විචාරය හා විචාරකයාගේ කාර්යභාරය ගැඹුරින් විශ්ලේෂණය කර තථ්‍ය ස්වරූපය මැනවින් විදාරණය කිරීම සඳහා මහාචාර්ය කුලතිලක කුමාරසිංහ මහතා අනුදත් විචාර ප්‍රවේශය මෙම විෂය පිළිබඳව ප්‍රාමාණික දැනුමක් හා අවබෝධයක් ලබාගැනීමට ඉවහල් වේ.

“සාහිත්‍ය විචාරය යනු කුමක් ද? යන්න අවබෝධ කර ගැනීම සඳහා කතුවරයාගේ මෙම සඳහන උපුටා දක්වමි. “සාහිත්‍ය කෘතියක අර්ථය හා රසය ගැඹුරින් උකහා ගැනීමේ සියුම් වින්දන ශක්තියකින් යුත් විද්වතුන් විසින් සාහිත්‍ය කෘතිවල නිර්මාණ ශක්‍යතා හා සාර්ථක අසාර්ථකභාවය අරබයා හේතු යුක්ති දක්වමින් ඉදිරිපත් කරනු ලබන තර්කානුකූල ප්‍රකාශන සාහිත්‍ය විචාරය හෙවත් සාහිත්‍ය විවේචනය ලෙස හැඳින්වීමට පුළුවන.”

සාහිත්‍ය විචාරය පිළිබඳ පෙර අපර දෙදිග සාහිත්‍ය විචාරකයින් විසින් විවිධ අර්ථ කථන සපයා ඇති අතර එම සියලු අර්ථකථනයන්හි පදනම වන්නේ සාහිත්‍ය කෘතීන් අර්ථය උකහාගෙන රස විඳීම යන්නය. මහාචාර්ය ටී.එස්. එලියට් සාහිත්‍ය විචාරය අර්ථ නිරූපණය කරන්නේ මෙසේය. “විචාරය යනු කෘතිය විශ්ලේෂණය කර එහි තත්ත්වය නිර්ණය කිරීමත්, එමඟින් රුචිකත්වය නිවැරැදි කිරීමත් වේ.”

මේ අනුව සාහිත්‍ය විචාරය හා බැඳුණු සිවු ආකාර පියවරයන් පැහැදිලි කරන කතුවරයා පළමු පියවර කථනය හෙවත් කියවීම බවත්, දෙවන පියවර විශ්ලේෂණය බවත්, තෙවන පියවර අර්ථකථනය බවත්, සිවුවන පියවර රසිකයාගේ ඥෙය මණ්ඩලය පෝෂණය කිරීම බවත් සඳහන් කරයි. මෙහි දී විචාරකයාගේ අවිය බවට පත්වන්නේ වාග් කෝෂය හෙවත් භාෂාවයි.

සාහිත්‍ය විචාරකයා කෙබඳු කෙනෙක් ද? මෙම පැනයට පිළිතුරු සවිස්තරාත්මකව, නිදසුන් සහිතව, තර්කානුකූලව ඉදිරිපත් කිරීමට කතුවරයා දක්වා ඇති කුසලතාව අපගේ වෙසෙස් අවධානයට යොමුවිය යුතුය.

සාහිත්‍ය විචාරකයා වූ කලී සාහිත්‍යාවබෝධය අතින් සාමාන්‍ය පාඨකයාට වඩා උසස් මට්ටමක සිටින අයකු බවත්, ඒ නිසා සාහිත්‍ය කෘතියක සාමාන්‍ය පාඨකයාට, රසිකයාට වටහා ගැනීමට නොහැකි ඇතැම් කරුණු පැහැදිලි කර දීමට සාහිත්‍ය විචාරකයාට සිදු වන බවත් පැහැදිලි කරන කතුවරයා සාහිත්‍ය විචාරකයා වූ කලී විවිධ දේශීය හා විදේශීය උසස් සාහිත්‍ය කෘති අධ්‍යයනය තුළින් දියුණු සාහිත්‍ය ඥානයකින් යුත්, ජීවිතාවබෝධයෙන් මුහුකුරා ගිය චිරන්තන හා අද්‍යතන විවිධ සාහිත්‍ය විචාර සිද්ධාන්ත පිළිබඳ ගැඹුරු අවබෝධයකින් යුත් පරිණත රසිකයෙක් විය යුතු බව අවධාරණය කරයි. සාහිත්‍ය විචාරයේ දී එක් විචාර න්‍යායයකට සීමා නොවී විචාරයට භාජනය කරන කෘතියට උචිත විචාර ක්‍රමවේදයක් තෝරා ගැනීමේ වැදගත්කම මෙහි දී පැහැදිලි කර දී ඇත.

විචාරකයා සතුවිය යුතූ ගූණාංග පිළිබඳව සාකච්ඡා කරන කතුවරයා මහාචාර්ය විමල් දිසානායක මහතා විචාරකයා සතු විය යුතු ගුණාංග හතක් සඳහන් කර ඇති බැව් දක්වා ඇත. එනම් වින්දන ශක්තිය, බහුශ්‍රැතභාවය, භාෂා නිපුණත්වය, තුලනාත්මක විග්‍රහ ශක්තිය, ආත්ම විශ්ලේෂණ ශක්තිය, අදහස් නිරවුල්ව ඉදිරිපත් කිරීම හා සමාජය, සංස්කෘතිය හා සම්ප්‍රදාය පිළිබඳ යථාවබෝධයයි.

පෙරදිග විචාර ක්ෂේත්‍රයෙහි විචාර වාද හයක් ඇති බැව් සඳහන් කරන කතුවරයා ඒවා අලංකාරවාදය, රසවාදය, ධ්වනිවාදය, ඖචිත්‍යවාදය, ගුණරීති හා වක්‍රොක්තිවාදය යනුවෙන් හඳුන්වා දී එම වාදයන් පිළිබඳ පැහැදිලි කිරීමක් කර ඇත.

පෙරදිග විචාර කලාව ප්‍රධාන විචාරවාද හයකට සීමා වුවත් අපරදිග සාහිත්‍ය විචාරය සංකීර්ණ බැව් දක්වා එම විචාරවාද පිළිබඳ විග්‍රහාත්මක හැඳින්වීමක් දක්වා ඇත. එම විචාරවාද පහ වන්නේ සදාචාරාත්මක, සමාජ විද්‍යාත්මක, මනෝ විද්‍යාත්මක, ආකෘතික හා ප්‍රායෝගික විචාරවාදයන්ය. සදාචාරාත්මක විචාර ක්‍රමයේ මුඛ්‍ය ලක්ෂණය නම් සාහිත්‍යය නිර්්මාණයකින් ප්‍රකාශිත අනුභූති ක්‍රියාවලිය කියන ආකාරයට වඩා වැදගත් වන බවයි. සාහිත්‍යය හා සමාජය අතර පවතින සබඳතාව නිසා බිහිවුණු විචාර ක්‍රමය සමාජ විද්‍යාත්මක විචාර ක්‍රමයයි. සිග්මන් ප්‍රොයිඩ් නමැති මනෝ විද්‍යාඥයා විසින් සිත අරබයා ඉදිරිපත් කළේ මනෝ විද්‍යාත්මක විචාර ක්‍රමයයි. ආකෘතික විචාරවාදයේ මුඛ්‍ය ලක්ෂණය වූයේ සාහිත්‍යය නිර්්මාණය සිය හැඟීම්වලින් හා පුද්ගලත්වයෙන් මිදී විචාරය කිරීමයි. සාහිත්‍යය නිර්මාණයක අර්ථය පැහැදිලි කර එහි සාර්ථක අසාර්ථකභාවය විමසීම ප්‍රායෝගික විචාරයයි.

විසිවන සියවස, හයවන හා හත්වන දශකවල පෙරදිග හා අපරදිග ලෝකයේ ප්‍රචලිත වූ සංස්ථිතිවාදයත්, 1980, 1990 දශකවල ප්‍රචලිත වූ ජැක් ඩෙරීඩාගේ විසංයෝජනවාදයත්, ස්ත්‍රීවාදය තුළින් බිහි වූ ස්ත්‍රීවාදී විචාරයත්, සාහිත්‍යයත්, ඉතිහාසයත් අතර ඇති සබඳතාව නව දෘෂ්ටිකෝණයකින් විමසා බලන නව ඉතිහාසවාදයත්, නූතනත්වය සංකල්පයෙන් උපන් නූතනවාදයත්, නූතනවාදයට පටහැනිව පැන නැඟි පශ්චාත් නූතනවාදයත්, 19 වන සියවස පැන නැඟි භවසත්තාවාදයත්, සමාජය හා බැඳුණු යථා අර්ථය නිරූපණය කරන යථාර්ථවාදයත්, යථා තත්ත්වය නිරූපණය කරන තාත්විකවාදයත්, මිනිසාගේ චර්යාධර්ම විවේචනාත්මකව විශ්ලේෂණය කරන විවේචනාත්මක යථාර්ථවාදයත්, 20 වන සියවස ප්‍රචලිත පශ්චාත් යටත් විජිතවාදී විචාරයත්, සංස්ථිතිකවාදය තුළින් බිහි වූ පශ්චාත් සංස්ථිතිකවාදයත් පිළිබඳව ගෙනහැර දක්වා ඇති විස්තර තුළින් සාහිත්‍ය විචාරවාදයන් පිළිබඳ පුළුල් දැනුමක් හා අවබෝධයක් ලබා ගැනීමට හැකිවීම මෙම කෘතියේ විශේෂත්වයකි.

සාහිත්‍ය විචාරයේ යෙදෙන සාහිත්‍ය විචාරකයින්ටත්, සාහිත්‍යකරණයේ යෙදෙන නිර්මාණකරුවන්ටත්, නිර්මාණ රසවිඳින රසිකයින්ටත්, සාහිත්‍ය විද්‍යාව හදාරන විද්‍යාර්ථීන්ටත්, ඉතා ප්‍රයෝජනවත් ලෙස මෙම කෘතිය සම්පාදනය කිරීම තුළින් මහාචාර්ය කුලතිලක කුමාරසිංහ මහතා ඉටු කර ඇති විශිෂ්ට සාහිත්‍ය සම්ප්‍රදානය අපගේ සම්භාවනාවට බඳුන් විය යුත්තේමය.

● උදේනි සරත්චන්ද්‍ර
සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment