මෙම මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී මෙරට විශ්වවිද්‍යාල කිහිපයකම සිසුන් විශාල පිරිසකට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වන බවට මානව හිමිකම් කොමිසමට පැමිණිලි ලැබී ඇතැයි ඊයේ (13දා) මෙරට පුවත්පත් කිහිපයක වාර්තා පළ විය.
ලබන 20 වැනිදා දවස පුරා අධ්‍යයන කටයුතු පැවැත්වීම හේතුවෙන් යාපනය, රුහුණ, කැලණිය යන විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු පැවැත්වෙන බැවින් දුර පළාත්වල පදිංචි සිසුන්ට ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කිරීම සඳහා නිවෙස් බලා යෑමේ අවස්ථාව අහිමි වන බවට එම පැමිණිල්ලේ සඳහන් වේ.
ඇත්ත වශයෙන්ම මෙම ගැටලුව මේ අයුරින් දුරදිග යා යුතු අර්බුදයක් නොවිය යුතුව තිබූ බව අපගේ හැඟීමයි. මෙය විශ්වවිද්‍යාල පරිපාලනයේ නිරත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මැදිහත් වී ඉතා සරල පරීක්‍ෂණයකින් නිරාකරණය කළ හැකිව තිබුණු සරල ගැටලුවකි.
අනෙක් අතට මූලික මිනිස් අයිතිවාසිකමක් වන පුද්ගලයකුගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ඇති අයිතිය ආරක්‍ෂා වන පරිදි දේශන සංවිධාන කිරීම අදාළ විශ්වවිද්‍යාල පරිපාලනයේ වගකීමකි. බුද්ධිමතුන්ගේ පාරාදීසයක් ලෙස සැලකෙන විශ්වවිද්‍යාලයක දේශන කාලසටහන අර්බුදයක් නොවන පරිදි සකස් කිරීමට නොහැකි වන්නේ නම් එය මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඇති අවිධිමත් බව රට හමුවේ අනාවරණය වීමක් බව අමුතුවෙන් කිව යුතු නැත.
විශ්වවිද්‍යාල පද්ධතියටම සම්බන්ධ තවත් පුවතක් ඊයේ (13දා) වාර්තා වී තිබුණේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙනි. එම විශ්වවිද්‍යාලයේ සිසු දෙපිරිසක් අතර හටගත් ගැටුමක් හේතුවෙන් විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දමා ඇත.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ හා කළමනාකරණ පීඨයේ නේවාසිකාගාර පහසුකම් ලබන සිසු දෙපිරිසක් අතර හටගත් මෙම ගැටුමට මුල් වී ඇත්තේ දේශපාලන මතවාදවල ඇතිවූ ගැටුමක් බව දැන් අනාවරණය වී තිබේ.
විශ්වවිද්‍යාලයක් තුළ දේශපාලන මතවාද හේතුවෙන් ගැටුම් හටගත් පළමු අවස්ථාව මෙය නොවන බව සැබෑය. එහෙත් තීරණාත්මක මැතිවරණයක් අභියස මේ අයුරින් සිය ප්‍රතිවිරුද්ධ දේශපාලන මතවාදීන් සමග අවි අමෝරාගෙන ගහමරා ගැනීම තුළින් මෙරට විශ්වවිද්‍යාල පද්ධතියටම ඇති කළේ සුළුපටු අපකීර්තියක් නොවේ. විශේෂයෙන්ම මෙරටට කීර්තිමත් චරිත රැසක් දායාද කළ ජයවර්ධනපුර සරසවිය වැනි බුද්ධිමතුන්ගේ තෝතැන්නක මෙවැනි අවර ගනයේ ගැටුම් ඇතිවීම අතිශය ඛේදවාචකයකි.
විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතුවලට පමණක් සීමා විය යුතුය යන පටු මතවාදය තුළ අපි සිරවී නොසිටිමු. එහෙත් අධ්‍යාපනයට ප්‍රමුඛත්වය හිමිවිය යුතු බව අපගේ ස්ථාවරයයි. සරසවි සිසුන්ගෙන් දේශපාලනය වියුක්ත කර තැබිය හැක්කක් නොවේ. මෙරට කීර්තිමත් දේශපාලන චරිත රැසකට අත් පොත් තබා ඇත්තේ සරසවි ශිෂ්‍ය සංගම් බව මුළු රටම දන්නා කරුණකි. එහෙත් හුදු දේශපාලන මතවාද ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් විශ්වවිද්‍යාල තුළටම රිංගා ගන්නා කාඩර්වරු පිළිබඳව ද මෑතක සිට අසන්නට ලැබේ. එය කිසිසේත්ම වර්ධනය වීමට ඉඩ නොදිය යුතු පිළිලයකි. ඒ තුළින් සිදුවන්නේ මෙරට විශ්වවිද්‍යාල පද්ධතියම අඩපණ වීමයි.
දෙමාපියන් දහ දුක් විඳිමින් දූ දරුවන්ට උගන්වා විශ්වවිද්‍යාලයට එවන්නේ ගහමරා ගන්නට නොව උපාධියක් ලබා උසස් රැකියාවක් කර වියපත් වන විට දෙමාපියන් පෝෂණය කරනු ඇතැයි යන අදිටනෙනි.
අහිංසක දෙමාපියන්ගේ එවැනි නිර්මල ප්‍රාර්ථනාවන් මුසපත් කිරීම උපාධි ලබා සරසවියෙන් නික්මෙන දූ දරුවන්ගේ යුතුකමකටත් වඩා එහා ගිය වගකීමකි.
එබැවින් ආදරණීය දුවේ, පුතේ!
අර්බුද රැසක් මැද මහත් වැර වීරියෙන් නැඟී සිටීමට වෙර දරන ලක් මාතාවගේ සුජාත දූ පුතුන් ලෙස ඔබ උර මත රැඳී ඇති ජාතික වගකීම මැනවින් අවබෝධ කරගෙන මේ තීරණාත්මක මොහොතේ එකිනෙකා කෙරෙහි සහෝදරත්වයෙන් බැඳී මැනවින් අධ්‍යාපනය හදාරා රටට ජාතියට මෙන්ම තම දෙමාපියන්ට ද වැඩදායී දුවෙක්, පුතෙක් වීමට විනා උපාධිය ලබාගැනීම පසෙක තබා දේශපාලන බඩගෝස්තරවාදීන්ගෙන් පෝෂණය වන රැකියා විරහිත උපාධිධාරී සංගම්වලට බැඳෙන්නට සිහිනෙන්වත් නොසිතන්නැයි අපි ඔබට ආයාචනා කර සිටින්නෙමු.