මගේ මේ සටහනට නිමිති වූයේ දින කිහිපයකට පෙර මා සවන් වැකි, එක්තරා පුවතකි. එයින් අනාවරණය වූයේ, මේ වසරේ සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබුණු රාජ්‍ය සාහිත්‍ය උළෙල කල් දැමීමට සිදුවූ බවය. එයට හේතු වූයේ මැතිවරණ කොමිසම විසින් ඒ සඳහා අනුමැතිය ලබා නොදීමකැයි ද පැවැසිණි. ඇස් කන් ඇදහිය නොහැකි පුවතක් නොවේද ඒ. 2024 මැතිවරණ වසරක් ලෙස ප්‍රකට වූවකි. මේ වනවිට ජනාධිපතිවරණය පවත්වා අවසන්ය. මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානම්ය. එහෙත් ප්‍රශ්නය වන්නේ සාහිත්‍ය උත්සවයක් පැවැත්වීම මැතිවරණය කෙරෙහි බලපාන්නේ කෙසේද? කවරාකාරයකින් ද? යනුයි.
රාජ්‍ය සාහිත්‍ය උළෙල යනු, මෙරටේ සාහිත්‍යකරුවන් හා ඔවුන්ගේ නිර්මාණ රාජ්‍ය මට්ටමින් ඇගැයුමට ලක්වෙන නිල උත්සවයයි. සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන ප්‍රමුඛ උත්සවයක් ලෙසද එය පිළිගනු ලැබේ. ඒ කටයුතු සංවිධානය කරනු ලබන සාහිත්‍ය කලා මණ්ඩල ද රජයේ විශේෂයෙන් සංස්කෘතික ඇමැතිවරයාගේ නිර්දේශ අනුව බලගන්වන ලද ඒවාය. මෙය ආණ්ඩුවට අයත් කටයුත්තක් නොවන බව පවසන විද්වත්හු ද සිටිති. එහෙත් මෙරටේ දීර්ඝ කාලයක් මුළුල්ලේ සාහිත්‍ය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබී තිබෙන බවද ප්‍රකටය. අද එය විවාදාත්මක කරුණක් වන්නේ බොහෝ විට ඒවා නියෝජනය කරන අය පිළිබඳ තිබෙන විවේචනත්, ඔවුන් විසින් වසරේ සාහිත්‍ය නිර්මාණ සම්බන්ධයෙන් කරනු ලබන ඇගැයීම් මුල් කරගත් වාද විවාදත් නිසාය.
එය වෙනම කතාවකි. එහෙත් සාහිත්‍යකරුවන්ට, කලාකරුවන්ට අනුග්‍රහයක් ලබාදීම සද්චාරිත්‍රයක් ලෙස අපි දකිමු. ආණ්ඩුවක් මැදිහත් වී සාහිත්‍ය කලාව පාලනය කළ යුතු යැයි කිසිවෙක් පිළිනොගනිතත් රාජ්‍ය මට්ටමින් කරනු ලබන එබඳු ඇගැයීමක් අඩුවෙන් තක්සේරු කළ යුතු ද නැත.
මෙරටේ සාහිත්‍ය කලා ප්‍රබෝධයක් ඇති වූයේ පනස් හයේ (1956) සිදුවූ සමාජ දේශපාලන පෙරළිය නිසා බව රහසක් නොවේ. සංස්කෘතික අමාත්‍යාංශයක් සවිබල ගන්වා, ඒ කටයුතු සිදුවූ ආකාරය මෙන්ම ඒ පිළිබඳව එදා තිබුණු සාධනීය ලක්ෂණ ද අද වියැකී ගොස් තිබෙනු ද විය හැකිය. කුමක් වුවත් අද මෙරටේ සාහිත්‍ය කලා යනු, වැදගැම්මකට නැති දෙයක් බවට පත්වී තිබේ නම් එහි වගකීම ඒ ඒ යුගවල පාලකයන් විසින් භාරගත යුත්තකි. කොහොමටත් සාහිත්‍ය කලා, නාට්‍ය ආදී හැම මණ්ලඩයකම පාලකයන්ට හිතවත් අය මෙන්ම ඒ ඒ ක්‍ෂේත්‍රවලට අයත් පොදුවේ සාහිත්‍ය කලා රසිකයන්ගේ පිළිගැනීමට, ඇගැයීමට ලක් වූ කිහිපදෙනෙක් හෝ සිටිති. එහෙත් සාහිත්‍ය කෘති විනිශ්චය සම්බන්ධයෙන් නම් හැමදාමත් වූයේ විවාදාත්මක තත්ත්වයකි. සාහිත්‍ය කෘතියක්, කලා කෘතියක් ඇගැයීම යනු, පුළුල් කාර්ය භාරයකි. එහිදී දේශීය වශයෙන් පමණක් නොව, නොයෙක් දේශ දේශාන්තරවල නන් අයුරින් ප්‍රකාශයට පත්ව තිබෙන නිර්මාණ ඇසුරු කිරීමෙන් ද පරිශීලනය කිරීමෙන් ද ලත් පිරිචය අත්‍යවශ්‍ය වනු ඇත. සාහිත්‍යකරුවාට නිසි ඇගැයුමක් ලබා දීමට ඒ විශ්ව දැනුම අවශ්‍ය වනු ඇත.
මේ නිසා රටක රාජ්‍ය සාහිත්‍ය උළෙලක් දේශපාලන හේතුවක් නිසා කල් දැමීම, නැවැත්වීම හෝ අහෝසි කිරීමට සාධාරණ යුක්ති සහගත හේතු තිබේ යැයි අපි නොසිතමු. එහෙත් මැතිවරණ කොමිසමේ බලධාරීන්ට අනුව සාහිත්‍ය උළෙල වාරණයට යටත් කරනු ලැබ ඇත. ඒ සඳහා බලපෑ හේතු එමගින් ජනතාවගේ ස්වාධීන සිතුම් පැතුම්වලට බාධාවක්, හානියක් සිදු වන්නේ කෙසේද? යනාදිය ඔවුන්ගේ වාරණයට තාර්කික හා නීතිමය පදනමක් ලබා දී ඇතැයි අපට කල්පනා කළ හැකිය. එහෙත් සාහිත්‍ය කලා වාරණය යනු, කිසිදු කොන්දේසියකට යටත්ව හෝ සිදු නොවිය යුත්තක් බව අපගේ අවධාරණයයි. මැතිවරණ කොමිසම තබා ආණ්ඩුවක් හෝ එබඳු නියෝගයක් නිකුත් කරන්නේ නම් එයට එරෙහි වීමේ අයිතිය සාහිත්‍යකරුවාට, කලාකරුවාට තිබෙන බවද අප පෙන්වා දිය යුතුය.
අප එසේ කියන්නේ ඇයි? කලාවේ නිදහස හා මාධ්‍ය නිදහස යනු, මේ රටේ ආණ්ඩු පමණක් නොව වෙනත් රටවල පාලකයන් ද විවිධ අයුරින් මැදිහත්වීම් කළ අභියෝගාත්මක තේමාවන්ය. භාෂණයේ හා ලේඛනයේ නිදහස මෙරටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ද තහවුරු කරන ලද්දකි. අද කිසිම දේකට නිදහසක් නැතැයි කියන ඇතැම් දේශපාලනඥයන් වුවද සාහිත්‍ය කලාව පිළිබඳ ගැඹුරින් සිතන අය නොවෙති. ධනවාදය හා සමාජවාදය පිළිබඳ ජනප්‍රිය හා පැරණි විවාදයේ දී බොහෝ දෙනෙක් සඳහන් කළේ ධනවාදය තුළ නිදහස පුළුල්ව තිබෙන බවය. එහෙත් පෞද්ගලිකව ධනය එක් රැස්වන සමාජ ක්‍රමයක සියලු ධනෝපායන මාර්ග හා හිමිකම් පුද්ගලයන් කිහිපදෙනකු සතුව තිබෙන්නකි. අතළොස්සක් වූ ධනකුවේරයන්ට සුඛිත මුදිත ජීවිත හිමි වුවත් බොහෝ දෙනකුගේ ජීවන මාර්ගය බවට පත් වෙන්නේ ඔවුන්ට ශ්‍රමය විකිණීමය. මේ භෞතික සාර්ථකත්වය යනු, සමාජ විෂමතාවක් බව ජනතාවට පෙන්වා දෙන්නේ කලාකරුවාය. නැතහොත් සාහිත්‍යකරුවාය. ලොව විශිෂ්ටතම කලාකෘති බිහිව ඇත්තේ ද මේ යථාර්ථය අවධාරණය කිරීමටය.
මා ඕ සේතුංගේ සුප්‍රකට කියමනක් ලෙස හුවා දක්වනු ලබන “සියයක් මල් පිපෙන්නට ඉඩ දෙන්න. සියයක් චින්තන ගුරුකුල ගැටෙන්නට දෙන්න” යන ආදර්ශ පාඨය කලාවේ නිදහසට ගරු කිරීමක් ලෙස පිළිගනු ලැබේ. කලාවට හා නිදහස් සංවාදයට කිසිදු බාධාවක් පැන වීම නොමනා බව මේ විප්ලවවාදීහු ද පිළිගත්හ. කලාව ජීවිතයේ පිළිබිඹුවක් බව කොමියුනිස්ට්වාදීහු අනුමත කළහ. ගොවියකු වෙළෙඳපොළට ගිය විට ඔහුට මිලදී ගැනීමට තිබිය යුත්තේ ගොගොල්ගේ කෘති නොව තණ වගාව හා සත්ත්ව පාලනය පිළිබඳ පොත් යැයි රුසියාවේ ඇතැම් විද්වතුන් පවසද් දී විප්ලවීය නායක ලෙනින් පැවැසුවේ, පොදු ජනතාවට සමීප විය හැකි කලා නිර්මාණ සුලබ කළ යුතු බවය. ශ්‍රේෂ්ඨ කලා කෘතීන් ඇසුර ප්‍රබුද්ධ සමාජයක බිහිවීමට අනිවාර්ය අංගයක් ලෙස ද ඔහු පවසා තිබේ. මෙහි අවධාරණය වන්නේ කලාව දේශපාලනයට ද මඟපෙන්වන බවය. එය පසෙක තිබේවා. මිනිසකුගේ ප්‍රඥාව වඩන, ඔහුගේ රසභාව තියුණු කරන වඩාත් අලංකාරෝක්තියකින් කිවහොත් පුද්ගල ආධ්‍යාත්මය සුපුෂ්පිත කරවන්නා වූද ඥානමය. ධාරිතාව පුළුල් කරන්නා වූ ද මාර්ගය වන්නේ ද සාහිත්‍ය කලා පරිශීලනයයි.
සාහිත්‍ය සම්බන්ධයෙන් පෙරදිග පඬිවරුන්ගේ අවධාරණයන් ද අපට බැහැර කළ නොහැක. මා ශ්‍රේෂ්ඨ භාරත නාට්‍ය රචක භවභූති නිර්මාණාත්මක වචනයෙහි මහිම කෙබඳු දැයි කළ නිර්වචනයකි.
මිලානස්‍ය ජීව කුසුමස්‍ය විකාසනානි
සන්තර්පණානි හෘදයෛක රසායනානි
ආනන්ද නානී සකලේන්ද්‍රිය මෝහනානි
දිෂ්ට්‍යා මයාප්‍යාධිගතානි වචෝමෘතානි
මිලාන වූ දිවි කුසුම විකසිත කරන්නාවූ ද රස පූර්ණ වූ රසමුසුවක් හා සමානව හද සතපවන්නා වූ සියලුම ඉන්ද්‍රියන් මෝහනය කරවන්නා වූද ආනන්දයෙන් ප්‍රමුදිත කරවන්නා වූද වදන් හෙවත් වචන නමැති අමාව පෙර පින් මහිමය නිසාම ලද්දෙමි.”
භවභූති විචිත්‍ර ලෙස දක්වන්නේ හුදු වචනයක් නොව ඒ වචන නැතහොත් වදන් භාවිත කරමින් කෙරෙන නිර්මාණශීලී සාහිත්‍යයයි. සාහිත්‍යයෙහි විවිධ ප්‍රභේද එනම් ගi, පi හා චම්පු මෙන්ම නාට්‍යයෙහි ද වදන් භාවිත කරමින් රසභාව දැනවීම මෙයින් අපේක්ෂා කෙරේ. වදනට අධිපති සරස්වතිය වාන්දේවි ලෙස බුහුමන් ලබන්නීය. වදනිසුරු වන්නේ ඒ වදන් විසිතුරු ලෙස හසුරුවන්නාය. සාහිත්‍යයේ ගැබ්වන මනෝභාව, පුද්ගල අත්දැකීම් මිනිස් පරිකල්පනයේ සීමා ඉක්මවන බවට ද පිළිගනු ලැබේ. සාහිත්‍ය රසිකයා මේ වදන් සිතුවම් විඳිමින් පහන් සංවේගයට පත් වන්නෙකි.
පැරණි භාරතීයන් මෙසේ උත්කර්ෂයට නංවන ලද වදන් භාවිතය තුළින් නිමවෙන සාහිත්‍ය කලා සංගීත ආදිය ගැන ද විවිධ ඇගැයීම් කළ බවද කිව යුතුය. සාහිත්‍ය කලා සංගීතය රසවිඳින පින්නැත්තා කලා විහීනයකැයි ද තණ නුබුදින ගවයෙක් හා සමාන වෙතියි ද කීහ. මේ ගවයා වූ කලී වලිගයකින් හා අංතට්ටුවකින් තොර වූවෙකි. එසේම ඌ තණ ආහාරයට නොගැනීම සෙසු සැබෑ ගවයන්ගේ වාසනාවකි.
සාහිත්‍ය සංගීත කලා විහිනඃ
සාක්ෂාත් පශු ප්‍රච්ඡ විෂාණ හීනඃ
තෘණං න ඛාදනන්ති ජීවමානය
තද් භාගධේයං පරමං පශුනාම්
සාහිත්‍ය, සංගීත කලා විහිතයා අංතට්ටුවක් හා වල්ගයක් නැති ගවයකු වැන්න. එහෙත් ඌ ජීවත්වීම සඳහා තණ ආහාරයට නොගැනීම සැබෑ ගොනුන්ගේ වාසනාවකි.
සාහිත්‍ය කලාව සංගීතය කෙරෙහි අවධානයක් නැති අය කලා විහිතයෝය. රටක පාලකයන්ට ඒ සද්කලා ගුණ නොවේ නම් ඔවුහු කලාවට හරස්වෙති. අනුබල නොදෙති. තහංචි යොදති. මේ අය ඇඟ මසින් සිරුරෙන් වැඩුණෝ විනා ප්‍රබුද්ධ මනසක් සහිත අය නොවෙති. මනුෂ්‍යාත්මයක් ලැබුණත් තිරිසනුන් මෙන් මහපොළවට බරක් සේ කාබී සිට මිය යන්නෝ ද වෙති. සාහිත්‍ය උළෙල වාරණය කළ බලධාරීහු මේවා දනිත් ද? දන්නෙහි නම් සාහිත්‍යධරයන් පිදෙන රාජ්‍ය සාහිත්‍ය උළෙලට හරස් වෙත් ද? පැවැති ආණ්ඩුවට වුවද මේ කාර්ය පහදා දෙන්ට නොහැකි වූයේ ද? අපට වාර්තා වී තිබෙන ආකාරයට ලබන දෙසැම්බර් මාසයේ දී මේ උළෙල පැවැත්වෙනු ඇත.
සාහිත්‍යයට ගිය කල එසේය. සාහිත්‍ය සම්බන්ධයෙන් මෙයට පෙර තිබුණේ ද මෙයට වඩා වෙනස් තත්ත්වයක් නොවේ. සාහිත්‍ය කන්ඩදැයි ඇසූ රාජ්‍ය නායකයෝ ද වූහ. කොහොමටත් සාහිත්‍ය වර්ධනය වී පොත පත කියවන සමාජයක් තුළ පාලකයන්ට එල්ල වන අභියෝගය ද වැඩිය. හැම ආණ්ඩුවක්ම සාහිත්‍ය කලාවට දක්වන්නේ එපා වාහෙට හොදි බෙදන ආකාරයේ ප්‍රතිචාරයකි. පාසල්වල පමණක් නොව විශ්වවිද්‍යාල ක්‍ෂේත්‍රයේ ද අද සාහිත්‍යයක් නැත. තිබුණත් එහි ඔද තෙද සිඳී ගොස්ය. සාහිත්‍ය කලා ඉගෙන ගෙන කළ හැකි රැකියාව කුමක්දැයි සමහර නායකයෝ ද අසති.
ජගත් කීර්තියට පත් සාහිත්‍ය කලාකරුවන් තබා මෙරටේ සිටින විශිෂ්ට සාහිත්‍යධරයන්, කලාකරුවන් කීදෙනකු නමින්වත් දන්නා පාසල් සිසුවෝ සිටිත්දැයි මට නම් සැකයකි. විද්‍යුත් මාධ්‍යවල සාහිත්‍ය උද්දීපනයට අනුබල දෙන්නේ ද විරල අයුරිනි. බාල, මහලු, වැඩිහිටි හැම කෙනකුම රසාස්වාදය ලබන්නේ ප්‍රසංගාත්මක දේවලින්ය. පාරිභෝගික වෙළෙඳ සමාජයකින් ඊට වඩා දෙයක් අපේක්ෂා කිරීමට ද නොහැක.
සාහිත්‍ය කලාව පිරිහී ගිය රසඥතාවෙන් තොරවූ සමාජයක් බොහෝ දේශපාලනඥයන්ට ද වඩා උචිතය. එහෙත් එහි විපාකය දැනෙන්නේ අදට වඩා හෙට දවසේදීය. මේ ආණ්ඩුව දේශපාලන ප්‍රතිසංස්කරණයක් ගැන කියනු ඇසෙයි. එහෙත් මේ පිරිහුණු සමාජය තුළ යහපත් නිරෝගී පුරවැසියන් බිහි කර ගැනීමට අනිවාර්යයෙන්ම අවශ්‍ය දෙයක් ලෙස සාහිත්‍ය කලා පෝෂණය වර්ධනය කිරීම පෙන්වා දිය යුතුය. මනුෂ්‍යත්වයට ගරු කරන ප්‍රබුද්ධ මිනිසකු වීමට කියවීම අවශ්‍ය වේ. ඒ කියවීම සාහිත්‍ය පිළිබඳ පොත පත මුල් කරගත් ජීවිතය හා මානව අත්දැකීම් විදහා දැක්වෙන පුළුල් කියැවීමක් විය යුතුය.
විශ්ව කීර්තියට පත් රුසියානු ලේඛක මැක්සිම් ගෝර්කි පොත පත කියවා ජීවිතය ජයගත්තෙකි. මේ ඔහුගේ ප්‍රකාශයකි.
“මම ජීවිතයේ අඳුරු පතුලේ සිට පැමිණියෙක්මි. මගේ හඬ ඒ අඳුරු පතුලේ දුගී දුකෙන් පෙළෙන මිනිසුන් විසින් නඟන ලද අඳෝනාවේ දෝංකාරයයි. මම ඔවුන් විඳින දුක ලෝකයට කියා පෑම පිණිස ඔවුන් විසින් එවන ලද සාක්ෂිකරුවෙක්මි.”
මෙවන් ප්‍රකාශයක් කවර හෝ දේශපලානඥයකුට කළ හැකිද? ගෝර්කි රුසියානු විප්ලවයට මඟපෙන්වූ අයෙක් ලෙස ලෙනින්ගේ ගෞරවයට ද පාත්‍ර වූවෙකි. මිනිසාට ඇමැතීමේ බස සාහිත්‍ය කලාවය. සාහිත්‍ය සංගීත කලාව විඳගත නොහැකි කල විහීනයන් ගොනුන්ට සමාන කළ භාරතීය පඬිවරු මිනිසාගේ අමන කමට සිනාසුනාහ.
- ගාසු