පීඩනය එංගලන්තයට වාසිය අපට – ශ්‍රී ලංකා පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් අද තරගය ගැන කියයි

793

මැතිව්ස් අද පිටියට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 1996 ශූරයන් වූ ශ්‍රී ලංකාව සහ වත්මන් ශූරයන් වන එංගලන්තය 2023 ලෝක කුසලාන තරගාවලිය යටතේ ඉන්දියාවේ බැංගලෝර් හි චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී අද (26 වැනිදා )තරග වැදීමට නියමිතය.

ශ්‍රී ලංකා වේලාවෙන් අද ප.ව.2.00 ට තරගය ආරම්භ වීමට නියමිත අතර කඩුලු රකින්නන් දෙදෙනකු වන කුසල් මෙන්ඩිස් සහ ජොස් බට්ලර් කණ්ඩායම් දෙක මෙහෙයවති.

එංගලන්තය මෙන්ම ශ්‍රී ලංකාව ද මෙවර ලෝක කුසලාන තරගාවලියේ තමන් සහභාගී වූ තරග 4 න් තරග 3 ක්ම පරාජයට පත්ව ඇති අතර ශ්‍රී ලංකාවේ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය එංගලන්තය ට වඩා වැඩි වීම හේතුවෙන් ශ්‍රී ලංකාව එංගලන්තයට වඩා එක් පියවරක් ඉදිරියෙන් සිටී.

කණ්ඩායම් 10 ක් සහභාගීවන මෙවර තරගාවලියේ අවසන් ස්ථානය ලෝක ශූරයන් වන එංගලන්තයට හිමිව තිබීම ඔවුන් මත පීඩනය වැඩි වීමක් බව ශ්‍රී ලංකා පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු සැසියක් අවසානයේ මාධ්‍යයට පවසා සිටියේය.

“ඒ අය ලෝක ශූරයෝ. ඒ වගේම ඔවුන් දැන් අන්තිම තැනට වැටිලා ඉන්නෙ. හිතන්න ඔවුන්ට කොතරම් පීඩනයක් ඇතිද කියලා. ඒ පීඩනය අපි වාසියක් කර ගන්න ඕන. අපි හොඳින් පුහුණුවීම් කරලා හොඳින් තරගයට ගියොත් අපිට දිනන්න පුළුවන්. අපේ ක්‍රීඩකයන් දක්ෂයි.”

එංගලන්ත ජාතික ක්‍රිස් සිල්වර්වුඩ් මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් වීමට පෙර අවසාන වශයෙන් පුහුණුකාරිත්වය දැරුවේ ද එංගලන්ත කණ්ඩායමේ ය.

2021-2022 අළු බඳුන තරගාවලියේ ඔස්ටේ්‍රලියාව හමුවේ 4-0 ක දැවැන්ත පරාජයක් ලැබූ එංගලන්ත කණ්ඩායම ප්‍රතිසංවිධානය කිරීමේ දී ඉන් ඉවත් කළ සිල්වර්වුඩ් 2022 අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් වූයේය.

“මං දන්නා අඳුනන ක්‍රීඩකයන් කීප දෙනෙක් තවමත් ඒ කණ්ඩායම නියෝජනය කරනවා. ඒක අපේ සැලසුම්වලට වාසියක්. ඒවා මං මේ තරගයට ප්‍රයෝජනයට ගන්නවා. මම දැන් කරන්නේ මගේ රාජකාරිය. කොටින්ම මම දැන් ශ්‍රී ලාංකිකයෙක්.”

ශ්‍රී ලංකාව සහ එංගලන්තය එක් දින ලෝක කුසලාන තරගවලදී 11 වතාවක් එකිනෙකා හමු වී ඇති අතර ඉන් 6 වතාවක් එංගලන්තය ද 5 වතාවක් ශ්‍රී ලංකාව ද ජයග්‍රහණය කර තිබේ.

කෙසේ වෙතත් එංගලන්තය ලෝක ශූරයන් වූ අවසන් තරගාවලියේ දී පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 20 කින් ජය ගෙන තිබීම පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් ප්‍රකාශ කළ පරිදි එංගලන්තයට තවත් අමතර පීඩනයක් එකතු කරන්නකි.

එම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කළ ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 85) යළි සංචිතයට පැමිණ තිබීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ශක්තිය වැඩි කරන්නක් වී ඇත.

එසේම අද තරගය සඳහා දුනිත් වෙල්ලාලගේ යළි කැඳවීමට ඉඩ ඇති අතර එසේ වුවහොත් දුනිත් සහ මැතිව්ස් වෙනුවෙන් දුශාන් හේමන්තට සහ චාමික කරුණාරත්නට කණ්ඩායමේ ස්ථානය කැප කරන්නට සිදු වනු ඇත.

අවසන් තරගයේදී පාදයේ ආබාධයකට ලක් වූ මහීෂ් තීක්ෂණ ගේ තත්ත්වය ද බරපතළ එකක් නොවීම ශ්‍රී ලංකාවට සහනයක් වී ඇත.

ක්‍රීඩකයන් කිහිප දෙනකු ආබාධ ලැයිස්තුවට එක්ව සිටියත් එම තත්ත්වය කළමනාකරණය කරගෙන කණ්ඩායමක් ලෙස ඉදිරියට යෑමට ශ්‍රී ලංකාවට ශක්තිය ඇති බව ද සිල්වර්වුඩ් මහතා එහිදී පැවසීය.

මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව, පකිස්තානය සහ ඔස්ටේ්‍රලියාව හමුවේ පරාජයට පත් වූ අතර නෙදර්ලන්තයට එරෙහිව ජයග්‍රහණය වාර්තා කළේය.

එංගලන්තය ද බංග්ලාදේශය ට එරෙහිව තරගය පමණක් ජය ගත් අතර නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ ඇෆ්ගනිස්තානය හමුවේ පරාජයට පත්විය.

ශ්‍රී ලංකා සංචිතය

කුසල් මෙන්ඩිස් (නායක), කුසල් ජනිත්, දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, සදීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, කසුන් රාජිත, ළහිරු කුමාර, දිල්ෂාන් මධුෂංක, චාමික කරුණාරත්න

එංගලන්තය

ජොස් බට්ලර් (නායක), මොයින් අලී, ගස් ඇට්කින්සන්, ජොනී බෙයාස්ටෝ, සෑම් කරන්, ලියම් ලිවිංග්ස්ටන්, ඩේවිඩ් මාලන්, ආදිල් රෂීඩ්, ජෝ රූට්, ජේසන් රෝයි, බෙන් ස්ටොක්ස්, බ්‍රයිඩන් කාර්සේ, ඩේවිඩ් විලී, මාක් වුඩ්, ක්‍රිස් වෝක්ස්
කුෂාන් සුබසිංහ බැංගලෝර් නුවර චින්නස්වාමි ක්‍රීඩාංගණයේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment