ලංකාවේ හිටියත් නැතත් ප්‍රේක්‍ෂක ආදරය අඩුවෙලා නැහැ

ලෝචනා ඉමාෂි පසුගිය කාලෙ නිර්මාණ තුළින් දකින්න ලැබුණෙ නැහැ. මොකද වැඩිපුරම හිටියෙ විදෙස්ගත වෙලා. නමුත් දැන් ලංකාවට ඇවිත් ඇයගේ සුපුරුදු රිද්මයෙන් වැඩ පටන්ගෙන. මේ අතර මීවිත අපි ලෝචනා එක්ක කතාබහක යෙදුණා.

ලෝචනා, ඇයි මේ දවස්වල වැඩි සද්දබද්දයක් නැත්තෙ?

එහෙම නැහැ, වෙනදාටත් වඩා සද්දබද්ද කරගෙන හිටියෙ. මොකද පසුගිය දවස්වල පුතා ඇවිත් ගියා. ඒ නිසා විවිධ වැඩසටහන්වලට වෙනදාටත් වැඩියෙන් ආරාධනා ලැබුණා. ඒ දවස් ටිකේම පුතාත් එක්ක ඒවාට සහභාගී වෙන්න සිදු වුණා වගේම එයාව ගමන්බිමන් එක්කගෙන යන්නත් සිදු වුණ නිසා බොහොම කාර්යබහුල තත්ත්වෙක හිටියෙ.

මෙවර ඔබේ සැමියා ආවෙ නැද්ද?

තාත්තයි පුතයි දෙන්නම එකට ආවෙ.

සැමියයි, පුතයි ළඟ නැති එක ගැන දුකයි - ලෝචනා ඉමාෂි

දෙදෙනාම නැවත ගියාද?

ඔව්, ඒ දෙන්නම ගියා. පුතා ආවෙ අවුරුදු දෙකකට විතර පස්සෙ.

රඟපෑම් වැඩකටයුතු කොහොමද?

විදේශගතවීම් එක්ක බොහෝ කාලයකින් රඟපෑම් කටයුතුවලට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ. මේ වතාවෙ නම් මොකක් හරි වැඩක් කරන්න තමයි හිතාගෙන ඉන්නෙ. දැනටමත් නිර්මාණ කිහිපයක් ලැබිල තියෙනව. ඒවායින් හොඳ එකක් තෝරාගෙන වෙනස් විදිහේ දෙයක් කරන්න තමයි අදහස.

දිගටම ලංකාවේ ඉන්නයි අදහස?

දිගටම කියන්නත් බැහැ. ටික කාලයක් නම් ඉන්නව.

මොනවද අලුත් ආරාධනා?

මම ස්වර්ණවාහිනියේ සජීවී වැඩසටහනක් කරනව. ඒ නිසා මම ලංකාවේ ඉන්න ඕනා. ඒ අතර ටික කාලෙකට විදෙස්ගත වෙලා පුතාව බලල එන්න තමයි හිතාගෙන ඉන්නෙ.

නිවේදන භූමිකාවට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

ඇත්තටම නිවේදිකාව කියන භූමිකාවට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනව වගේම මම කොහේ ගියත් කියන්න කැමති මම නිවේදිකාවක් කියල. මොකද මම හිතනව අනෙක් හැමදේටම වඩා මම ඒකටයි දක්‍ෂ කියල.

රඟපෑමට වැඩි කැමැත්තක් නැතිද?

කැමැත්තක් නැතිව නෙමෙයි. රඟපෑමට මම කැමතියි. නමුත් නිවේදිකාව කියන භූමිකාවෙන් මගේ ජීවිතයට පෞරුෂයක් එකතුවෙනව කියන දේ මම විශ්වාස කරනව. ඒ නිසා නිවේදනයට වැඩි කැමැත්තක් තියෙනව.

දැන් වේදිකාව අතහැරලාද?

ඇත්තටම වේදිකාවේ වැඩ කරන්න හරිම ආසයි. ‘දූවිලි’, සහ ‘සිල්ගත් කොක්කු’ යන වේදිකා නාට්‍යවල ඒ කාලෙ නම් වැඩ කළා. වේදිකාවට කැපවීම කියන දේ වෙනම විදිහකට තියෙන්න ඕනා. දුර පළාත්වල යන්න ඕනා, රිහර්සල් කරන්න ඕනා, ටීම් එකක් එක්ක වැඩ කරන්න තියෙන්නෙ වගේ දේවල්වලට වෙනම කාලය වෙන්කරන්න ඕනා. නැත්නම් මම වගේම අනෙක් ශිල්පීන් පවා අමාරුවේ වැටෙනව. මේ නිසා වේදිකාවෙන් ටිකක් ඈත් වෙලා හිටියත් නැවතත් නිර්මාණයකට සම්බන්ධ වෙන්න ආසාවක් තියෙනව. ‘දූවිලි’, සහ ‘සිල්ගත් කොක්කු’ යන වේදිකා නාට්‍ය දෙක නැවත කරන්න යන බවටත් කතාවක් තියෙනව. අපි බලමු ඉදිරියේදි.

සැමියයි, පුතයි ළඟ නැති එක ගැන දුකයි - ලෝචනා ඉමාෂි

මේ වන විට ජනප්‍රියත්වය අඩු වෙලාද වැඩි වෙලාද?

මම ලංකාවෙ හිටියත් නැතත් ප්‍රේක්‍ෂකයන් මට ආදරය කරන එක අඩුවෙලා නැහැ. මම හිතන්නෙ ඒක හැමෝටම ලැබෙන්නෙ නැති වාසනාවක්. මේ වතාවෙ මම ඉතාලියට ගියා. එහෙදිත් කිසිම අඩුවක් නැතිව ප්‍රේක්‍ෂක ආදරය මට ලැබුණා.

පුතා සහ සැමියා විදේශයක සිටීම මොන වගේ හැඟීමක්ද?

ඔව්, ඒ ගැන දුකක් තියෙනව. මොන අම්මද අකමැති තමන්නෙ දරුවා තමන් ළඟ තියාගන්න. නමුත් මගේ දරුවාට හොඳ තැනක මම එයාව තියනව. පුළුවන් හැම මොහොතකම මම එයාලව බලන්න යනව.

මහත්තයා කියන්නෙ නැද්ද එහේ පදිංචියට එන්න කියල?

අම්මෝ එයා කියනව. මොකද මම එහේ ඉන්නකොට එයාට තියෙන වැඩවලින් සියයට අනූවක් විතර නැතිවෙනව. ඒ හැමදේම වෙන්නෙ මගේ අතින්.

පැමිණි ගමන ගැන තෘප්තිමත්ද?

මේ පැමිණි ගමන ගැන ආපසු හැරිල බලද්දි දුක සතුට කියන දේ හැමෝටම වගේම පොදුවේ මටත් ලැබිල තියෙනව. නමුත් දුක් වෙවී ඉන්න තරම් දේවල් මම කරන්නෙම නැති තරම්. මම කොහොමත් තැවි තැවි එක තැන ඉන්න කෙනෙක් නෙමෙයි. ප්‍රශ්නයක් වුණා නම් ඒකට විසඳුමක් හොයල බලල ඒ විදිහට වැඩකරනව. අද මම දකිනව හැමදේම සමබර වුණ ජීවිතයක් මට මට ලැබිල තියෙනව කියල.

රඟ පෑ චරිත ගැන සෑහීමකට පත්වෙනවද?

මෙහෙමයි, මම ගොඩාක් වැඩ කරපු කෙනෙක් නෙමෙයි. නමුත් කරපු ටික වුණත් එකකට එකක් වෙනස් චරිත මට ලැබිල තියෙනව. ඉදිරියටත් වැඩක් කරනව නම් මමබලාපොරොත්තු වෙන්නෙ ඒ වගේ චරිත. මම කැමතියි ඒකට. අදටත් ප්‍රේක්‍ෂකයන් අතර මම ඉන්නෙ හොඳ චරිත කරල තියෙන නිසානෙ. මගේ චරිතය ගැන මම තෘප්තිමත් වෙන්න ඕන. නැත්නම් ඒක හරියාකාරව කරගන්න බැරිවෙනව. නිවේදනය පැත්තෙන් ගත්තත් එහෙමයි. මට යමක් කරන්න පුළුවන් නම් විතරයි භාරගන්නෙ.

වැඩිම ප්‍රේක්‍ෂක ආදරයක් ලැබුණ චරිත ගැන කතා කළොත්?

විශේෂයෙන්ම ප්‍රේක්‍ෂකයන් අදටත් ‘ගින්දරී’ චිත්‍රපටයේ චරිතය ගැන කතා වෙනව. ඒ වගේම තූර්යා, සඳ පිනිබිඳෙක, කාව්‍යා වගේ ටෙලි නාට්‍යවල චරිත ප්‍රේක්‍ෂකයන්ට අමතක නැහැ.

අද වන විට ක්‍ෂේත්‍රයට අලුත් මුහුණු ගොඩක් ඇවිත්?

ඇත්තටම ඒ ගැන සතුටුයි. අලුත් අය බිහිවෙන්න ඕන, දක්‍ෂතාව තියෙන අයට තැනක් ලැබෙන්න ඕනා. නමුත් කවුරු කොහොම ආවත් දක්‍ෂතාවයි වාසනාවයි තියෙන අය විතරයි රැඳෙන්නෙ.

මේ අය නිසා කලින් ආපු අය වැඩ අඩු වෙලාද?

කවුරු ආවත් නැතත් අපේ වයසත් එක්ක අපිට ගැළපෙන චරිත තියෙනවනෙ. ඒවාට අපිට ලැබෙන ආරාධනාවල අඩුවක් වෙලා නැහැ. මේ ක්‍ෂේත්‍රය ඇතුළෙ අලුත් පරණ කියල තරඟයක් නැහැ. කෙනකුට මාව වැඩකට ගන්න ඕන නම් එයා කොහොමත් මාව ගන්නව.

සිනමාවට ආරාධනා ලැබුණද?

කාලෙකට කලින් කරපු ‘තුන්වරක් තුන’ චිත්‍රපටය තිරගත වීමට නියමිතව තියෙනව. අලුත් ආරාධනා නම් තවම ලැබුණෙ නැහැ.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment