පළාත් පාලන ආයතන පාලනයට නව ක්‍රමයක්

533


නිල කාලය අවසන් වී තිබෙන පළාත් පාලන ආයතන පාලනය කිරීම සඳහා ඒවායේ බලතල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වෙත පැවරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙන ලිපිය ඉවත් කරගෙන තිබෙන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද දැනුම් දුන්නේය.

රාජ්‍ය පරිපාලන ලේකම්වරයා විසින් නිකුත් කළ එම ලිපිය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ශණ රාජකරුණා විසින් ගොනුකළ රිට් පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කළ ලිපිය ඉවත් කරගෙන තිබෙන බව දැන්වීය.

එම කටයුතු වලට අදාළව නව ලිපියක් නිකුත් කිරීමට කටයුතු කර ඇති බව රජයේ නීතිඥවරයා දන්වා සිටියේය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසීම් මහතා කියා සිටියේ අදාළ ලිපිය ඉවත් කරගෙන තිබෙන්නේ මෙම පෙත්සම ගොනු කිරීමෙන් පසුව බැවින් මෙම පෙත්සම විභාගයට නියම කරන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව පෙත්සම මේ මස 26 වනදා යළි කැඳවීමට අධිකරණය නියම කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment