‘ දිවයින ඉරිදා සංග්‍රහයේ ‘ අකුරු ගොනුවේ නිර්මාණකරු

උපාලි විජයවර්ධනට සවියක් වූ ගුණසිරි

දිවයින නිල ලාංඡනය නිර්මාණය කළෙත් ඔහුය

සිංහල භාෂාවේ ‘ප්‍රථම’ යන විශේෂිත පදයෙන් පුදනු ලැබූ පුද්ගලයකු පසුගිය සතියේ අවසන් ගමන් ගියේය. ඔහු ගුණසිරි කොළඹගේය. ඔහු සිංහල භාෂාවට ‘ප්‍රථම’ වූයේ සිංහල පත්තර අකුරු පරිගණක ගත කරන්නට ප්‍රථම සිංහල ෆොන්ට් එක නිර්මාණය කළේ ගුණසිරි කොළඹගේ නිසාය. කොළඹගේ ගේ මෙම සිංහල අකුරු විප්ලවයට මුල් වූයේ උපාලි විජයවර්ධනයි. ඔබ අද කියවන ‘දිවයින’ පුවත්පත ආරම්භය සඳහා ලෝකයේ මුල්ම පරිගණකගත සිංහල අකුරු නොහොත් Font එක ගුණසිරි කොළඹගේ ගේ නිර්මාණයකි. එමෙන්ම ‘දිවයින’ පුවත්පත ආරම්භයේ සිට අඛණ්ඩව යොදා ගන්නා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ Head Peace එකේ නිර්මාණකරුත් ඔය ගුණසිරි කොළඹගේය. එමෙන්ම ‘ලංකාදීපය’ head peace එකත් ගුණසිරිගේමය.

කොළඹගේ වනාහි යුග හතරක් හරහා විපරකාමී වූ චරිතයක් මුලින්ම ඔහු පරම විඥාර්ථ සමාගමෙන් පාලනය වූ රඹුක්කන විiාලයෙන් රූපමය කලාවේ ශිල්ප විධි හැදෑරුවේය. දෙවනුව කොළඹ ලලිතකලා ආයතනයෙන් (අද හේවුඩ්) චිත්‍ර කලාව ගැන උසස් ශිල්පීය ඥානය ලබා ගත්තේය. තෙවනුව ඔහු ජාත්‍යන්තර චිත්‍ර කලාව ගැන යුරෝපීය ඥානය සොයා ගියේය. සිව්වන යුගයේ ගුණසිරි කොළඹගේ මෙරට ප්‍රචාරක කලාව තුළ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනඟාගෙන මියෙන තුරාත් ‘අඛණ්ඩව’ එය රැක ගත්තේය. අඛණ්ඩව කිව්වේ අවුරුදු 89දී මියගියත් ඔහු පසුගිය මාසයේ ද චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වූ නිසාය.

ගුණසිරි කොළඹගේ හැටේ දශකය අග භාගය වන විට සේවය කළේ ජාත්‍යන්තර JWT ප්‍රචාරක ආයතනයේය. එවකට එහි අධ්‍යක්‍ෂවරයා වූයේ ආනන්ද තිස්ස ද අල්විස්ය. ඔහු පසු කලෙක කථානායක ධුරයට ද පත්විය. 1970 මැතිනියගේ ආණ්ඩුවේ දේශීය ව්‍යාපාර ගොඩනැගීමේ සංකල්පය නිසා ‘Bata’ වැනි බහුජාතික සමාගම් අඩපන වීම ඒවායේ ප්‍රචාරක කටයුතු අඩපන වීම නිසා J walter Thomson කොම්පැනියේ දේශීය නියෝජිත ආයතනය මූල්‍යමය ලෙස දැඩි අර්බුදයකට පත්විය. උපාලි විජයවර්ධන තම දේශීය නිෂ්පාදන සඳහා ප්‍රචාරක කටයුතු JWT ආයතනයට භාර දෙන්නේ මේ අතරය. මේ සමයේ JWT ආයතනයේ ආට් ඩිරෙක්ටර් (Art Diractor & Visualizrn) වූයේ ගුණසිරි කොළඹගේය.

උපාලි ආයතනයේ නිල ලාංඡනය නිර්මාණය කළේ කොළඹගේ විසිනි. එහි ‘U’ අක්‍ෂරය වටා පායන හිරු මෙන් බබලන රශ්මිය වැනි රටා සමූහය සඳහා කොළඹගේ උපාලි විජයවර්ධනගේ පරම්පරාවේ උදවිය භාවිත කළ මුද්දක් වැනි මුද්‍රාවකි. එකල තැපැල් භාණ්ඩ යැවීමේදී හතරපොට ටුව්ඩ් නූලෙන් ගැටගසා ලාකඩ නූල් හරස් වන තැනට වක්කරන ලදී. එම වත්කරන ලද ලාකඩ සාමාන්‍ය ජනතාව රුපියලේ කාසියකින් තද කළත් විජයවර්ධන පරපුරේ මුහන්දිරම්ලා පාවිච්චි කළේ කැටයම් කළ මුද්දක් වැනි මුද්‍රාවකි. කොළඹගේට උපාලි ලාංඡනයට මේ තම පරම්පරාවේ මුද්‍රාව ගැන කොළඹගේ දැනුවත් කළේ උපාලි විජයවර්ධන විසින්මය. එම මුද්දේ ස්වරූපයත් සූර්ය ලාංඡනයක් ලෙස කළ උපාලි ලාංඡනය පසුව ලංකාවේ නිපදවූ උපාලි ෆියට්, උපාලි මැස්ඩා රථවලට ද යොදා ගන්නා ලදී.

සිංහල අකුරු විප්ලවයේ මාස්ටර් ගුණසිරි කොළඹගේ

හැත්තෑව දශකයේ රේඩියෝ ආයතනය තහනම් වීමත් සමග උපාලි ජපානයේ NEC කොම්පැණිය සමග එක්ව ලංකාවේ ට්‍රාන්සිස්ටර් රේඩියෝ හදන සහයෝගිතාවයක් ඇතිකර ගත්තේය. උපාලි නමෙන් ‘U’ අකුර ගත් උපාලි විජයවර්ධන U-NEC නමින් ලාංඡනය නිර්මාණය කරන්නට ගුණසිරි කොළඹගේට පවරන ලදී. උපාලිගේ ‘U’ අකුරත් NEC කොම්පැණියේ නමත් එක්කොට ගුණසිරි කොළඹගේ රේඩියෝවට අලුත්ම නමක් යෝජනා කරන ලදී.

‘අපි මේ රේඩියෝ එකට දාමු UNIC කියල නම. එතකොට ඒක අනුපමේය නමක්’ කොළඹගේ පැවසීය.

ගුණසිරි කොළඹගේ ඩෙල්ටා ටොෆි සඳහා නිර්මාණය කළ ‘චුට්ටයි – චුට්ටියි’ ලාංඡනය දශක හයකටත් වඩා මෙරට ජනතාව අතර ජීවත් වන ලාංඡනයක් වී හමාරය.

උපාලි විජයවර්ධන නම් වූ තරුණයා මුල් කාලේ සේවය කළ ආයතනයක් නම් ලිවර් බ්‍රදර් ආයතනයයි. ලංකාවේ සබන් ඒකාධිකාරය තිබුණේ එම බහුජාතික සමාගමටය. පසු කලෙක උපාලි ආයතනය මෙරට සබන් කර්මාන්තයට පිවිසෙන ලදී. මුලින්ම හඳුන්වා දුන්නේ සුවඳ සබන් වර්ග 3කි. ක්‍රිස්ටල්, ටිංගල් සහ මෙට්‍රෝ ඒ සබන් වර්ග 3ය. මෙම සබන්වල දවටන මෙන්ම සබන් කැටයේ (Soap Cake) හැඩය නිර්මාණය කළේත් ගුණසිරි කොළඹගේ විසිනි.

අසූව දශකය වන විටත් ලංකාවේ සිංහල අකුරු විලාසිතා වූයේ සාමාන්‍ය අච්චු අකුරුය. මෑත ඉතිහාසයේ මුල් වරට Letraset නමැති ජර්මන් සමාගමක් සමග එකවී සිංහල අකුරු දෙකක් නිර්මාණය කරන ලද්දේ ගුණසිරි සිල්වා විසිනි. එම අකුරු දෙක Thick & THIN සහ Same Thick ලෙස වර්ගීකරණයට ලක්විය. Thick & THIN කියන්නේ අකුරේ පහළ කොටස් හා ජාතිකොටස් වෙට්ටි ලෙස මහත් කොට ඉතිරි කොටස් හීනියට ඇඳීමය. අද ලංකාදීපය නම Head Piece ලෙස යොදා ගත්තේ ඔහු ඇඳි මේ අකුරයි. Letraset ශීට් එක අඟල් 9ක් පමණ පළල අඟල් 14ක් පමණ උස එකකි. එහි මුළු සිංහල හෝඩියම, ඉස්පිලි පාපිලි සමග විය. පැන්සලෙන් ඉරක් ඇඳ තමන්ට අවශ්‍ය අකුර නිසි තැන තබා කාබන් පෑනක උඩ පැත්තෙන් කඩදාසියට තෙරපූ විට මෙම අකුර කඩදාසියේ පතිත වීම මෙම ක්‍රමවේදයයි.

එහෙත් අපේ අයියලා මේ කොළය ෆොටෝ කොපි ගසා අකුරෙන් අකුර කපා Cut & space කොට සකසා ගැනීම නිසා Letraset කොම්පැණිය බලවත් අර්බුදයකට පත්විය. රත්මලානේ Oriental Sign ආයතනය ද මෙවැනි සිංහල අකුරු විශේෂයක් හඳුන්වා දුන් අතර ඒවා නිර්මාණය කළේ වින්සන්ට් ජයවර්ධන විසිනි.

මෙම ලිපියේ මුලින් සඳහන් පරිදි මෙරට පත්තර ලෝකයේ විප්ලවීය වෙනසක් කළේ උපාලි පුවත්පත් සමාගම විසිනි.

උපාලි පුවත්පත් සමාගම මුල සිටම සැලසුම් කරන ලද්දේ සියයට සියයක්ම ඕප්සෙට් මුද්‍රණාලයක් හැටියටය. කාර්මික අංශය භාරව කටයුතු කළේ විදේශීය පුහුණුව ලත් පළපුරුදු තරුණ මුද්‍රණ ශිල්පියකු වන සුනන්ද රත්වත්ත මහතාය.

උපාලි පුවත්පත් සමාගම මිලයට ගත්තේ ද එවකට රජය සතු ව්‍යාපාරයක් වූ ලංකාදීපයට මිලදී ගත් ග්‍රොස් කොමියුනිටි වර්ගයේම යන්ත්‍රයකි. එහෙත් උපාලි සමාගමේ ඕප්සෙට් ක්‍රමය මුද්‍රණ යන්ත්‍රයට පමණක් ම සීමා වූයේ නැත. අකුරු ඇමිනීම සඳහා ‘ඊඩීටී’ නමින් හැඳින්වෙන කොම්පියුටර් ක්‍රමයේ ‘පොටෝ – ටයිප් සෙටර්’ යන්ත්‍ර ලබා ගන්නා ලදී. පොටෝ – සෙටර් යන්ත්‍ර ඉංගිරිසි භාෂාවෙන් තිබුණත් සිංහලෙන් නොතිබුණු නිසා සිංහල යතුරු පුවරුව රුවා අලුතින්ම පොටෝ – සෙටර් යන්ත්‍ර නිපදවා ගැනීමට උපාලි සමාගමට සිදු විය.

‘දිවයින’ පත්‍රය මුද්‍රණය සඳහා උපයෝගී කර ගන්නා සිංහල පොටෝ සෙටර් යන්ත්‍රය සිංහල භාෂාවෙන් නිපදවුණු එම වර්ගයේ ප්‍රථම යන්ත්‍රයයි. අකුරු පුවරුව සඳහා අවශ්‍ය අකුරු ඇඳ සකස් කරන ලද්දේ ගුණසිරි කොළඹගේ විසිනි.

ඒ වනවිට කොළඹගේ වැඩ කළේ රංජිත් ජයසූරිය ඇසෝසියෙට් ආයතනයේය.

ගුණසිරි කොළඹගේ විසින් සිංහල අකුරු අඳින ලද මෙම පොටෝ සෙටර් යන්ත්‍රය හැඳුන්වන ලද්දේ ‘ඒ ඇම් වෙරිටයිපර්’ යන නමිනි. යන්ත්‍රයේ නිෂ්පාදනය භාර දෙන ලද්දේ ඇමෙරිකාවේ ඒ ඇම් ඉන්ටර්නැෂනල් සමාගමටය. එම සමාගමේ ආසියා කලාපීය නියෝජිත ආයතනය වන නවදිල්ලියේ ප්‍රින්ටර්ස් හවුස් සහ බ්‍රිතාන්‍ය ශාඛාව එකතුව ප්‍රථම සිංහල පොටෝ – ටයිප් සෙටර් යන්ත්‍රය බිහි කරන ලදී.

ගුණසිරි කොළඹගේ නිර්මාණශීලී චිත්‍ර ශිල්පියකු විය. 1966දී ඔහු සිත්තරකු කියවූ කවි’ නමින් චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වූවේය. ඔහු එදා මේ ප්‍රදර්ශනය එවකට පුවත්පතකට හඳුන්වාදී තිබුණේ මෙසේය.

මේ සිතුවම් දැක්මේදී මම චිත්‍රගත කළේ කොළඹ කවීන්ගේ කවි සංකල්පනාවන්. මීමන, පී.බී. කේයස්, කුමාරගම ආදී කවීනට එදා පොදු රසිකයා දැක්වූ අසීමිත ජනාදරය මේ චිත්‍ර දැක්මට පැමිණි දස දහස් ගණන් වූ ජනයාගෙන් පැහැදිලි වුණා.

එම චිත්‍ර ප්‍රදර්ශනයේ ආනන්ද රාජකරුණා ජනප්‍රිය කවක් කොළඹගේ චිත්‍රණය කොට තිබූ එම කව උපුටමින් ගුණසිරි කොළඹගේට සමුදෙමි.

අපි කොළඹ යන්නෙමු
හවසට ගෙදර එන්නෙමු
හෙටත් අපි යන්නෙමු
මෙසේ යන්නෙමු, මෙන්ම එන්නෙමු

ඒත් ඉතිං ජීවිතයෙන් සමුගනිමින් යන්නට ගිය ගුණසිරි කොළඹගේ නැවත ‘මෙන්ම එන්නෙමු’ කියා නැවත ඒදැයි අපට කළ හැක්කේ බලාසිටීම පමණකි.

රංගන ප්‍රසාද් කහවල

advertistmentadvertistment
advertistmentadvertistment