රට වෙනුවෙන් කැපවූ වීර සෙන්පතියකු පිළිබඳ පසු විපරමක්

3466

දිවංගත ලුතිනන් කර්නල් පීවීජේ (ජයන්ත) ද සිල්වා, ශ්‍රී ලංකා යුද හමුදාවේ වර්ෂ 1964 සිට 1987 දක්වා ශ්‍රී ලංකා පාබල හමුදා නිලධාරියකු ලෙස (ශ්‍රී ලංකාවේ පැරණිතම රෙජිමේන්තුව – ආරම්භය-1881), සේවය කළ දක්ෂ නිලධාරියෙකි. එතුමා ඔස්ට්‍රේලියාවේදී සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් අවාසනාවන්ත ලෙස පසුගිය මසක මෙලොව හැර ගියේය. මිය යන විට එතුමා 80 වැනි වියෙහි පසු විය. ලුතිනන් කර්නල් ජයන්ත ද සිල්වා ශ්‍රී ලංකා යුද හමුදාවට මෙතෙක් බිහිවූ කීර්තිමත් නිලධාරියකි. ඔහු තම රාජකාරියේදී අවස්ථානුචිතව සහ දක්ෂ අන්දමින් කටයුතු කළ නිසා සමහරු ඔහු හඳුන්වනු ලැබුවේ මහා ශූරයකු ද ලෙසිනි. එතුමා නිතරම හමුදා හෝ දේශපාලනික වශයෙන් පසුබට වූවන්ට අසාධාරණය හමුවේ ශක්තිමත් පවුරක් සේ නැගී සිටියේය. මේ නිසා ඔහු විටෙක නොසැලෙන, දැඩි, මුරණ්ඩු දේශප්‍රේමියෙක් ද විය. එතුමා මගේ ළබැඳි මිතුරකු වූ අතර, මම ඔහුව නිරතුරුවම අගය කරමි.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ජයන්ත පාසලේ ශිෂ්‍ය නායකයකු ලෙසත්, ශිෂ්‍යභට කණ්ඩායමේ සැරයන්වරයකු ලෙසත් කටයුතු කළ අතර ඔහු ශ්‍රී ලංකා දක්ෂ පැසිපන්දු ක්‍රීඩකයෙක් ද විය.

1960 දශකයේ අග භාගයේ පමණ මා නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීමේ සෝදිසි රාජකාරී මෙහෙයුමක යෙදී සිටියදී, ඔහුගේ බලඇණියේ සෙබළුන් කිහිප දෙනකු තලෙයිමන්නාරමේදී මට හමු විය. එහිදී එම සෙබළුන් විසින් කෙසඟ, නමුත් ශක්තිමත් ශරීරයකින් යුත්, අඩි හයක් පමණ උස ඇති, තම ඛණ්ඩභාර නිලධාරියාගේ සාර්ථකත්වයන් ගැන ආඩම්බරයෙන් කතා කළහ. සැබවින්ම රෙජිමේන්තු ආදර්ශ පාඨය වන “Ich Dien” (මම සේවය කරමි) යන්න පැහැදිලිවම, ආදර්ශයට ගත් ඔහු, ඔහුගෙන් බලාපොරොත්තු වන පරිදි තම සෙබළුන්ගේ සෑම අවශ්‍යතාවක්ම සොයා බැලුවේය. වර්තමානයේ දේශපාලනීකරණය වූ හමුදාවක තම ආදර්ශ පාඨයවත් තේරුම් නොගත් බොහෝ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් “මම සේවය කරමි” යන්නෙහි අදහස දේශපාලනඥයන්ට සේවය කිරීම යනුවෙන් වටහා ගෙන ඇත. මෙය ඉතාමත් කනගාටුවට කරුණකි.

ජයන්තගේ අසාමාන්‍ය දස්කම් බොහෝමයක් ඉතාමත් ජනප්‍රිය විය. 1971 ජවිපෙ කැරැල්ලෙන් පසු රුසියානුවන් මි.මී. 81 මෝටාර් අවි ශ්‍රී ලංකා හමුදාවට ප්‍රදානය කරන විට, ගිනි අවි පිළිබඳ උපදෙස් දීමට තෝරාගත් අධිකාරී නොලත් බලලත් නිලධාරීන්ගේත් සැරයන්වරුන්ගේත් කණ්ඩායමේ නායකයා වූයේ ජයන්තය. රුසියානුවන් නව අවිය හඳුන්වා දීමට පටන් ගත් පළමු දිනයේ සිටම සිතුවේ අප හමුදාව ගිනි අවි හැසිරවීමට නොදන්නා නිසා මුල සිටම අවි පරිහරණය පිළිබඳව පුහුණු විය යුතුය යැයි විශ්වාස කරමිනි. නමුත් දෙවන ලෝක මහා සංග්‍රාමයේදී භාවිත කළ බ්‍රිතාන්‍ය අඟල් 3 වර්ගයේ මෝටාර් අවිය අප හොඳින් පුහුණු වී සිටි බව ඔවුන් නොදැන සිටියා විය හැකිය.

පළමු දවස අවසානයේදී ජයන්ත විසින්, කැළඹුණු රුසියානුවන්ට පසුදා නිවාඩුවක් ගත කරන ලෙස ඉල්ලා සිටියේය. පසුව ඔහු තම පාබල කණ්ඩායමට පසුදා උදෑසන පානලුව වෙඩි පිටියට රැස්වන ලෙස අණ කළේය. එහිදී ගිනි අවියෙන් වෙඩි තබන ආකාරය ඇතුළු සියල්ල කණ්ඩායමට කියා දුන්නේ ජයන්ත විසිනි. ඔවුන්ගේ පුහුණුව කොතෙක්ද කියතොත්, පසුදා උදෑසන රුසියානුවන් හට ආයුධ පුහුණු ප්‍රදේශය වෙනුවට යාමට සිදු වූයේ වෙඩි තැබීමේ ක්ෂේත්‍ර සීමාවට යි. මෙහිදී කණ්ඩායමේ සෙබළුන් මෝටාර් ගැලවීම සහ එකලස් කිරීම මැනවින් නිරූපණය කළහ.

රුසියානුවන් ඊළඟට මෝටාර් බෝම්බ වෙඩි තැබූ ක්ෂේත්‍ර වෙඩිපිටිය වෙත ගෙන යන ලදී. මෙසේ සැලසුම් කර තිබූ සති හයක පාඨමාලාව ඉතා කෙටි කලකින් අවසන් විය. ඒ ලුතිනන් කර්නල් පීවීජේ (ජයන්ත) ද සිල්වාගේ දක්ෂ පුහුණු කිරීම හා මග පෙන්වීම නිසාය.තවත් විටෙක ඔහුගේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් හෙන්රි අතුකෝරළට (විශ්‍රාමික මේජර් ජෙනරාල්) රෙජිමේන්තු කෞතුකාගාරයක් සෑදීමට අවශ්‍ය වූ විට, ඔහු එක රැයකින්ම එය නිර්මාණය කිරීමට දක්ෂයකු විය. තවද රෙජිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම ඔහුට භාර විය. එහිදී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ඩෙනිස් පෙරේරාගේ හමුදා සහකාර (Military Assistant) වශයෙන් සේවය කරන විට හමුදා සෙබළුන්ගේ වඩාත් සුදුසු සහ වඩාත් නිවැරදි යුද හමුදා නිල ඇඳුම් සහ රෙගුලාසි කාලෝචිතව ඉදිරිපත් කළේය.

කොළඹ දී පැවති නොබැඳි සමුළුවට (1976) රාජ්‍ය නායකයන් හා රජයේ ප්‍රධානීන් 100 දෙනකු පමණ සහභාගි වූහ. මෙම රාජ්‍ය නායකයන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ගොඩබසින අවස්ථාවේ ඔවුනට රාජ්‍ය ගෞරව සම්මාන මුරයක් පිරිනැමීම සිදු විය. ඔවුන් එකිනෙකාගේ පැමිණීම අතර වූ කාල පරාසය ඉතා කෙටි විය. එම අවස්ථාවේ දී ජයන්ත හිටපු යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ බ්‍රිගේඩියර් ටී. අයි. වීරතුංගගේ (පසුකාලීන යුද හමුදාපති) නියෝජ්‍ය මෙහෙයුම් නිලධාරියා ලෙස රාජකාරි කළේය. මෙහි දී ජයන්ත විසින් පෙරහුරු වේලාවන් හා නිල ඇඳුම් පරීක්ෂාවන් දැඩි කළමනාකරණයකින් හා මනාව සංවිධානය කර තිබූ නිසා බ්‍රිගේඩියර් වීරතුංගට බොහෝ කාල වේලාවක් ඉතිරි කර ගැනීමට හැකි විය. මෙම නිල උත්සවයන් ඉතා උත්කර්ශවත් අන්දමින් සිදු විය. ඒ අවස්ථාවට රාජ්‍ය නායකයන් වන ඉන්දිරා ගාන්ධි, අන්වර් සදාත්, මකරියෝස් (සයිප්‍රස්), හෆීස් අල් අසාද් සහ ලිබියානු නායක කර්නල් මුවම්මාර් ගඩාෆි යන අයද සහභාගි විය. මාර්ෂල් ටිටෝ ද ඔහුගේ යාත්‍රාවකින් කොළඹ වරායට ගොඩ බැස්සේය.

අම්පාර සටන් පුහුණු පාසලේ අණ දෙන නිලධාරියා ලෙස ඔහු එම සටන් පුහුණු පාසල සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කළේය. න්‍යායාත්මක පාඩම්, ක්ෂේත්‍ර උපායික අභ්‍යාස සහ සම්මත යුද මෙහෙයුම් ක්‍රියා පටිපාටිවල සිට සෑම දෙයක්ම ලිඛිතව මනා පිළිවෙළින් සිදු කළේය. එම නිසා ඔහුගේ අනුප්‍රාප්තිකයන්ට සිදු වූයේ ඔහු අනුගමනය කිරීමට පමණි.

ජයන්ත සතුව යෂිකා (Yashica) වර්ගයේ කැමරාවක් තිබූ අතර එහි ඔහු කඳවුරේ දී සහ පුහුණුවීම්වලදී බොහෝ සිදුවීම් ඡායාරූපගත කළේය. දිනක් මා ඔහුට මාගේ විවාහ මංගල්‍යය ඡායාරූපගත කරන ලෙස ඉල්ලා ෆිල්ම් රෝලක් ලබා දුන් අතර ඔහු මට උසස් ප්‍රමිතියෙන් යුත් ඡායාරූප රාශියක් ලබා දී මා දුන් ෆිල්ම් රෝල ආපසු මට ලබා දුන්නේය. වසර ගණනාවකට පසු ඔහුගේ කැමරාව අලුත්වැඩියා කිරීම සඳහා නව උපාංග හා කොටස් මිලදී ගැනීමට උත්සාහ කළත් ඔහුට ඒවා සොයාගත හැකි වූයේ නැත. නමුත් තමාට සොයා ගැනීමට නොහැකි වූ උපාංග හා කොටස් සියල්ල පසුව තමා විසින් ම නිර්මාණය කර ඉතා ඉක්මනින් තම කැමරාව අලුත් වැඩියා කර යාවත්කාලීන කරන ලද කැමරාවකට හිමිකම් කීමට හෙතෙම සමත් විය.

ඉන්පසු ඔහු සිය නිර්මාණාත්මක ඡායාරූප බොහෝ කැමරා සමාගම් වෙත යැවීය. නමුත් ඊට ප්‍රතිචාර දැක්වූයේ කොඩැක් සමාගම පමණි. එම සමාගම විසින් ඔහුගෙන් ප්‍රකාශන හිමිකම් සඳහා ලියාපදිංචි වී ඇත්දැයි විමසූ විට, ලියාපදිංචි කර නොමැති බව ජයන්ත ඔවුනට දන්වා සිටියා. මෙම සමාගම හා එකඟතාවකට පැමිණීමට ගිවිසුමක් ලබා දිය හැකිදැයි කොඩැක් සමාගම අසා සිටි අවස්ථාවේ ඔහු ඔවුන් හට පැවසුවේ ගිවිසුමක් අවශ්‍ය නොවන බවයි. එවිට ඒ සඳහා ඔහුගේ නම භාවිත කිරීමට අවසර ඉල්ලා සිටි කොඩැක් සමාගම වෙත ඔහු තවදුරටත් කියා සිටියේ එම තැනැත්තා කවුරුන්ද යන වග ඔවුන් දෙපාර්ශ්වයම දැනුවත් නිසා ගිවිසුමක් අනවශ්‍ය බවයි.

යුද හමුදා ශිෂ්‍යභට නිලධාරීන්ගේ පුහුණු පාසලේ ප්‍රොජෙක්ටරය දෝෂ සහිත වූ අතර, ප්‍රතිස්ථාපන කාචයක් අවශ්‍ය වී තිබුණි. එය අලුත්වැඩියා කිරීමට නොහැකි වූ අතර ඔහුගේ හැඳුනුම්කම් මත කපිතාන් විපුල් බොතේජුගේ (විශ්‍රාමික බ්‍රිගේඩියර්) ඇමරිකා එක්සත් ජනපදයේ සිටින සහෝදරියගේ සහාය ඇතිව ඒවා ගෙන්වා සවි කළේය. එය මුල් උපකරණයට වඩා හොඳින් ක්‍රියා කළේය. ඔහු විසින් ගුවන් ඡායාරූප වලින් ත්‍රිමාණ (3D) ප්‍රයෝගයක් ලබා ගැනීම සඳහා Stereoscope එකක් ද සාදන ලදි. තවද ඔහු වැලි ආකෘතියක් මත සිතියමක් ප්‍රක්ෂේපණය කළ හැකි උපකරණයක් ද නිර්මාණය කළේය. සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරියා ලෙස ඔහුට ඔහුගේ සවිස්තරාත්මක පිරිවිතරයන් වෙත හැරීම සඳහා ලියවන පට්ටලයක් ලබා ගත්තේය. ස්වයං රයිෆල් පුහුණුවීම් සඳහා අජීව වෙඩි තැබීමේ ඇමුණුමක් (BFA) අවශ්‍ය විය. නමුත් මෙය ආනයනය කිරීමේදී පිරිවැය අධික විය. ඒ හේතුවෙන් නව ආයුධය පුහුණු අභ්‍යාසවල වෙඩි තැබීම අනුකරණය කිරීමට මෙය භාවිත කළ නොහැකි විය. නමුත් එහි ප්‍රතිඵලයක් ලෙස පසුව ඒවා දේශීයව නිෂ්පාදනය කරන ලදී. පසුකාලීන චීන T56 රයිෆලය ඉලක්කයට වෙඩි තැබීමට අවශ්‍ය උපාංගයක් ලෙස (ක්‍රමාංකනය කිරීමට) තවත් උපකරණයක් සාදන ලදී. ඔහුගේ මුලපිරීමෙන් යුද හමුදාවට මෙන්ම ශ්‍රී ලංකාවට සිදු කළ නව්‍ය දායකත්වය පිළිබඳව කියා නිම කළ නොහැක. එසේම ශ්‍රී ලංකාවට පමණක් නොව ඔස්ට්‍රේලියාවේදීත් ඔහු ආරක්ෂක අංශය සම්බන්ධ රැකියාවෙහිද එම ආකාරයෙන්ම කටයුතු කළේය.

ජයන්ත මට මුලින්ම මුණගැසුණේ ඔහු 1964 වසරේ ශිෂ්‍යභට නිලධාරියෙකුව සිටියදීය. එම කාලයේ මම රාවල්පින්ඩිහි රෙජිමේන්තු සංඥා නිලධාරි පාඨමාලාවක් හදාරමින් සිටියෙමි. ඔහු ශ්‍රීලාල් වීරසූරිය (හිටපු ජනරල් සහ යුද හමුදාපති) ඇතුළු තවත් කැඩෙට් නිලධාරීන් තිදෙනකු සමඟ පැමිණ විවේක කාලය තුළ මගේ නිලධාරී නිවස්නය තුළ කාමර තුළ රැඳී සිටියේය. සෑම නිලධාරියකුටම නවා තැබිය හැකි ඇඳක් තිබූ බැවින් ඒවා සාලයේ තැබීමෙන් ඔවුන්ට නිදාගැනීමේ දී කිසිදු ගැටලුවක් ඇති නොවුණි.

GHQ පකිස්ථානයට ක්‍රීඩා කිරීම සඳහා කපිතාන් කමල් ප්‍රනාන්දු සහ ඩබ්ලිව්. එම්. වීරසූරිය, ලුතිනන් එස්. ජේ. වීරසේන සහ මා ඇතුළු නිලධාරීන් තිදෙනාගෙන් සමන්විත ක්‍රිකට් කණ්ඩායමක් Ceylon Army නමින් පිහිටුවා ගන්නා ලදි. කෙසේ නමුත් කැඩෙට් නිලධාරීන් පස්දෙනා එතරම් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් නොවීය. අප වෙත ලබා දුන් පාකිස්තානු නිලධාරීන් දෙදෙනා ද එසේ විය. එපමණක් නොව, ප්‍රතිවාදී කණ්ඩායමෙහි සිටි MCC කණ්ඩායමට විරුද්ධව ක්‍රීඩා කළ පකිස්තානු ජාතික ක්‍රීඩකයෙක් විසින් ශතකයක් රැස් කරනු ලැබූ හෙයින් අප කණ්ඩායම පරාජයට පත් විය. මීළඟට අප මුණගැසුණේ 1968 මැද භාගයේදී දියතලාව යුද හමුදා පුහුණු මධ්‍යස්ථානයේ (ATC) ශිෂ්‍යභට නිලධාරී පාසලේ නොහොත් වත්මන් ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේදී ය. ඒ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පවත්වනු ලැබූ ශිෂ්‍යභට නිලධාරි පාඨමාලා සඳහා අප දෙදෙනාම උපදේශකයන් ලෙස පත් කළ අවස්ථාවේදී ය. නව ශිෂ්‍යභට නිලධාරීන් පමණක් නොව හමුදාවේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු සහ වගකීම් අප භාරව සිටි බැවින් මෙය මෙතෙක් ලැබුණු වඩාත්ම වගකීම් සහිත රාජකාරී අවස්ථාවක් විය. මෙම පළමු බඳවා ගැනීමේ සිටි ශිෂ්‍යභට නිලධාරීන් 12 දෙනා සෙසු කණ්ඩායම්වල නිලධාරීන් හා සැසඳිය නොහැකි තරම් දක්ෂ නිලධාරීන් වූහ.

මට නැගෙන ප්‍රශ්නය නම් තම වෘත්තීය ජීවිතය පුරාවටම මුල් පොරොන්දු ඒ ආකාරයෙන්ම මල්පල ගැන්වූ කැපී පෙනෙන මධ්‍යම ශ්‍රේණියේ නිලධාරියෙකු හදිසියේම හමුදාවෙන් ඉවත් වීමට හා ඔස්ට්‍රේලියාවට පදිංචියට යෑමයි. ඔහු එසේ කළේ ලුතිනන් කර්නල් නිලයේ සිටියදී හමුදාපති වීම දක්වා උසස් වීමට අවස්ථාවක් තිබියදී ය. ශ්‍රී ලංකාව හැර වෙනත් කිසිදු හමුදාවක් එවැනි සුවිශේෂී නිලධාරියෙකු රඳවා තබා ගැනීමේ උත්සාහයකින් තොරව යෑමට ඉඩ දෙනු ඇතැයි මට සිතිය නොහැක. පිටවීමේ සම්මුඛ පරීක්ෂණයක් තිබුණාද? ඒ වන විට හමුදාව කෙරෙහි විශ්වාසය නැති වී ගොස් තිබූ නිසාත් හමුදාපතිවරුන් කිහිප දෙනකුම තම පත්වීම්වලට පටහැනිව නිර්ලජ්ජිත ලෙස යුද්ධය ජයග්‍රහණය කළ නොහැකි බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ නිසාත් එසේ සම්මුඛ පරීක්ෂණයක් නොතිබෙන්නට ඇති බව මම සිතමි.

● ලලින් ප්‍රනාන්දු

2023 දෙසැම්බර් මස 3 වන දින Sunday Island පුවත්පතේ පළවූ ‘Appreciation Lt Col PVJ (Jayantha) de Silva SL Light Infantry (1944-2023) ලිපියේ සිංහල පරිවර්තනයයි.

පරිවර්තනය : ගයන්ති ගුණසේකර

advertistmentadvertistment
advertistmentadvertistment