සිංහල, දෙමළ, මුස්ලිම් අපි එකට එකතු වී චෞර පාලනය පළවා හරිමු – අනුර කුමාර දිසානායක (ජාජබ)

60

රට ගොඩනැගීමට නව ජාතික පිබිදීමක් අවශ්‍යයි

රාජ්‍ය සේවය මහජනයාට ගෞරවාන්විතව සේවය සලසන තැනක් බවට පත්කරන්න ඕනෑ යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය

ජාතික ජන බලවේගයේ පුත්තලම ආසන සමුළුව අමතමින් පසුගියදා ඒ මහතා මේ බව සදහන් කළේය.

එහීදී වැඩිදුරටත් කතා කළ දිසානායක මහතා මෙසේද කීය.

සිංහල, දෙමළ, මුස්ලිම් අපි එකට එකතු වී චෞර පාලනය පළවා හරිමු - අනුර කුමාර දිසානායක (ජාජබ)

රාජ්‍ය සේවය මහජනයාට ගෞරවාන්විතව සේවය සලසන තැනක් බවට පත්කරන්න ඕනෑ. දේශපාලනය පිරිසිදු වී මිනිසුන් මීට වඩා ගුණයහපත් අනෙකා ගැන කල්පනා කරන අය බවට පත්වෙන්න ඕනෑ. බුදු දහම, ක්‍රිස්තු ධර්මය, නබිනායකතුමාගේ ධර්මය, හින්දු ධර්මය කියන ප්‍රධාන ආගම් හතරකින් මේ සමාජයට මග පෙන්වනවා. මේ සියලු ආගම්වලින් අනෙකාට මෛත්‍රීය දක්වන්නත්, ආදරය කරන්න, සහෝදරත්වය පළ කරන්න, දේශනා කර තිබුණත් ඒ ආගම් අදහන පුරවැසියන්, හොරුන්ව පාර්ලිමේන්තුවට යවනවා. ඒ නිසා දැන් දේශපාලනයේ විතරක් නොවෙයි, සමාජයේත් ප්‍රශ්නයක් තිබෙනවා. නාරම්මලදී රියැදුරෙකුට වෙඩි තැබූ පොලිස් නිලධාරියා ‘මූ මැරිලාද දන්නේ නෑ’ කියලා කියනවා. වෙඩි පහරට ලක්වුණේ මිනිහෙක් නොවෙයිද? කම්පනයක් තිබෙනවාද? රටකට මෙහෙම ඉස්සරහට යන්න බැහැ.

විශේෂයෙන්ම 1978න් පසුව අනුගමනය කරන ලද ආර්ථික ප්‍රතිපත්තියේ අවසන් ප්‍රතිවිපාකය බවට පත්ව තිබෙන්නේ අපේ ඇස් ඉදිරිපිට මුළු සමාජ දේහයම කඩා වැටීමයි. වැඩිම දැරියන් ප්‍රමාණයක් ලිංගික අඩම්තේට්ටම්වලට ලක්වී තිබෙන්නේ තමන්ගේ කිට්ටුම ඥාතීන්ගෙන්. අපි ඉස්සරහා තිබෙන්නේ එහෙම සමාජයක්. ආර්ථිකය හරි ගියොත් මේ සමාජය ගොඩයන්නේ නැහැ. නීතියේ විධානය ආධිපත්‍යය, තහවුරු කිරීමෙන් පමණක් ගොඩයන්නෙත් නැහැ. මේ සමාජ දේහයම අලුත් පරිවර්තනයකට ලක්කරන්න ඕනෑ. ජාතික ජන බලවේගය ක්‍රියාකරන්නේ ඒ වෙනුවෙන්. මානවවාදී සමාජයක් වෙනුවෙන් සියලු අංශ පරිවර්තනය නොකර අපේ රටට ඉස්සරහට යන්න බැහැ. අපි යෝජනා කරන්නේ ඒ සමාජ පරිවර්තනය වෙනුවෙන් අවශ්‍ය බලයක් ලබා දෙන්න කියලයි.

ඒ ගොල්ලෝ ආර්ථිකය බලන්නේ දත්ත ඇතුලේ මිස ජීවිත ඇතුලේ බලන්නේ නැහැ. සමහර අය සිතනවා බෙදන එක දේශපාලනය කියලා. දැන් කොච්චර නම් බෙදුවාද? දේශපාලන ව්‍යාපාරයක් නම්, ජනතාව ව්‍යසනයන්ගෙන් මුදාගන්න මැදිහත් වෙන්න ඕනෑ. අපි පෙනී සිටින්නේ ඒ පුළුල් සමාජ, ආර්ථික, දේශපාලනික මැදිහත්වීම වෙනුවෙන්.

ඒ පරිවර්තනය වෙනුවෙන් ජනතාව අවදිකරන, ජනතාව පෙළගස්වන ජාතික ජන බලවේගයේ දේශපාලන කඳවුර එක පැත්තක සිටිනවා. අනෙක් පැත්තේ ජනතාව පීඩාවට පත් කළ, ජීවත්වීමට නොහැකි තත්වයක් ඇති කළ ජනතාව යාචකයන් බවට පත්කළ, බෙදන දේශපාලනය ක්‍රියාත්මක කරන, මහජනයාගේ ධනය සොරකම් කරන, දේශපාලනය තිබෙනවා. මේ රට යළි පුබුදුවන නව දේශපාලන ගමනට නායකත්වය දෙන්නේ ජාතික ජන බලවේගයයි.

ඉන්දියාවේදී සුද්දා පලවා හැරීමේ ජාතික ව්‍යාපාරය සුද්දා පලවා හැරීමෙන් පසුව ඉන්දියාව හඳට ගෙනයාම දක්වා ක්‍රියාත්මක වී තිබෙනවා. මේ සියවසේ ලෝකය ගැන පුරෝකථනය කර, ඊට ගැලපෙන ආර්ථික, දේශපාලන, සමාජ පරිවර්තනය ඒ රට, සමාජය තුළ සිදුකළා. අබ්දුල් කලාම් ජනාධිපති වීම, කුලහීන කාන්තාවක් ජනාධිපතිවරියක වීම දක්වා පරිවර්තනයක් සිදුකර ගනිමින් ලෝකයේ පස්වෙනි බලවත්ම ආර්ථිකය බවට ගොඩනංවා තිබෙනවා.

ජපානයේ හිරෝෂිමා, නාගසාකි නගරවලට න්‍යෂ්ටික බෝම්බ හෙළීමෙන් අළුදූවිලි බවට පත්වුණා. ලක්ෂ ගණන් මිනිසුන් මිය ගියා. පැරදීම ජයග්‍රහණය සඳහා පියවරක් බවට පත්කරගෙන ජපානය නැගී සිටියා. අපේ නායකයන්ට එවැනි දැක්මක් නැතිව ඔහේ හිටියා. සුද්දට එරෙහි වුණෙත් ජාතිකත්වය හැටියට බෙදිලා. සුද්දා ගියාට පස්සේ පුරවැසි පනත ගෙනැවිත් කඳුකරයේ ජනතාව අයින්කර දැම්මා.

1956 භාෂා පනත ගෙනත් 1958 කෝලාහල පටන් ගත්තා. 70 අවසානයේ උතුරේ සන්නද්ධ නැගිටීමක් පටන් ගත්තා. 2019 පාස්කු ප්‍රහාරය එල්ල කළා. සුද්දාගේ අතින් පාලන බලය ගත්දා සිට අපි කුළල් කා ගත්තා. අවසානයේ ලෝකයේ හිඟන රාජ්‍යයක් බවට පත්කර විනාශයේ පතුළටම ගිල්වා දැම්මා. මේ තත්වය වෙනස් කරන නව ජාතික පිබිදීමක්, නව ජාතික ඒකාග්‍රතාවයක් අවශ්‍යයි. සිංහල, දෙමළ, මුස්ලිම් අපි එකට එකතු වී මේ චෞර පාලනය පළවා හැරිය යුතුයි. ඉන්දියාව සුද්දාට එරෙහිව එක කොඩියක් යට එකතු වුණා හා සමානව මේ රට විනාශ කළ පාලකයන්ට එරෙහිව අපි හැමෝම එකට එකතු වෙන්න ඕනෑ. විශේෂයෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ සහෝදර මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අපි එකට එක්වී ගැම්මක් අරගෙන පෙරට එන ලෙසයි.

advertistmentadvertistment
advertistmentadvertistment