සියල්ලන් කඳුළේ ගිල්වූ ටයිටැනික් කපිතාන්

91

හොලිවුඩය යනු, සදාතනික පුරාවෘත ගොඩනගන ලද ප්‍රතාපවත් දේශයක් බවට සිනමා ඉතිහාසය සාක්ෂි දරයි. ලෝක සිනමාවේ එතෙක් මෙතෙක් බිහිවූ සුපිරි සිනමා චරිත බොහෝමයකට තෝතැන්නක් වූ හොලිවුඩය නිර්මාණය කරන ලද තවත් සුපිරි අග්‍රගණ්‍ය නළුවකුගේ අවසානය පසුගියදා කඳුළින් සටහන් විය. ඒ බර්නාඩ් හිල් නම් වූ අසහාය රංගන ශිල්පියායි.

1944 දෙසැම්බර් 17 වන දින උපත ලද බර්නාඩ් හිල් පසුගිය මැයි 5 වැනිදා මෙලොවෙන් සමුගන්නා ලදී. මියයන විට 79 වැනි වියේ පසුවූ ඔහු බොහෝ රසික ප්‍රජාවකගේ ආදරය දිනාගත් සෙනෙහෙබර රංගන ශිල්පියකු විය. කතෝලික පවුලකට දාව මැන්චෙස්ටර්හි උපත ලද ඔහු ද්විතීක අධ්‍යාපනයෙන් පසු 1970දී නාට්‍යකරණය පිළිබඳව ඩිප්ලෝමාවක් ද ලබා තිබේ.

සියල්ලන් කඳුළේ ගිල්වූ ටයිටැනික් කපිතාන්

හිල් බෙහෙවින් ජනප්‍රියත්වයට පත් වූයේ ඇකඩමි සම්මාන රැසකින් පිදුම් ලැබූ ටයිටැනික් සහ ද ලෝර්ඩ් ඔෆ් ද රින්ග් යන සිනමාපටයන්හි නිරූපණය කරන ලද කැප්ටන් එඩ්වඩ් ස්මිත් සහ කින් තියෝඩර් ලෙස කරන ලද රංගනයන් නිසාවෙනි. එමෙන්ම 1982 වසරේදී බී.බී.සී. නාලිකාව මගින් විකාශනය කරන ලද Boys from the Black stuff නම් කතාංගයෙහිද කැපී පෙනෙන චරිතයක් නිරූපණය කරනු ලැබීය. මිය යන විට ඔහුගේ ආදරණීයයන් වන පෙම්වතිය ඇලිසන් සහ පුත් ග්‍රේබියල් ඔහු අසල රැඳී සිට ඇති බවත් ඔවුන්ගේ කරුණාව නිසා ඔහුට සාමකාමී මරණයක් ළඟාවන්නට ඇති බවත් බී.බී.සී. නාලිකාව වාර්තා කර තිබුණි. ලෝඩ් ඔෆ් ද රින්ග් චිත්‍රපට මාලාවේ ඔහු සමග චරිත නිරූපණය කළ නළු නිළියන් ඔහු පිළිබඳව මතකය ස්මරණය කරමින් ඔහුට උපහාර දක්වා තිබුණි.

“අපි ඇත්තටම ඔහුට ආදරෙයි. ඔහු විටෙක නිර්භීත චරිතයක්. තවත් විටෙක විහිළු කරමින් සිනාසෙන සැහැල්ලු චරිතයක්. ඒ වගේම ඔහු රළු සහ කෝපාවිශ්ඨ ගති විදහාපාමින් සිය චරිතය සාර්ථක කරගැනීමට කටයුතු කරන්නෙක්. ඇත්තෙන්ම ඔහු සුන්දර හදවතක් සහිත මනුෂ්‍යයෙක්. ඔහු කළ චරිතවලට වෙනත් ආදේශකයක් සිතා ගැනීමටවත් බැහැ. ඔහුගේ මරණය අපව දුකට පත්කළා පමණක් නොව හොලිවුඩයට එය දැරිය නොහැකි පාඩුවක් වනු නොඅනුමානයි.”

සියල්ලන් කඳුළේ ගිල්වූ ටයිටැනික් කපිතාන්

Boys from the Black stuff රචනා කළ ඇලන් හිල්ගේ මරණය පිළිබඳව සිය ශෝකය පළකර තිබුණේ මේ ආකාරයෙනි.

“ඔහුගේ විශ්මයජනක රංගනය අපිව පුදුමයට පත්කරනවා. එය ඒ තරමටම මනරම් රංගනයක්. ඔහු සෑම විටකම සිය උපරිමය චරිතය වෙනුවෙන් ලබාදීමට කටයුතු කරන්නෙක්. කාලයක් තිස්සේ මම ඔහු සමග වැඩ කරන්න ගොඩක් ආසාවෙන් හිටියා. නළුවෙක් විදිහට ඔහු තුළ තිබෙන හික්මීම වෙනත් අයකුගෙන් බලාපොරොත්තු වෙන්න අමාරුයි. අවසානයේ දෙවියන් වහන්සේ ඔහුගේ ආත්මයට සාමකාමී අවසානයක් ලබාදෙනු ඇත.”

මියයන තෙක්ම රංගනය අත්නාහැරි හිල් ඉදිරියේදී විකාශනය වීමට නියමිත මාර්ටින් ෆ්‍රීමන් රංගනයෙන් දායක වන ද රෙස්පොන්ඩර් හි දෙවැනි කතා මාලාවෙන් බී.බී.සී. හරහා නැවත තිරයට පැමිණීමට නියමිතව තිබුණි. වේදිකාව, රූපවාහිනිය මෙන්ම සිනමාව ද දිග්විජය කළ හිල් සිය රංගන ජීවිතයේ කළ කැප කිරීම් සහ දක්ෂතා වෙනුවෙන් අවස්ථා කිහිපයකදීම සම්මානයෙන් පිදුම් ලබා තිබේ. ඔහු සෑම අවස්ථාවකදීම අදාළ චරිතයට අවශ්‍ය පරිදි සිය බාහිර ප්‍රතිරූපය වෙනස් කරගත්තේ රංගනයට ඔහු තුළ තිබෙන කැපවීම මොනවට විදහා පාමිනි.

Boys from the Black stuff කතා මාලාව 1983 වසරේදී හොඳම නාට්‍ය මාලාව සඳහා වන බෆ්ටර් සම්මානය දිනාගත් අතර, 2000 වසරේදී බි්‍රතාන්‍ය චිත්‍රපට ආයතනය විසින් එය මෙතෙක් නිපදවූ හොඳම රූපවාහිනී වැඩසටහන් අතර හත්වැනි ස්ථානය ලබාගන්නා බව නිවේදනය කර තිබේ. එමෙන්ම ඔහු 2015 වසරේදී බී.බී.සී. හරහා විකාශනය වූ නාට්‍ය මාලාවක් වන වුල්ෆ් හෝල් හි ද කැපී පෙනෙන චරිතයක් නිරූපණය කර තිබේ.

පීටර් ජැක්සන්ගේ වීර කාව්‍ය ත්‍රිත්වයේදීම සුපිරි රංගනයක් ලබාදුන් හිල් ඒ ඔස්සේ ප්‍රේක්ෂක මනස තුළ නොමැකෙන සටහනක් තැබීමට සමත් විය. ඔහු කෙතරම් සුපිරි චරිතයක් වූවත්, ලෝකයේ සදාතනික ධර්මතාවයට හිස නැමීමට සිදුවූයේ ප්‍රේක්ෂක හදවත් කඳුළේ ගිල්වමිනි. යුගයක් එකතු කළ මහා රංගධරයාණනි, යළිත් දිනෙක අප යළි හමුවනතුරු ඔබ දෙවියන් වහන්සේ තුළ සමාදානයේ සැතපෙත්වා.

අමිල නුවන් මධුසංඛ
තරිඳු විජේසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment