බිත්තර මිල සහ ෆේස්බුක් මෝඩයෝ

2150

මේ රටේ බඩු මිල කොතරම් වේගයෙන් ඉහළ යන්නේද යත් තව ස්වල්ප කාලයකින් අපට සිදුවනු ඇත්තේ හඳේ තිබෙන කඩවලින් බඩු ගැනීමටය. හඳේ කඩ නැති එක වෙනම කතාවක්. එහෙත් තර්කයක් වශයෙන් ගත් කල අපේ කතාව නිවැරදිය. දැනට මේ රටේ තිබෙන උද්ධමනය 40% කි. එය ඉදිරියේදී 100% ඉක්මවා යෑමට නියමිතය. එවිට කිසි කරදරයක් නැතිව පෙට්‍රල් ලීටරය රුපියල් 1000 ඉක්මවා යනු ඇත. පාන් රාත්තලක් රුපියල් 250 ක් වනු ඇත. හාල් කිලෝවක් රුපියල් 500 ක් මිල වනු ඇත. මීට අවුරුදු තුනකට පෙර රුපියල් 87 ක් වූ සූඩයන් කිලෝව අද රුපියල් 760 කි. ලොකු මාළුන් අතරින් මිල අඩුම මාළු ලෙස හඳුනාගෙන තිබූ ලින්නා කිලෝව රුපියල් 1250 කි. බිත්තරයක් රුපියල් 45 කි. බිත්තර මිල ඉහළ යෑම සම්බන්ධයෙන් අලුත් තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ෆේස් බුක් එකේ රජ කරන හරක් රැළක් බිත්තර වර්ජනය කිරීම සඳහා ව්‍යාපාරයක් දියත් කර ඇත. මෙයින් සිදුවිය හැකි විපත මේ මෝඩ රැළට නොතේරේ. බිත්තරයක් රුපියල් 45 ක් වී ඇත්තේ රුපියල් 5000 ට තිබූ කුකුළු කෑම මිටිය රුපියල් 45,000 ක් වූ බැවිනි. බිත්තර වර්ජනය කළ විට බිත්තර ටික අඩු මිලට විකුණා දමා තම තොග අවසන් කර සිටින කුකුළන් හා කිකිළියන් සියලුදෙනාම මරා ඒවාත් විකුණා දමා කුකුළු ෆාම් වසා දැමීමට ෆාම් හිමියන් පියවර ගන්නවා ඇත. එහිදී සිදුවන්නේ බිත්තර සහ කුකුළු මස් පිටරටින් ගෙන්වීමට සිදුවීමයි. බිත්තර පිටරටින් ආවොත් රුපියල් 45 ට බිත්තර මිලට ගැනීමට නොහැක. එවිට කුකුළු මස් කිලෝවක් රුපියල් 2000 ක් වත් වීමට ඉඩ තිබේ. මෙහිදී අපට දේශපාලන ක්‍රමෝපායක් අනුගමනය කළ හැකිය. ඒ වූ කලී ශ්‍රී ලංකාව අවුරුදු 2500 ක බෞද්ධ ඉතිහාසයක් ඇති රටක් වන බැවින් නිර්මාංශ ආහාර ප්‍රතිපත්තියකට මාරුවීමය. එහෙත් මෙවැනි බොරු සදාකාලිකව කිරීමට නොහැක.

රසායනික පොහොර ගැනීමට සල්ලි නැති වූ විට ආණ්ඩුව කළේ තකහනියේම කාබනික පොහොරවලට මාරු වීමයි. මේ රටේ මහපොළොව ගත වූ අවුරුදු 50 තුළ කාබනික පොහොර දැකලාවත් නැත. මහපොළොව පුරුදු වී ඇත්තේ රසායනික පොහොරවලට පමණි. අපේ කුස හඳුනන්නේ ද රසායනික පොහොරවලින් නිපදවූ එළවළු වර්ග පමණි. කාරණය කවරක් හෝ වේවා පසුගිය මහ කන්නය කාබනික පොහොර කෙළිය නිසා සම්පූර්ණයෙන් ම අසාර්ථක විය. ආණ්ඩුවට පන්දම් අල්ලන ඇතැම් හොරු කාබනික පොහොර දමා සාර්ථක වූවේ යැයි කියන කුඹුරු යායවල්පිටින් රූපවාහිනියේ ප්‍රදර්ශනය කළහ. එහෙත් ඒවා වගාකර තිබුණේ රාත්‍රි කාලයේ රසායනික පොහොර යෙදීමෙනි. කෙසේ හෝ වේවා අවසන් ඵලයේදී හාල් පිටරටින් ගෙන්වන තත්ත්වයක් ඇති විය. එළඹෙන යල කන්නයේදී ද මෙයම සිදුවන බව පෙනේ. මේ වන විට බොහෝ රටවල් රසායනික පොහොර පිටරට යවන්නේ නැත. එයට හේතුව ලෝකයේ දැනට පවතින මූල්‍ය අර්බුදය හේතුවෙන් රසායනික පොහොර සෑදීම සඳහා අමුද්‍රව්‍ය සපයා ගැනීමට ඔවුන්ට හැකි නොවීමය. අනෙක් අතට රසායනික පොහොර තිබුණත් ඒවායේ මිල ගණන් අතිශයින් ඉහළය.

යල කන්නය සඳහා රසායනික පොහොර ලබා ගැනීමට නොහැකි බැවින් කල් බල බලා නොසිට කුඹුරට බැස වැඩ කරන්නැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පසුගියදා රූපවාහිනිය ඔස්සේ සිනාසෙමින් කියන අයුරු අප විසින් දක්නා ලදී. මෙය දේශපාලනඥයන්ට විකට රසය ගෙන දෙන මාතෘකාවක් විය හැකිය. මහින්ද අමරවීර ගොවිතැන් කරන බවක් අප දන්නේ නැත. ඔහුට රසායනික පොහොර අවශ්‍ය ද යන්න ගැන ද අප දන්නේ නැත. එබැවින් රසායනික පොහොර ප්‍රශ්නය ඔහුට විහිළුවකි. අපට එය ජනතාවගේ කුසගින්න පිළිබඳ ප්‍රශ්නයකි.

මෙයට කලකට පෙර කිරිපිටි කිලෝව රුපියල් 945 ට තිබිණ. ඊළඟට එය රුපියල් 1300 ක් විය. ඉන් පසු 1900 ක් විය. ඊට පසු රුපියල් 2545 ක් විය. අද මේ කියන රුපියල් 2545 කිරි වෙළෙඳසල්වල නැත. ඒ වෙනුවට ඇත්තේ කිලෝව රුපියල් 2800 ක් වූ කිරි වර්ගයකි. ඊට අමතරව කිරිපිටි 50% ක් සහ සීනි 50% ක් මිශ්‍ර කළ කිරිත් නොවන සීනිත් නොවන පිටි ජාතියක් වෙළෙඳපොළේ තිබේ. මේ දෙකටම නැති ජාතිය විකුණන්නේ ද කිලෝව රුපියල් 2545 ට ය. මේ රටේ මේ මොහොතේ දී කිසිදු ආකාරයක මිල පාලනයක් නැත. මිනිස්සු හිතූ හිතූ ගණන්වලට බඩු විකුණති. මේ දිනවල පවත්නා ආර්ථික අර්බුදයේ සුපිරි ජයග්‍රාහකයෙක් සිටී. ඒ වූ කලී සිල්ලර වෙළෙන්දා ය. ගෑස් විකුණන ඇතැම් සිල්ලර වෙළෙඳ අලෙවි නියෝජිතයෝ ගෑස් ටැංකිය රුපියල් 9000 ටත් විකුණති. ඉතා කලාතුරකින් මේ අය අත්අඩංගුවට ගනු ලැබේ. කොතරම් හිඟ වුවත් ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල් යන තුනම වැඩි මිලට ලබා ගැනීමට පුළුවන. ආණ්ඩුව මොන තරම් බයිලා කිව්වත් පිටරටින් ගෙන්වන ඇපල්, මිදි, පෙයාර්ස්, දොඩම්, කිවිපෘට් යනාදිය සුපර් මාර්කට්වල පිරී ඉතිරී යයි. මේවා ගේන්නේ ඩොලර්වලින් නොවෙයිද? ඉතාම පුදුම තත්ත්වය නම් මේ සුඛෝපභෝගී පලතුරු මිලට ගත හැකි ස්ථරයක් ද මේ රටේ සිටීම ය. ඒ අනුව පෙනී යන්නේ මේ රටේ ආදායම බෙදීයෑමේ විෂමතාව ඉතාම නරක තත්ත්වයකට පත්ව ඇති බවය. මෙයට අවුරුදු 40 කට පෙර ෆර්ඩිනන්ඩ් මාර්කෝස් නමැති ඒකාධිපති පාලකයා පිලිපීනය පාලනය කළ කාලයේදී ඒ රටේ සමස්ත ආදායමෙන් 75% ක් බෙදී ගොස් තිබුණේ පවුල් 600 ක් අතරය. ඒ රටේ ඒ වනවිට පවුල් මිලියන 5 ක් පමණ තිබිණ. අපේ රටේ නූතන තත්ත්වය පිලිපීනයේ එදා තත්ත්වය හා සම වන බව පෙනේ.

advertistmentadvertistment
advertistmentadvertistment