සිසුන් දෙදෙනකු අතර වූ ආරවුලකින් සිසුවකු මියයෑම: ක්‍රිකට් තරගය මැද ආරවුල ඝාතනයට මුල්වෙලා

591

සැකකාර සිසුවා රිමාන්ඩ්

හම්බන්තොට සාමෝදාගමදී හම්බන්තොට පාසල් දෙකක ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකු අතර පරණ කෝන්තරයක් මත ඇති වූ බහින් බස්වීමක් දුරදිග යෑමෙන් ඇති වූ ගැටුමකදී සිදුකළ පහරදීමකින් එක් සිසුවකු ඊයේ (06 දා) සවස මියගොස් ඇතැයි හම්බන්තොට මූලස්ථාන පොලිසිය පවසයි. මෙහිදී අත්අඩංගුවට ගත් සැකකාර සිසුවා හම්බන්තොට මහෙස්ත්‍රාත් ඕෂධ මිගාර මහරච්චි මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 20 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස නියෝග කෙරිණි.

මෙලෙස මියගොස් ඇත්තේ හම්බන්තොට සහිරා විද්‍යාලයේ ඉගෙනුම ලබන ආබොක්ක, හම්බන්තොට පදිංචි මොහොමඩ් ෆයිරෝස් ආනිෆ් අහමඩ් නමැති 15 හැවිරිදි සිසුවෙකි.

මියගිය සිසුවා හා පහරදීම සිදුකළ බව කියන සිසුවා අතර ක්‍රිකට් තරගයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මෙම පහරදීමට හේතුව බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මියගිය සිසුවා පෙරේදා (05 දා) සාමෝදාගම පිහිටි උපකාරක පන්තියකට යමින් සිටියදී මෙම පහරදීම සිදුකර තිබේ.

පහරදීම සිදුකළ බව කියන සිසුවාද මේ වන විට හම්බන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හම්බන්තොට ආරබොක්ක ප්‍රදේශයේම පදිංචි 17 හැවිරිදි පාසැල් සිසුවෙකි. අත්අඩංගුවට පත් සිසුවා සිය පියාට අයත් ත්‍රිරෝද රථයකින් සාමෝදාගම ප්‍රදේශයට පැමිණ මරණකරු හා බහින් බස්වීමක් ඇති වී තිබේ. එහිදී සිදුකළ පහරදීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්ව ඇති මියගිය සිසුවා කඩිනමින් හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ. රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු සිසුවා මියගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වූ මහෙස්ත්‍රාත් පරීක්ෂණය හම්බන්තොට මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඕෂධ මිගාර මහආරච්චි මහතා විසින් ඊයේ (06 දා) පෙරවරුවේ පැවැත් වූ අතර සිරුර හම්බන්තොට මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා හම්බන්තොට පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයාට නියෝග කෙරුණි. සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති සිසුවා හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතාගේ උපදෙස් පරිදි හම්බන්තොට මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

මත්තල – දිලීප් එන්. ජයසේකර සහ සූරියවැව – රොෂාන් ගුණසේකර

advertistmentadvertistment
advertistmentadvertistment