සීගිරි රාජධානියේ හැදෙන සිංහබාහු

387

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතාගේ නවතම සිනමා ආමන්ත්‍රණය වන සිංහබාහු චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගියදා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කරනු ලබන මෙම සිනමා නිර්මාණයේ ජැක්සන් ඇන්තනී සිංහයා ලෙසින්ද යශෝධා විමලධර්ම සුප්පා දේවි, සජිත ඇන්තනී සිංහබාහු, අකිල ඇන්තනී සිංහයා (තරුණ), දුෂේනි සිල්වා සිංහ සීවලී, සිනෙති අකිලා පබසරා, අශාන් ඩයස් වංග රජතුමා, කුමාර තිරිමාදුර ගැල්කරු, සරත් කොතලාවල කට්ටඬියා, ගිරිරාජ් කෞෂල්‍ය වෙදරාල, ලලිත් ජනකාන්ත පුරෝහිත, ජයන්ත මුතුතන්ත්‍රී අණබෙර කරු, සමන්ත මංජුල කට්ටඬි ගෝලයා, රදීන් රන්දිව් සිංහබාහු ළමා, සංයුමි නිම්නාදි සිංහ සීවලී ළමා ලෙසින් රංගනයෙන් දායක වේ.

 මෙහි වේෂ නිරූපණයෙන් විදුර අබේධීර, ඇඳුම් නිර්මාණය රමේෂා ඕෂනී, පසුතල සහ මෙවලම් සැලසුම් ප්‍රසන්න වී්රක්කොඩි, දෘෂ්‍ය ප්‍රයෝග රවීන් වෙත්තසිංහ, කලා අධ්‍යක්ෂණය ජානක ප්‍රසාද්, සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය සමන් පනාපිටිය, වර්ණ සංයෝජනය ආනන්ද බණ්ඩාර, සංස්කරණය අජිත් රාමනායක, සහාය අධ්‍යක්ෂණය චාමර සේලාර, කැමරා අධ්‍යක්ෂණය විශ්ව බාලසූරිය, විධායක නිෂ්පදනය රේණුකා බාලසූරිය, නිෂ්පාදනය ජෙබ්ස් සිනේ ෆිල්ම්ස් ප්‍රඩක්ෂන් වෙනුවෙන් ගාමිණී වික්‍රමසිංහ සහ රේණුකා බාලසූරිය විසින් සිදුකරනු ලැබේ. තිර රචනය සහ අධ්‍යක්ෂණය ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගෙනි.

 සිංහබාහු සිනමා නිර්මාණය සිදුකිරීමට මූලික වුණ හේතුව ගැන මෙලෙස පවසා සිටියා.

සීගිරි රාජධානියේ හැදෙන සිංහබාහු



 ජනප්‍රවාදයේ පවතින ජනකතාව සහ අපි දන්න ප්‍රබන්ධය කිසියම් කෙනෙක් විසින් රචනා කරපු මනඃකල්පිත රචනයක් නෙමෙයි. ඒ නැතිව ඉතිහාස වාර්තාවකුත් නෙමෙයිනේ. නමුත් ඒක මහාවංශයටත් ඇතුළු වෙලා දැනට අපි කවුරුත් දන්නා බොහොම හුරුපුරුදු කතාවක් තමයි සිංහබාහු කියන්නේ. මේක ආශ්‍රිතව නිර්මාණ බොහොමයක් සිදුකෙරුණා. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් පවා සිංහබාහු කළේ ඒ ආශ්‍රිතව තමයි. එයාගේ අර්ථකථනය ඒක. එතකොට මම හිතනවා අපේ සිංහල ජාතිය පවතින්නේ විජය රජ්ජුරුවන්ගෙන් නම් විජය රජ්ජුරුවන්ගේ සීයානේ සිංහයා කියන්නේ. ඒ කියන්නේ සිංහයා කියන්නේ සිංහබාහුගේ තාත්තා. සිංහබාහුගේ දරුවෝනේ විජය රජ්ජුරුවෝ. එතකොට අපි හොයාගෙන ගියහම සිංහල ජාතිය අපිට කියන විදිහට පවතින්නේ

 තිරිසනකුගෙන්. සිංහයා වුණත් කැලේ සතෙක්නේ. ඒ එක්තරා විදිහකට සිංහල ජාතිය හැටියට අපිට තියෙන බ්ලැක්මාර්ක් එකක්. තිරිසනකුගෙන් පවතින පරම්පරාවක් වෙනවා අපි. ඒක ඇත්තක් නම් කමක් නැහැ. ඇත්තක් නෙමෙයි ඒක බොරුවක්නේ. කවුරුහරි ප්‍රබන්ධ කරපු මනඃකල්පිතයක්. ඒක ජීව විද්‍යාත්මකවත් වෙන්න බැරි දෙයක්. තිරිසන් සතෙක් සහ මනුස්ස දුවක් අතර දරුවෝ උපදින්නේ නැහැ. ඕනෑම කෙනෙකුට එහෙම කතාන්දර හදන්න පුළුවන්. නමුත් ඒක සත්‍ය නෙමෙයි. ඉතිං මේක මගේ අර්ථකථනය අනුව ඒක මම වෙනස් කරනවා.

 සිංහයා කියන්නේ කැලේ හිටපු ගෝත්‍රික රජෙක්. මනුස්සයෙක්. ඒ වගේම තමයි අපිට හුරුපුරුදු කතාවේ සිංහයාගේ දරුවෝ දෙන්නෙක් තමයි සිංහයා සහ සිංහ සීවලී කියන්නේ. එතකොට ඒ දෙන්න අයියයි නංගියි. එතකොට අපිට දීලා තියෙන කතාවේ හැටියට අයියයි නංගියි දෙන්නගෙන් තමයි විජය රජ්ජුරුවෝ හැදෙන්නේ. එතකොට ඒ දෙන්නා අතරේ විවාහයක්. ඒකත් සාමාන්‍යයෙන් ජීව විද්‍යාත්මකව වැරදියි. සහෝදර සහෝදරියන් විවාහ වී ඔවුන්ගෙන් ලැබෙන දරුවෝ. එතකොට එතැනත් ජීවවිද්‍යාත්මකව ප්‍රශ්නයක්. ඒකත් මම නිවැරදි කරලා තියෙනවා. එතකොට ඒක මගේ අර්ථකථනයේදී සිංහයා කියන්නේ මනුස්සයෙක් කියන එකත් සිංහබාහු සහ සිංහසීවලී කියන්නේ අයියයි නංගියි නොවේ කියන එකත් මම කියනවා. ඒක මගේ අර්ථකථනය. මේක මගේ චිත්‍රපටය. ඒක තමයි සාමාන්‍යයෙන් මේකට ආපු වස්තුබීජය.

සීගිරි රාජධානියේ හැදෙන සිංහබාහු



 ඇත්තටම අපි වැඩි කාලයක් ගත කළේ දර්ශන තලවලට. සාමාන්‍යයෙන් මම මගේ අනෙක් චිත්‍රපටවලටත් දර්ශනතල වෙනුවෙන් විශාල මහන්සියක් වෙනවා. ලංකාවේ තියෙන උචිතම තැන් හොයන්න. මම හිතනවා සිංහබාහු දර්ශනතල හොයන්න තමයි මම මගේ අනෙක් චිත්‍රපටවලටත් වැඩිය මහන්සි වෙන්නේ. මේක බොහෝ දුරට වනාන්තරයේ තමයි රූගත වෙන්නේ. ඒකට උචිත වනාන්තර ගල් ලෙන් හොයමින් අවුරුද්දක් විතර කාලයක් ගත කළා. ඒ අනුව දැන් අන්තිමට තීරණය කරලා තියෙන සීගිරිය අවට තියෙන කළුදිය පොකුණ කියන වනාන්තරය අපි භාවිතා කරනවා. තඹුත්තේගම පිහිටි හත්තිකුච්චි කියන පුරාවස්තු සහිත භූමියක් තියෙනවා. මේක ඔක්කොම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ තියෙන වනාන්තර. සිංහයාගේ ලෙන අපි ඉදිකරන්නේ හත්තිකුච්චි වනාන්තරයේ.

 ජැක්සන් ඇන්තනි සිංහබාහුට තෝරා ගැනීමේ විශේෂ හේතුවක් තියෙනවා. මොකද ජැක්සන් ඇන්තනිගේ රංගන ප්‍රතිභාව ගැන මම බොහොම පැහැදිලා ඉන්නේ. අනෙත් එක මගේ මේ නිර්මාණය පොඩි නාට්‍යරූපී ස්වභාවයකට තමයි ගලාගෙන යන්නේ. වේදිකාව පිළිබඳව කිසියම් දැනුමක් තියෙන සාහිත්‍ය පිළිබඳ දැනුමක් තියෙන ඓතිහාසික සිදුවීම් පිළිබඳ දැනුමක් තියෙන නළුවෙක් පාවිච්චි කිරීම මේ නිර්මාණය හුඟාක් දුරට සාර්ථක වෙනවා. ඒ නිසා මම හිතනවා ජැක්සන් ඇන්තනී හැර මේ සිංහයාගේ චරිතය කරන්න වෙන නළුවෙක් මගේ හිතට එන්නේ නැහැ. වෙන ඇති. නමුත් මට හුඟාක් පහසුයි ජැක්සන් එක්ක වැඩකරන එක. ඒත් එක්කම මේකේ තියෙන විශේෂත්වය තමයි ජැක්සන්ගේ දරුවෝ දෙන්නම මේ චිත්‍රපටයේ රඟපෑම. සජිත සහ අකිල. ඒ දෙන්නම සිනමාවට හඳුන්වා දුන්නෙත් මම. සජිත ආවේ සූරිය අරණේ පොඩි ළමයෙක් විදිහට. අකිල ආවේ සිරිපැරකුම් රජ්ජුරුවෝ විදිහට. අනෙක් කාරණාව තමයි අකිල රඟපාන්නේ ජැක්සන්ගේ තරුණ කාලයට. එයාගේම දරුවා වීම නිසා ඒකේ සමානත්වයක් තියෙන නිසා නිවැරදියි. ඒ වගේම සජිත රඟපාන්නේ සිංහයාගේ දරුවා. සිංහබාහු. ඒ හැඩරුව සහ ඒ ගතිපැවතුම් සහ විලාසයන් තියෙන නිසා ඒක හුඟක් දුරට සාර්ථක වෙනවා.



 දිනේෂ් විතාන

 ඡායාරූප හසිත නිලුපුල්

advertistmentadvertistment
advertistmentadvertistment