සීමා නිර්ණ බම්බුව

669

අප රටේ පළාත් පාලන ඡන්දය පැවැත්වීම බාලගිරිදෝෂයට හසුවී නන්නත්තාර වී ඇති මොහොතක ඊට පෙර යහපාලන කාලයේදී පැවැති එම මැතිවරණය දෙස බැලූ කල්හි මේ නන්නත්තාර වීම එම කල්හි සිටම ආරම්භ වූ ආකාරය පෙනෙන්නට තිබේ. කොට්ඨාස ක්‍රමය ආදේශ කර පැවැති එම ඡන්දයේදී සතුටුවීමට පුළුවන් වූ ප්‍රධානතම කාරණයක් වූයේ මනාප ක්‍රමය නොමැති වීමය. එහෙත් ඒ වෙනුවට එම ඡන්දයේදී අර්බුද රැසක්ම නිර්මාණය වූ බව නොරහසකි. කොට්ඨාස ක්‍රමය ගැන මහ ඉහළින් කතා කළ හැකි වුවත් පැරදුණු අපේක්ෂිකාවන්ට කාන්තා නියෝජනය යටතේ බෝනස් මන්ත්‍රීධුරයක් හිමිවීම එහි අර්බුදයක් ලෙස සැලකිය හැකිය. එම ඡන්දයේදී පොහොට්ටුවට විශිෂ්ට ජයක් ලැබී එහි නියෝජිතයන් සභාපතිවරුන්, මන්ත්‍රීවරුන් ලෙස පත් වෙද්දී ඔවුනගේ කොට්ඨාසයන්ගෙන් තරග වැදී පොහොට්ටු අපේක්ෂකයන් ඉදිරියේ අන්ත පරාජයක් ලැබූ කාන්තා අපේක්ෂිකාවන්ටද පළාත් පාලන ආයතන තුළට රිංගා ගැනීමට අවස්ථාව සැලසිණි. ඒ ආකාරයට අඩුපාඩු සහිතව පළාත් පාලන ඡන්දය පවත්වාගත හැකි වුවද ඉන් මනත අපේ රටේ පළාත් පාලන ආයතනයක් සඳහා ඡන්දයක් මේ මොහොත වනතුරුත් පවත්වා නැති අතර එම ඡන්දය කවදා පවත්වන්නේ දැයි කියා හා හූවක්ද නොමැත. එහෙත් ජනාධිපතිවරයා සර්ව පාක්ෂික සමුළුද කැඳවා බලය බෙදීම ගැන කතා කරයි. එහෙත් ඡන්ද නැත. බලය ලබා දෙන්නට නම් ඉස්සෙල්ලා පළාත් සභා ඡන්දය පැවැත්විය යුතුය. ඉන් පසුව පළාත් පාලන මැතිවරණය පවත්වා අවශ්‍ය නම් හදිසි ජනාධිපතිවරණයක් පැවැත්විය හැකිය. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ප්‍රධානතම බාධාව වූයේ සල්ලි ප්‍රශ්නයයි. ඊට අමතරව ජනාධිපති විසින් මහින්ද දේශප්‍රියගේ සභාපතිත්වයෙන් යුතුව පත් කළ සීමානිර්ණ කමිටුවේ වාර්තාව ප්‍රමාද වීමද තවත් අතුරු කරුණක් ලෙස සලකමු. එහෙත් ඒ සම්බන්ධයෙන් ලැබුණු අලුත්ම ප්‍රවෘත්තිය වූයේ එම කමිටුවේ අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවය. සීමා නිර්ණය උදෙසා පත් කළ කමිටුව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවේ කරුණු සහ ඔවුන් යෝජනා කර ඇති නව ක්‍රමවේදය හේතුවෙන් සංහිඳියා ක්‍රියාදාමයට දැඩි බලපෑමක් එල්ල වන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

ඔහු කියන ආකාරයට සංහිඳියාවටද බාධාවක් වන්නේ නම් පළාත් පාලන ඡන්දය පවත්වන්නම බැරිය. මොකද සංහිඳියාවට බාධා වන්නේ නම් ඉදිරි ජනාධිපතිවරණයට ද එය බලපාන බැවින් දැන් කළ යුත්තේ මහින්ද දේශප්‍රියගේ එම නිර්ණය බම්බුව ඉරා දමා හෝ එවැන්නක් තිබුණේම නැතැයි කියා අමතක කර දැමීමය. හැබැයි ජනාධිපතිවරණයට නම් ඔය නිර්ණ කතා වැදගත් වන්නේම නැත. මන්ද යත් ජනාධිපතිවරණයකදී මුළු රටම එක් ඡන්ද කොට්ඨාසයක් බවට පත්වන බැවිණි. ඒ නිසා සීමා මායිම් වැට කඩුලු ගැන නොසිතා ජනාධිපතිවරණයක් නම් කැඳවීමේ පහසුව අප අභියස තිබේ. ජනාධිපති රනිල් ද ඉතාම කැමැත්තෙන් ඇත්තේ ඔඩොක්කුවට වැටුණු ජනාධිපති ධුරය ඡන්දයකින් වඩාගෙන රට කරවන්නටය. ඒ වෙනුවෙන් ඔහු අල්කුරාණය ගැන කතා කරයි, දෙමළ දේශපාලනඥයන් කැඳවා ඒ ඒ පළාත්වල සංවර්ධනය ගැන සිහින පෙන්වයි, සර්ව පාක්ෂික සමුළු කැඳවා බලය බෙදීම ගැන 13 වැනි සංශෝධනයේ හොඳ නරක කියයි. පිටි මිල අඩු කර වතු ජනතාව ගැනත් බලයි. එසේ නම් සීමා නිර්ණ කමිටුවට දැන් ඇත්තේ වෙනතක් බලා ගෙන තවත් වාර්තාවක් හෝ දෙකක් ආණ්ඩුවට හොඳයි කියා සිතෙන වේලාවකට භාර දීමය. අප නම් සිතන්නේ ඒ සඳහා හොඳම වේලාව එන්නේ ලබන වසරේ මුලදී හෝ ඉන් පසු කාලයකදී බවය. මන්ද සීමා නිර්ණ කමිටු වාර්තා ගෙන ඉන් පත්වන සභිකයන් හෝ ඔවුන්ට අදාළ බල ප්‍රදේශ ගැන සිතනවාට වඩා වෙනත් ජාතික තලයේ කතාන්දරයක් ගොතා ගැනීමටය. ඒ වෙනුවෙන් ආණ්ඩුවට මේ සීමා නිර්ණ කමිටු වාර්තා පොජ්ජෙන් පලක් ඇත්තේම නැත. මේ කරුණු කාරණා ගැන මීට වඩා යමක් කියනවාට හෝ ඒ පිළිබඳ විග්‍රහයක් කරනවාට වඩා පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කළ කරුණක් උපුටා දැක්වීම ම ප්‍රමාණවත්ය. ඔහු කියා ඇත්තේ ලබන වසරේදී නියත වශයෙන්ම ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවය. එසේ නම් සීමා නිර්ණ කිරිම බම්බු ගහන්නද? එහෙනම් දැන් ඇත්තේ වෙන දෙයක් බලාගෙන හිඳ ඒ ඒ පක්ෂවලට ජයවේවා කීමට පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment