උපාලි පදනමේ සමාජ සද්කාර්යයකි
හෙට දිනන පරපුරට සවියක් වූ විදුලිය
උපාලි පුවත්පත් සමාගමේ අධ්‍යාපනික පුවත්පතක් වන සුජය ශිෂ්‍යත්ව පුවත්පත මූලිකත්වයෙන් සිලෝන් චොකලට් සමාගම (කැන්ඩොස්) අනුග්‍රාහක දායකත්වයෙන් දීපව්‍යාප්තව සංවිධානය කරනු ලබන ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ දහසය වැනි ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය නාවුල සංස්කෘතික මධ්‍යස්ථානයේදී පසුගිය දා (16 වැනි දා) පැවැත්වුණි.
දැනුමෙන් පිරිපුන් දරුවන් පිරිසක් අනාගතයට දායාද කිරීමේ උතුම් පරමාර්ථය පෙරදැරිව කටයුතු කරන උපාලි පුවත්පත් සමාගමේ සුජය ශිෂ්‍යත්ව පුවත්පතේ මෙම සත්කාරය සාර්ථක කර ගැනීම සඳහා නාවුල නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අයි. යූ. වීරවර්ණ මහතාගේ අනුමැතියද, නාවුල නාලන්ද සුදර්ශි ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති කේ. ඒ. නිමල් කණහැරආරච්චි මහතාගේ මූලිකත්වය ද, නාවුල නාලන්ද සුදර්ශි ප්‍රාථමික විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ සහයෝගය ද ලැබුණි.
මෙම සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය පාසල් රැසක දරු, දැරියන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.
දරුවන්ගේ දැනුම, කුසලතාවය සහ ධාරිතා සංවර්ධනය උදෙසා සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව පැවැත්වෙන අතර, ශිෂ්‍යත්ව විභාගය සඳහා දරුවන් හුරු කරවීමට පෙරහුරු ප්‍රශ්න පත්‍ර I හා II සාකච්ඡා කිරීම මෙන් ම විදුලිබලය සංරක්ෂණ පුනර්ජනනීය බලශක්තිය, විදුලි ආරක්ෂණ ක්‍රමවේද හා විදුලිය බෙදාහැරීමේ ක්‍රියාවලිය පිළිබඳ ව ද මෙහි දී දැනුවත් කිරීම් සිදු කෙරිණි.
මෙම සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයේ දී 5 ශ්‍රේණියේ පරිසරය විෂයයේ ඇති ආරක්ෂාව හා පරිස්සම‘ පාඩමේ ඇතුළත් විදුලිබලය පිළිබඳ අවබෝධයක් ලබාදෙමින් ඒ සම්බන්ධ ප්‍රශ්න කිහිපයක් ද දරුවන් ගෙන් අසන ලදී. ජල විදුලියේ පියා කවුද යන ප්‍රශ්නයට ඩී. ජේ. විමලසුරේන්ද්‍ර මහතා යැයි පිළිතුරු දුන්නේ ශ්‍රී නාග ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ යෙනුලි මෙත්පාලි පෙරේරා ශිෂ්‍යයාවයි. තාප විදුලි බලාගාරය පිහිටියේ කොහේ ද යන ප්‍රශ්නයට මප/නා/ නාලන්ද සුදර්ශි ප්‍රාථමික විද්‍යාලයේ සඳමිණි කෞෂල්‍යා ශිෂ්‍යාව නොරොච්චෝලේ යන පිළිතුර ලබාදුන්නා ය. නිවසට විදුලි බිල රැගෙන එන පුද්ගලයා කවුද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මනු කියවන්නා යන පිළිතුර ලබාදුන්නේ මප/නා/ මේල්පිටිය මහා විද්‍යාලයේ කිතුජ මින්දිව් ජයසුන්දර ශිෂ්‍යයා යි. පුද්ගලයෙකුට විදුලිසර වැදුණුවිට කළ යුත්තේ කුමක් ද යන ප්‍රශ්නයට පිළිතුර ලබා දෙමින් මප/නා/ බොබැල්ල ප්‍රාථමික විද්‍යාලයේ සෙහස් සෙත්මිත අධිකාරි ශිෂ්‍යයා කියා සිටියේ දණ්ඩක් ආධාරයෙන් පුද්ගලයා හා විදුලිය අතර සම්බන්ධතාවය බිඳ දැමිය යුතු බවයි . මප/ නා/ මොන්ටිගොපල්ලව මහා විද්‍යාලයේ දිනායා සනුදිනී ශිෂ්‍යයාව ගෙන් අසන ලද ප්‍රශ්නය වූයේ නිවසේදී විදුලිසර වැදිය හැකි අවස්ථාවක් නම් කරන්න යන්නයි. ඒ සඳහා ඇය ලබා දුන් පිළිතුර වූයේ අනාරක්ෂිත විදුලි රැහැන් ඇල්ලීමෙන් නිවසේදී විදුලිසර වැදිය හැකි බවයි.
මෙදින සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයට සමගාමීව දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධව දෙමව්පියන් දැනුම්වත් කිරීමේ දේශනයක් ද පැවැත්විණි. දරුවන් ගැන නිරතුරුව ම අවධානයෙන් සිටීමෙන් දරුවන්ට සිදුවන බොහෝ විපත්වලින් ඔවුන්ව ගලවා ගතහැකි බවත්, එමෙන් ම මව්වරු තමන්ගේ ආරක්ෂාව සලසා ගතයුතු ආකාරය පිළිබඳවත් මෙහි දී සාකච්ඡාවට බඳුන්විය. තවද විදුලිබලය අරපිරිමැස්මෙන් භාවිත කළ යුත්තේ ඇයි ද යන්නත්, විදුලියෙන් සිදු වියහැකි අනතුරු වළක්වා ගතහැකි ආකාරය පිළිබඳවත් මෙහි දී තවදුරටත් සාකච්ඡා කෙරුණි.
මෙදින සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයට නාවුල කලාප අධ්‍යක්ෂ අබේවර්ධන, ගුරු උපදේශක (ප්‍රාථමික) තිලක් රත්නායක, සම්පත්දායක (ප්‍රාථමික) ඊ. එම්. එස්. ගුණරත්න, නාලන්ද සුදර්ශී ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති කේ. ඒ. නිමල් කණහැරාඅරච්චි , ශ්‍රී නාග ජාතික පාසලේ විදුහල්පති මහින්ද හෙට්ටිආරච්චි, සංස්කෘතික මධ්‍යස්ථානාධිපති කුසල් දේවප්‍රිය උතුරු මැද පළාතේ කැන්ඩොස් ප්‍රාදේශීය කළමනාකාර චානක බණ්ඩාර ලියන්ගොල්ල, සුජය ශිෂ්‍යත්ව පුවත්පතේ උප කර්තෘ චන්දිමා විතාරණ යන මහත්ම, මහත්මීන් සහ නාවුල නාලන්ද සුදර්ශි ප්‍රාථමික විද්‍යාලය ඇතුළු ආරාධිත පාසල්වල ගුරු මහත්ම , මහත්මීන් ද සහභාගි වූහ.
මෙම සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයේ දේශනය මෙහෙයවීම කොළඹ ආනන්ද, විශාඛා, ඉසිපතන යන විද්‍යාලයන්හි හිටපු ආචාරිණී ගංගා සුභාෂිණි බ්‍රාහ්මණ ගුරුතුමිය විසින් සිදු කරන ලද අතර, දෙමව්පියන් දැනුම්වත් කිරීමේ දේශනය කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සොකො පුහුණු අංශයේ ස්ථානාධිපති හා කථිකාචාර්ය , කැලණිය , ජයවර්ධනපුර , දියතලාව ආරක්ෂක විශ්වවිද්‍යාලවල බාහිර කථිකාචාර්ය , පොලිස් පරීක්ෂක චාමර විජේරත්න මහතා විසින් සිදු කරන ලදී.
මෙම සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය උපාලි විජයවර්ධන පදනමේ සමාජ සද්කාර්යයකි.
රසිකා බස්නායක
ඡායාරූප – සුජාතා ජයරත්න