සුජය-කැන්ඩොස් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව – පො/දියසෙන්පුර මහා විද්‍යාලයේ සම්මන්ත්‍රණය

19

උපාලි පදනමේ සමාජ සද්කාර්යයකි
රටත් ජීවිතත් ආලෝකමත් කරන විදුලිය

උපාලි පුවත්පත් සමාගමේ සුජය ශිෂ්‍යත්ව පුවත්පත මූලිකත්වයෙන් සහ සිලෝන් චොක්ලට් සමාගම (කැන්ඩොස්) අනුග්‍රාහක දායකත්වයෙන් දීපව්‍යාප්තව පවත්වන සම්මන්ත්‍රණ මාලාවේ 21 වැනි සම්මන්ත්‍රණය පො/දියසෙන්පුර මහා විද්‍යාලයේදී පසුගිය 27 වැනිදා පැවැත්වුණි.

සුජය-කැන්ඩොස් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව - පො/දියසෙන්පුර මහා විද්‍යාලයේ සම්මන්ත්‍රණය

මේ සඳහා පො/දියසෙන්පුර මහා විද්‍යාලය, පො/කොහොඹදමන ක. විදුහල, පො/කහඹිලියාව ප්‍රාථමික විද්‍යාලය, පො/දම්සෙන්පුර ප්‍රාථමික විද්‍යාලය, පො/විජයපුර ප්‍රාථමික විද්‍යාලය, පො/මීගස්වැව ක. විදුහල, පො/වඩිගවැව ප්‍රා. විද්‍යාලය සහ මහ/අඩගස්බෑව මහ විදුහල යන පාසල්වල දරු දැරියන් 500කට ආසන්න ප්‍රමාණයක් මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූහ.

පෙරහුරු ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම මෙන්ම දරුවන්ගේ අමතර දැනුම සඳහා සකස් කළ වීඩියෝපට දහයක් නැරඹීමට සහ ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් වෙනුවෙන් නිර්දේශිත ළමා ගීවලට සවන් දීමට ද මෙහිදී අවස්ථාව ලැබීම විශේෂත්වයකි.

සුජය-කැන්ඩොස් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව - පො/දියසෙන්පුර මහා විද්‍යාලයේ සම්මන්ත්‍රණය

වර්තමානයේ අපට අත්‍යවශ්‍ය සේවාවක් වන විදුලිය ගැන දරුවන් දැනවත් කිරීම සඳහා “විදුලි බලයෙන් සසිරිමත් දිවියක්” යන තේමාව යටතේ අහඹු ලෙස තෝරා ගත් දරුවන් කීපදෙනකුගෙන් කෙටි ප්‍රශ්න විමසීමක් ද සම්මන්ත්‍රණයේදී සිදුකෙරිණි.

ශ්‍රී ලංකාවේ විදුලි නිෂ්පාදන ප්‍රභව 2ක් නම් කරන්න යන පළමු පැනයට පිළිතුර ලෙස ගල් අඟුරු සහ ජලය යන්න පැවසූවේ පො/අඹගස්වැව මහා විද්‍යාලයේ සනුති විහස්නා දිසානායක ශිෂ්‍යාවයි.

මසකට වරක් ගෘහස්ථ විදුලි බිල අපට ලබාදෙන්නේ කවුද යන්න බොහෝ දරුවන්ට

ගැටලුවකි. නමුත් එම පැනය ඉදිරිපත් කළ අවස්ථාවේදී අත් එසවූ දරුවන් අතරින් අවස්ථාව හිමිකර ගත් පො/අඹගස්වැව මහා විද්‍යාලයේ එස්. අබිරු දම්සක් සිසුවා මනුකියවන්නා යන නිවැරදි පිළිතුර ලබාදුන්නේ කිසිදු පැකිළීමකින් තොරවය.

විදුලියෙන් ක්‍රියාකරන උපකරණ 2ක් නම් කරන්න යන තෙවැනි ප්‍රශ්නයට පිළිතුර ලබාදුන් පො/දියසෙන්පුර මහා විද්‍යාලයේ හිරුණිමා සත්සරණි ලියනආරච්චි ශිෂ්‍යාව රූපවාහිනිය සහ විදුලි ස්ත්‍රික්කය යැයි පැවසූ අතර විදුලි බලයෙන් ක්‍රියාකරන වෙනත් උපකරණ ගැන ද මෙහිදී හඳුන්වා දෙන ලදී.

බොහෝ විට නිවෙස්වල විදුලිය ආශ්‍රිත හදිසි අලුත්වැඩියාවලදී අප පළමුවෙන්ම කළ යුත්තේ කුමක්දැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුර දීමට ඉදිරිපත් වූ පො/වඩිගවැව ප්‍රාථමික විදුහලේ කේ.ජී. සදෙව් අභිමාන් පුතා නිවසේ ප්‍රධාන ස්විචය විසන්ධි කළ යුතු බව පැවසුවේය.

නිවෙසකට ඔරොත්තු නොදෙන විදුලි ධාරාවක් හෝ අධික වර්ෂාවකදී අකුණු ගැසීමේදී නිවසේ ප්‍රධාන ස්විචය ක්‍රියාවිරහිත කිරීමෙන් සිදුවන වාසි පිළිබඳව ද දරුවන්ට මෙහිදී පහදා දෙන ලදී. එමෙන්ම විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට කළ යුත්තේ කුමක්ද යන්න අවසාන ප්‍රශ්නය ලෙස දරුවන්ගෙන් විමසූ අතර දරුවන් ඊට විවිධ පිළිතුරු ලබා දෙන ලදී.

පො/කොහොඹදමන ක. විදුහලේ ප්‍රදීප හංසන කුමාර සිසුවා කියා සිටියේ අනවශ්‍ය විදුලි බුබුළු නිවා දැමීම සහ අනවශ්‍ය විදුලි උපකරණ නිතර පාවිච්චියෙන් වැළැකී සිටීම කළ යුතු බවයි.

ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයට සමගාමීව ආරාධිත පාසල්වල දරුවන්ගේ දෙමාපියන් සඳහා ‘ප්‍රීතිමත් පවුල් සහ දෙමාපියභාවය’ යන තේමාව යටතේ දෙමාපියන් දැනවත් කිරීමේ දේශනයක් ද පවත්වන ලදී. මෙම දේශනය අතරතුර නිවසේ ජීවන වියදම අවම කරගැනීම සඳහා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ආකාරය පිළිබඳව ද දෙමාපියන් දැනුවත් කළ අතර ඒ පිළිබඳව ඔවුන්ට නිරාකරණය කරගත යුතු ගැටලු පිළිබඳව ඔවුන් විමසූ අතර ඒවාට නිසි මඟපෙන්වීමක් ද සිදුකෙරුණි.

පවුල යන සංකල්පය තුළ මව මෙන්ම පියා ද ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව පූර්ණ අවබෝධයක් ලබාදුන් අතර වර්තමායේ බොහෝ විට මේ පිළිබඳ නිසි අවබෝධයක් හෝ උනන්දුවක් නොමැතිකමින් තම නිවෙස තුළම දරුවන් පීඩාවට පත්වන අයුරු පෙන්වා දුන් අතර ඒවා අවම කරගත යුත්තේ කෙසේද යන්නත් සාකච්ඡා කෙරුණි.

පො/දියසෙන්පුර මහා විද්‍යාලයේ විදුහල්පති ඩී.වී.ජී. තිලක් කුමාර මහතාගේ අනුමැතියෙන් සහ මූලිකත්වයෙන් පැවති ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය සාර්ථක කරගැනීම සඳහා ප්‍රාථමික අංශ ප්‍රධානි රීටා දමයන්ති මහත්මියගේ සහයෝගය ද නොමඳව ලැබුණි.

ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය සඳහා පො/දියසෙන්පුර මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය මෙන්ම ආරාධිත පාසල්වල විදුහල්පතිවරුන්, ගුරු භවතුන්, සුජය පුවත්පතේ උප කර්තෘ චන්දිමා විතාරණ සහ සුජය කර්තෘ මණ්ඩලයේ ඉනෝකා කුමාරි යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

මෙදින ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයේ දේශනා මෙහෙයවීම මැදිරිගිරිය, වඩිගවැව ප්‍රාථමික විද්‍යාලයේ ආචාරිනි ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශිකා ප්‍රදීපා මධුවන්ති ගුරුතුමිය විසින් සිදුකළ අතර, දෙමාපියන් දැනුවත් කිරීමේ දේශනය ගුරු උපදේශිකා, මනෝවිද්‍යා උපදේශිකා, නාට්‍යවේදිනි ප්‍රියංවදා ගොඩගේ මහත්මිය විසින් සිදුකරන ලදී.

මෙම සුජය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය උපාලි පදනමේ සමාජ සද්කාර්යකි.

කෝකිලා වෙත්තසිංහ
ඡායාරූප – ජූඩ් ඩෙන්සිල් පතිරාජ


advertistmentadvertistment