හෙට දිනනා රටකට විදුලි දැනුම සවිබල ගන්වමු
ප්‍රමිතියෙන් යුතු විදුලි උපකරණ භාවිතයෙන් විදුලි බිල අඩුකරගත හැකියි – සුජිත් කුමාර
විදුලිය සංරක්ෂණය ජීවිතයට පුරුද්දක් කරගත්තොත් ඒක විශාල ආර්ථික වාසියක් -සහන් දෙව්මිත්
විදුලිය සම්පතක් නිසි භාවිතය ලොකු ආයෝජනයක් – ශ්‍යාමා සිරිමතී
අද විදුලිය නොමැතිව කිසිම වැඩකටයුත්තක් සිදු කර ගත නොහැකි තත්ත්වයට පත්වී ඇත. ඒ මේ වන විට සෑම පුද්ගල ක්‍රියාවක්ම විදුලිය හා සම්බන්ධ වී පවතින බැවිනි. වෙනදා ස්ව ශක්තියෙන් කළ සියලු ක්‍රියාවන් මේ වන විට විනාඩි කිහිපයක් තුළ විදුලිය භාවිතයෙන් ක්‍රියාත්මක වන යන්ත්‍ර සූත්‍ර ආධාරයෙන් කරගත හැක.
මේ අතර කෙනෙකුට මෙසේ තර්ක කළ හැක. “ඉස්සර නම් ඔය කිසිවක් තිබුණේ නෑ. අපි හැම දෙයක්ම කළේ අතින්. දැන් උදවියට විදුලිය නැත්නම් කිසි දෙයක් කළ නොහැකියි” යනුවෙන්. නමුත් සැබෑව නම් කලින්ට වඩා දැන් මිනිසුන් අතිශය කාර්යබහුල වී පැවතීමයි. එම කාර්යබහුලත්වයත් සමඟ මිනිසුන්ට කාලය රන්වලටත් වඩා වටිනා දෙයක් බවට පත්වී තිබේ. මේ නිසා මිනිසුන්ගේ කාලය ඉතිරි කර දීමට නවීන යන්ත්‍ර සූත්‍ර පැමිණ ඇති අතර මේ යන්ත්‍ර සූත්‍ර ක්‍රියාකරවීමට විදුලි බලය අත්‍යවශ්‍ය සාධකයක් වී ඇත.
නමුත් ගැටලුව වන්නේ අසීමිත විදුලි අවශ්‍යතා සැපයීමට පවතින සම්පත් සීමාසහිත වීමයි. විදුලිය නිෂ්පාදනයට යොදා ගන්නා සම්පත් අතිශය විරලය. මේ නිසා අප හැකි තරම් විදුලි සම්පත ආරක්ෂා කළ යුතුය. ඒ අපේ මෙන්ම රටේ ආර්ථිකයට විදුලිය සංරක්ෂණය වැදගත් වන බැවිනි.
මේ නිසා විදුලි බල මණ්ඩලය විදුලිය සංරක්ෂණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට විවිධ වැඩසටහන් දියත් කොට ඇත. ඒ අතර එක් වැඩසටහනක් වන්නේ ගමින්
ගමට නගරයෙන් නගරයට ගොස් සාමාන්‍ය ජනතාවගේ විදුලි සංරක්ෂණ දැනුම පිළිබඳව විමසා බැලීමයි. එම උදාර කටයුත්තට සහයෝගය දැක්වීමට සීමාසහිත උපාලි පුවත්පත් සමාගමත් දක්වන්නේ ඉමහත් කැමැත්තකි. සීමාසහිත උපාලි පුවත්පත් සමාගම ලංකා විදුලි බල මණ්ඩලය සමග ඒකාබද්ධව දීප ව්‍යාප්තව ජනතාවගේ විදුලි සංරක්ෂණ දැනුම විමසා බැලීමේ වැඩසටහන්නේ මෙවර අපගේ නවාතැන්පළ වූයේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි සුජිත් කුමාර මහතාගේ නිවසයි. සුජිත් කුමාර මහතා සහ ඔහුගේ පවුලේ උදවිය විදුලි සංරක්ෂණයට දායක වී ඇති ආකාරය පිළිබඳව අපට පැහැදිලි කළේ මේ අයුරිනි.
සුජිත් කුමාර
“මම කරන්නේ ගොවිතැන් කටයුතු. දැන් ගොවිතැන නව තාක්ෂණයත් එක්ක බද්ධ වී ඇති නිසා අපට විදුලිය කියන දේ අත්‍යවශ්‍ය සාධකයක් වෙලා. මේ පළාත් විශාල වශයෙන් අලි ඇතුන් වගේම අනෙකුත් වන සතුන් ගැවසෙන ප්‍රදේශ. ඉතින් මේ පළාත්වල ඉන්නවනම් විදුලිය කියන දේ අත්‍යවශ්‍යයි. රැයකට එළියකට පහලියට බහිනකොට කරුවලේ යන්න එන්න බැහැ. ඉතින් අපට විදුලියේ තියෙන ප්‍රයෝජනය ගැන කියලා නිම කරන්න බැහැ. අපට හොඳට මතකයි විදුලිය නැතිව කුප්පි ලාම්පු එළියෙන් ජීවත් වුණු හැටි. ඉතින් අපට මොනම දෙයක් වුණත් ලැබෙනකොට අපි ඒක සීමාසහිතව අරපරිස්සමෙන් භුක්ති විඳින්න ඕන. විදුලිය වුණත් එහෙමයි.
ඉතින් මම අපේ ගෙදර විදුලි බිල අඩු කරගන්න මුළු ගෙදරම LED විදුලි බුබුළු වලින් ආලෝකවත් කරලා තියෙන්නේ. ඒකත් හොඳම ප්‍රමිතියෙන් යුතු විදුලි බුබුළු. අපේ ගෙදර දහවල් කාලයේ නම් රූපවාහිනිය නරඹන්නේ කලාතුරකින්. රෑට නම් ගොඩක් වෙලාවට ගෙදර හැමෝම එකතු වෙලා රූපවාහිනිය නරඹනවා. හැබැයි ඉතින් ඒකත් ප්‍රවෘත්ති වගේ වැදගත් දෙයක් තමයි. විදුලි බිල අඩුකරගන්නවා කියන්නේ පවුලේ ආර්ථිකයටත් විශාල වාසියක්. සමහර වෙලාවට එක ඒකකයකින් දෙකකින් සම්පූර්ණ විදුලි බිලේ ලොකු වෙනසක් දකින්න පුළුවන්. ඒ වෙලාවට හිතෙනවා අපි තව පොඩ්ඩක් ඒ ගැන හිතලා කටයුතු කරා නම් කීයක් ඉතුරු කරගන්න තිබුණද කියලා. මුල ඉඳලම ඒ ගැන අවධානය යොමු කරා නම් මාසෙ අන්තිමට පොකට් එකට තමයි ඒ වාසිය තදින්ම දැනෙන්නේ. අපේ ගෙදර ඒකක 60ට අඩුවෙන් තියාගන්න තමයි මම උත්සාහ කරන්නෙ. මම නම් අපේ
ගෙදර අනිත් අයටත් කියන්නේ පුළුවන් තරම් නිකරුණේ දැල්වෙන විදුලි බුබුළු නිවා දමන්න කියලා. ගෙදරක එක්කෙනෙක් දෙන්නෙක් ඒ පුරුදු හරියට කරනකොට අනිත් අයත් නිකම්ම ඒවට හුරු වෙනවා.”
ශ්‍යාමා සිරිමතී මහත්මිය
“මම මේ වෙනකොට වෘත්තිය පුහුණු ආයතනයක මැහුම් ගුරුවරියක් වශයෙන් සේවය කරනවා. ගුරුවරියක් විදිහට මම දන්නවා විදුලිය සංරක්ෂණයේ ඇති වටිනාකම. විදුලිය නිසා අපේ පාළුව කාන්සිය නැතිවෙලා තියෙනවා. අපේ වැඩ පහසු වෙලා තියෙනවා. ඉතින් විදුලිය අපේ වැඩවලට විශාල පිටිවහලක් වුණා කිව්වොත් නිවැරදියි. මම හිතන්නේ අපි විදුලි බිල්පත ගෙවන එකෙන් ඔබ්බට
ගිහිල්ලා විදුලිය සංරක්ෂණය වැනි කටයුතුවලට අත ගැසිය යුතුයි.
විදුලි සංරක්ෂණ කටයුත්තේදී මම මට පුළුවන් උපරිම විදිහට ඒ කටයුත්ත ඉෂ්ට කරනවා. මොකද අපේ ආර්ථිකය ගැනත් අපි හිතන්න ඕනනේ. අපේ ගෙදර තියෙන විදුලි උපකරණ හැම එකක්ම අපි ගත්තේ හොඳම ප්‍රමිතියෙන් යුතු උපකරණ විතරයි. සමහර විදුලි උපකරණ මිලෙන් අඩු වුණත් විදුලිය වැය වීම ඉතා ඉහළයි. ඉතින් අපි හැම තිස්සේම මිල වගේම ප්‍රමිතිය
ගැනත් හිතන්න ඕන. අපි මේ ළඟදි ගෙදරට අලුතින් ශීතකරණයක් මිලදී ගත්තා. ඒක ඉන්වර්ටර් තාක්ෂණයෙන් යුතු එකක්. ඉතින් අපි විදුලි උපකරණ මිලදී
ගනිද්දී ඒ උපකරණ වල මිල වගේම ප්‍රමිතිය ගැනත් හිතන්න ඕනා.
අනිත් කාරණේ තමයි අලුත් ශීතකරණයක් ගත්ත කියලා නෙවෙයි ඒක බොහොම දැනුවත්භාවයෙන් යුක්තව භාවිත කරන්න ඕන. මුළු ශීතකරණයම පිරෙන්න එක එක කුණු කන්දල් වලින් පිරෙව්වොතින් යන වියදම වැඩියි. ඒක නිසා අපි හැමතිස්සෙම තාක්ෂණයට විතරක් ඉඩ දීලා ඉන්නේ නැතුව ඒවා හරියට පාලනය කරන්නේ කොහොමද කියන එක ගැනත් හිතලා බලන්න ඕනා.
ඒ වගේම තමයි අපේ ගෙදර භාවිත කරන රයිස් කුකර් එක. ඒකෙනුත් විදුලිය ඉතිරි කරගන්න පුළුවන්. අපි අපේ රයිස් කුකර් එක භාවිත කරන්නේ දවසට එක පාරයි. ඒ උදේට විතරයි. මොකද උදේට බොහොම කාර්යබහුලයි. මහත්තයට ගොවිතැන් කටයුතු වලට යන්න, මට රස්සාවට යන්න වගේම පුතාට රස්සාවට යන්නත් තියෙන නිසා ඉක්මනට උයා පිහා ගන්න ඕන. රෑට හදිසියක් නැති නිසා මම රෑට ඉහුම් පිහුම් කටයුතු කරන්නේ දර ළිපේ. මොකද පහසුව වගේම විදුලි බිල ගැනත් හිතන්න ඕන. පහසුව ගැන විතරක් හිතුවොත් දන්නෙම නැතුව ලොකු ආර්ථික අර්බුදයක පැටලෙනවා ස්ථිරයි.
සහන් දෙව්මිත්
මම මේ වෙද්දි පෞද්ගලික මූල්‍ය ආයතනයක රාජකාරී කරනවා. අපේ පරම්පරාවට නව තාක්ෂණය කියන්නේ ඉතාමත් ප්‍රයෝජනවත් දෙයක්. අපේ පරම්පරාව විදුලියත් එක්ක බොහොම සම්බන්ධයි. මොකද අද හැම උපකරණයක්ම විදුලියත් සමග සම්බන්ධයි. ඉතින් විදුලිය නැති වුණෝතින් මුළු රටම එක තැන නවතිනවා. අපි විදුලියෙන් ප්‍රයෝජනයක් ලබනවා වගේම ඒ සඳහා මිලක් ගෙවිය යුතුයි. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන අද පවතින ආර්ථික තත්ත්වයත් එක්ක විදුලිය සංරක්ෂණය කරන්න. ඒක ලොකු ආර්ථික වාසියක්.
මම වැඩ කරන ආයතනය තුළ වගේම අපේ ගෙදරත් පුළුවන් තරම් විදුලිය සංරක්ෂණය කරන්න කටයුතු කරනවා. නිකරුණේ දැල්වෙන එක විදුලි බුබුළක් හෝ නිවා දමන්නට කටයුතු කරනවා නම් ඒක ලොකු ආර්ථික වාසියක් වේවි.
ඒ වගේම තමයි පරිගණකය රූපවාහිනිය වගේ විදුලි උපකරණ භාවිතයෙන් පසු බැහැරව යන විට විදුලි පේනුවෙන්ම විදුලිය විසන්ධි කර දමන්නට කටයුතු කළ යුතුයි. යම් දෙයක් දවස් දෙක තුනක් කරනකොට ඒක නිකම්ම පුරුද්දක් වෙනවා. ඉතින් අපි විදුලිය සංරක්ෂණය වගේ දෙයක් ජීවිතයට පුරුද්දක් කරගත්තොත් ඒක විශාලව ආර්ථික වාසියක් වේවි.
සමීර කන්නන්ගර