සුවහසක් වූ පිළිකා රෝගී දරුවන්ගේ සිත, ගත, මනස සුවපත් කරනට ගොඩනැඟූ සුව අරණ

437

පිළිකාව හා සටන් වදින ආදරණීයන්හට සහාය වීමේත්, පිළිකාව පරදා ජීවිතය ජයගත් ආදරණීයන්ව අගය කිරීමේත්, ජීවිතයට සමුදී මෙලොවින් නික්ම ගිය අපේ මිනිසුන්හට ගෞරවයක් ලබාදීමේත් සහ කිසිම මොහොතක පිළිකාවට එරෙහිව සටන් කිරීම අත්නොහැර සටන් කිරීමට සවියක්ව පිටුපසින් සිටීමේත් ඉලක්කයක් ඇතිව ගොඩනැඟුණු බලාපොරොත්තුවේ නවාතැන්පළ ඉන්දිරා පිළිකා භාරයයි. එලෙසම සුවය ගෙනෙන නිවහනක් යන උදාරතර සිතුවිල්ලත් සමගින් රටට දායාද කළ සුවයක් සොයන ආදරණීය දරුවන්ගේ නිවහන සුව අරණ 2023 ජුනි මස 29 වැනි දින දොරගුළු විවර කර වූයේ සුවහසක් පිළිකා රෝගී දරුවන් හා ඔවුන්ගේ පවුල්වල සියල්ලන්ට ම තමන් තනිවී නැත යන්න සිතුවිල්ල ද පෙන්වා දෙමින් ය.

ඉන්දිරා පිළිකා භාරය (ලියාපදිංචි අංක 07-47) 2016 වසරේ පාර්ලිමේන්තුවේ හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ දියණිය වූ සහ වයස අවුරුදු 40 දී පියයුරු පිළිකාවෙන් 2016 නොවැම්බර් මාසයෙ ්දී අභාවප්‍රාප්ත වූ ඉන්දිරා ජයසූරිය මහත්මිය සිහිකරමින් ගොඩනඟන ලදී. ඇය කුඩා දරුවන් දෙදෙනකුගේ මවක් වූ අතර මවක් ලෙස ඇයගේ ධෛර්යය, නිර්භීතකම සහ පරිත්‍යාගය පිළිබඳ කතාව ලොව ම සසල කරන ලද එකක් වූයේ මෙලොව එළිය දකින්න සිටි තම ආදරණීය පුතණුවන් වෙනුවෙන් මවක් ලෙස තම දරුවන් වෙනුවෙන් මේ ලෝකයේ කැප කිරීමට නොහැකි දෙයක් නැති බව සනාථ කරමින් තම ජීවිතය පරිත්‍යාග කිරීම නිසාවෙනි. අද වනවිට ඉන්දිරා පිළිකා භාරය 1000කට අධික ස්වේච්ඡා බළකායක් සමගින් සරණක් අවැසිව සිටින පිළිකා රෝගීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට උපකාර කරන සංවිධානයක් බවට නිර්මාණය වී ඇති අතර ම ඉන්දිරා ජයසූරිය මහත්මිය මියයනවිට ඇය ලැබූ සුව පහසුව අසරණ පිළිකා රෝගීන්හට ද ලබාදීමේ අදිටනින් ගොඩනැඟුණු සුව අරණ තුළ ද ස්වේච්ඡා බළකාය විසින් විශාල කාර්යභාරයක් ඔවුන් විසින්ම ස්වෙච්ඡාවෙන් ඉටු කිරීම අගය කළ ම යුතු දෙයකි.

උස් පහත් භේදයකින් හෝ වයස් භේදයකින් තොරව දිනෙන් දින වැඩි වෙන පිළිකා රෝගීන් සංඛ්‍යාව දකිනවිට හිතට දැනෙන්නේ වේදනාත්මක හැඟීමක් වුවද ඔවුන් වැටෙන හැම මොහොතකම නැඟිටින්න පිටිවහලක් වෙන්න ඔවුන් පිටුපස සිටිය යුතුයි කියා සිතනවිට ඉන්දිරා පිළිකා භාරයේ අපට දැනුනේ ඉතාමත් ධෛර්යවන්ත සිතුවිල්ලකි. ඒ උත්තරීතර සිතුවිල්ල පෙරදැරි කරගෙන තවත් එක් පියවරක් ඉදිරියට තැබූ ඉන්දිරා පිළිකා භාරය පිළිකා රෝගය හා සටන් කරන මල් කැකුළුවන් දරුවන්හට නවාතැනක් නිර්මාණය කිරීම ආරම්භ කරන්නේ මොහොතකට හෝ ඔවුන්ගේ ජීවිතවලට සතුටක්, සැනසීමක් ළඟා කර දීමට පමණක්ම නොව, ඔවුන්ගේ පවුල්වල ආදරණීයන්හට මේ මිලින වී යන සමහරක් දරුවන්හට තම ආදරය බෙදා දීමට ඉඩ හසර ද සලස්වා දෙමිනි.

අපේක්‍ෂා රෝහලේ ළමා රෝග ඒකකයේ ඕනෑම මොහොතක ළමුන් 150කට ආසන්න සංඛ්‍යාවක් නේවාසිකව ප්‍රතිකාර ලබන අතරම දරුවන්ගෙන් බහුතරයක් සුවය ලබනවා සේ ම ඇතැම් දරුවන්ට සහන සත්කාර (ජීවිතයේ අවසන් මොහොතේ ලබාදියයුතු සත්කාරයන්) ලබාදියයුතු අවස්ථා ද ඇත. ශ්‍රී ලංකාව තුළ එවැනි පහසුකම් සලසා දීමට ක්‍රියාත්මක වන පළමුවන ව්‍යාපෘතිය ලෙස ඉන්දිරා පිළිකා භාරය විසින් නිර්මාණය කරනු ලැබූ ළමයින් වෙනුවෙන්ම ඉදි කෙරුණ සුව අරණ නිවහන ඔවුන් තවදුරටත් තනි වී නොමැති බවටත්, අසරණ වන්නේ නැති බවටත් පෙන්වා දෙමින් ගොඩනැඟුණේ සියල්ලන්ගේම සහයත් ආශිර්වාදයනුත් මැදිවය. මෙම ව්‍යාපෘතියේ විශේෂත්වය වන්නේ පිළිකා රෝගී දරුවන් සඳහා නවාතැන් පමණක් ලබාදීම නොව, ඔවුන්හට මෙන්ම ඔවුන්ගේ පවුලේ සියලු දෙනාහට ශාරීරික සුවය පමණක් නොව, මානසික සුවය ද ලබාදීම සඳහා ශ්‍රී ලංකාවේ ඉදිවූ ප්‍රථම සහන සත්කාර මධ්‍යස්ථානය මෙය වීමයි. මෙහිදී විශේෂයෙන්ම අපේක්‍ෂා රෝහල සමග ඇති සමීප සහයෝගීතාවය සහ රෝහලට සමීපව මෙම නිවහන පිහිටා තිබීම නිසාවෙන්ම මෙම සේවාව රෝගීන්ට මිල කළ නොහැකි වනු ඇති බව අප විශ්වාස කරනු ඇත.

සුවහසක් වූ පිළිකා රෝගී දරුවන්ගේ සිත, ගත, මනස සුවපත් කරනට ගොඩනැඟූ සුව අරණ
කරු ජයසූරිය යුවළ සමග ඉන්දිරා දියණිය එදා…

ළමුන් සඳහා සහන සත්කාර පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්වචනය අනුව ළමුන් සඳහා වන සහන සත්කාරය යනු දරුවාගේ ශරීරය, මනස සහ ආත්මීය යන සියලුම පැතිකඩයන් හි පූර්ණ රැකවරණය වන අතර පවුලට සහයෝගය දැක්වීම ද එහි ඇතුළත් වේ. එය රෝග විනිශ්චය කළවිට ආරම්භ වන අතර, දරුවා රෝගයට යොමු වුවද ප්‍රතිකාර ලබාගන්නේ ද නැද්ද යන්න නොසලකා නොකඩවා සිදු කළ යුතු වේ. දින සති මාස ගණන් ප්‍රතිකාර ලබාගැනීමට රෝහලෙහි දරුවා නවත්වා ගැනීම හේතුවෙන්ම රෝගයෙන් පෙළෙන දරුවන්ගේ පවුල් මුහුණදෙන දුෂ්කරතා බොහොමයක් තිබෙන අතරම මූලික වශයෙන් දරුවාට සහ පවුලේ අයට නවාතැන් සොයා ගැනීමේදී ඇතිවන මූල්‍යමය අපහසුතාව ප්‍රධාන තැනක් ගනී. එයට මූලිකම හේතුවක් ලෙස බොහෝ පවුල් දුර බැහැර සිට මහරගම අපේක්‍ෂා රෝහල සඳහා පැමිණෙන අතර ම රෝගී තත්ත්වය අනුව සමහරක් මොහොතක දී සති කිහිපයක් හෝ මාස කිහිපයක් ඔවුන්ට ගත කරන්න වන්නේ තම රෝගී දරුවන් සමග රෝහලේ ම නිසාත් අධික වියදමක් දරමින් එලෙස ප්‍රතිකාර සඳහා ඔවුන්ට නැවතී සිටීමට නොහැකි වීමත් පෙන්වා දියහැකිය. එම හේතුව නිසාවෙන්ම බොහෝ කාලයක් තම පවුලේ ආදරණීයයන්ගෙන් ඈත්ව සිටීමට සිදුවීමත් පවුලේ සාමාජික සාමාජිකාවන් දෙතැනකට බෙදී සිටීමට සිදුවීමත් රෝගී දරුවාහට මෙන්ම පවුලේ සියලුමදෙනාහට බොහෝ සේ මානසිකව බලපානු ලබන අතර මෙම සුව අරණ එම සියලුම ගැටලු සඳහා පිළිතුරක් සපයනු ලබයි. එමගින් දරුවන්ට, ආදරය සහ සහයෝගය සඳහා තම දෙමාපියන් ළඟ නොසිටීම මෙන්ම තම සහෝදර සහෝදරියන් වෙන්ව සිටීමට අවශ්‍ය නොවන අතර තමන්ගේ ගෙදර සිටිනා ලෙස හැඟීමක් ඔවුන් සියලුම දෙනාට ලබාදීම මෙම සුව අරණෙහි විශේෂත්වය වේ.

සුව අරණ විසින් කිසිදු වියදමකින් තොරව ආහාර පාන ඇතුළු සියලුම සේවාවන් නොමිලේ ලබාදෙන අතර රෝහල්ගතව සිටින තම දරුවා අසල රැඳී සිටීමට හැකි වන පරිදි මෙන්ම පවුලේ සියලුමදෙනාහට එකම තැනක සිට දරුවා සමග කාලය ගත කිරීමට ද අවශ්‍ය පහසුකම් සලසා දීම මූලිකම අරමුණ වේ. එමෙන්ම මෙම සුව අරණ සංකල්පය ගොඩනඟා ඇත්තේ පවුලක් තම දරුවාගේ සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කරනවිට ඔවුන්ට මුහුණ දීමට සිදුවන කිසිම අභියෝගයක් ඔවුන්ට බාධාවක් නොවිය යුතුය යන අදහස මත ය. එනම් ඔවුන් රැඳී සිටින්නේ කොහෙද, ඔවුන් ආහාර ගන්නේ කෙලෙසක ද හෝ ඔවුන් විවේක ගනිමින් රාත්‍රිය ගෙවා ගන්නේ කෙලෙසක ද යන්න සිතමින් සිටීමට නොව, පිළිකා රෝගය හා සටන් කරන දරුවාහට ඔවුන් සවියක් වන්නේ කෙසේද යන්න මෙන්ම පිළිකාව පරදා ඔවුන්ගේ ජීවිත නැවතත් තිබුණ ලෙසටම දිනාගන්නේ කෙසේද යන්න සිතීමට මංපෙත් විවර කරමින් ය. එවැනි ආදර්ශමත් සංකල්පයක් පෙරදැරි කරගනිමින් ගොඩනැඟුණ මෙම සුව අරණ දරුවකු රෝහල්ගත වූවිට පවුලේ අයගේ ආදරය සහ සහයෝගය පිළිකාව පමණක් නොව ඕනෑම රෝගයක් සුව කළ හැකි ප්‍රභලම ඖෂධයක් ලෙස බලවත් බව අපි විශ්වාස කරන බැවින්ම මෙය බොහෝ දෙනකුගේ ජීවිතයෙහි හැරවුම් ලක්‍ෂ්‍යයක් වනු ඇතැයි ද අපි එකහෙළා විශ්වාස කරමු.

සිනහව වියැකී ගිය කුඩා දරුවන්ගේ මුහුණ මෙන්ම බලාපොරොත්තු සිඳී බිඳී ගිය දෙමව්පියන්ගේ ජීවිත මොහොතෙකින් වෙනස් කිරීමට හැකියාවක් ලැබේ නම් අප ලද මේ මනුෂ්‍යත්වයේ සැබෑ අර්ථය මුළු ලොවකටම පෙන්වා දියහැකිය. එයට අවශ්‍ය වන්නේ එක් දෙයක් පමණ.ි විශ්වාසය හිතේ තබා ගනිමින් ආදරය බෙදන්න. මේ ගොඩනැඟුණ බලාපොරොත්තුවේ නිවහන සුව අරණෙහි එකම අධිෂ්ඨානය එයයි.

චාමර පුෂ්පකුමාර
ඉන්දිරා පිළිකා භාරය

advertistmentadvertistment
advertistmentadvertistment