ඉහළ ආකාශයේ බබලන ග්‍රහ වස්තු හෙවත් ග්‍රහ තාරකා වල බලය පෘථිවියට හා මෙහි ජීවත්වන ජීවීන්ට යම් යම් ආකාරයට බලපෑම් ඇති කරනු ලබයි.
මොන ග්‍රහයා මොන ආකාරයට බලපෑම් ඇති කරත් ශනි ග්‍රහයා හෙවත් සෙනසුරු ග්‍රහයාගේ බලපෑම ගැන බොහෝ දෙනෙක් විමසිලිමත් වෙනවා. මේ සෙනසුරු ග්‍රහයා හැමවිටම විපත් පමුණුවනු ලබන ග්‍රහයෙක් වශයෙන් ප්‍රකට වේ. එම නිසා සෙනසුරු ග්‍රහයාගේ නම ඇසීමට පවා බොහෝ දෙනෙක් ප්‍රියතාවයක් නොදක්වයි.
2025 වසරේ මාර්තු මස 29 වන දින සෙනසුරු ග්‍රහයා කුම්භ රාශියේ වසර දෙකාහමාරක කාලයක ගමන අවසන් කර මීන රාශියට පිවිසුනි. මෙම ග්‍රහ මාරුවත් සමග බොහෝ දෙනෙක් අනියත බියක් ඇති කරගෙන සිටින බවක් පෙනෙන්නට ඇත.
රාශි කේන්ද්‍රයේ 03 වන රාශිය වන මිථුන රාශියට මේ සෙනසුරුගේ ගෝචර ගමන කොහොමද බලපාන්නේ කියලා අපි දැන් බලමු.
මිථුන ලග්න හිමියන්ගේ 10 වැන්න මීන රාශියයි. මෙම 10 වැන්න කියන්නේ කර්මස්ථානය හෙවත් රැකියා ස්ථානයයි.
මේ ස්ථානයට ගෝචරයෙන් සෙනසුරු ග්‍රහයාගේ පිවිසීම විමර්ශනාත්මකව බැලිය යුතුයි.
මිථුන ලග්නය හිමි අයගේ 08වැන්න සහ 09වැන්න යන දෙකෙහිම අධිපතිත්වය දරන සෙනසුරු මෙම 10වැන්නට පිවිසීම තරමක් සිත් තැවුල්, දුක් දොම්නස් ඇති කරවන කාලයක් බව කිව හැකියි.
08 වැන්න කියන්නේ මෘත්‍යුස්ථානයයි. මේ මගින් කෙනෙකුගේ ආයුෂ පිළිබඳව ද, මරණයේ ස්වභාවය පිළිබඳව ද, සිත් තැවුල් දුක් කරදර ආදිය ගැන ද කියැවෙයි.
09 වැන්න කියන්නේ පුණ්‍යස්ථානයයි. මේ මගින් කෙනෙකුගේ භාග්‍ය පිළිබඳව ද, පියා පිළිබඳව ද, විදේශ ගමන් පිළිබදව ද, උසස් අධ්‍යාපනය පිළිබඳව වගේම පෙර භවයේ කුසල් ගැන ද කියැවෙන ස්ථානයයි.
මේ ආකාරයට බලන විට මෘත්‍යුස්ථානාධිපති සහ පුණ්‍යස්ථානාධිපති වන සෙනසුරු ග්‍රහයා කර්මස්ථාන ගතවීමක් ලෙස හඳුන්වන්න පුළුවන්.
මේ ආකාරයට තම රැකියා කරන ස්ථානයේ නොයෙකුත් පැටලිලි සහගත කරුණු මතුවීමට ඉඩ ඇති බව පෙනී යයි. තනතුරු වලින් තවත් පහතට ඇද දැමීමක් සිදුවිය හැකියි. රැකියාවේ උසස්වීම් බලාපොරොත්තු වූ අයට තරමක බාධාකාරී තත්ත්වයක් මතුවීමට ඉඩ ඇති කාලයක් ද වෙනවා.
රැකියාවේ පවතින බාධාකාරී
ගැටලු සහිත බව නිසා වෙනත් රැකියා ස්ථාන වලට අයදුම් කිරීමට හෝ වෙනත් අලුත් වැඩ කටයුත්තකට අත ගැසීමටත් සිතන කාලයක් වෙනවා.
ඔබ අධ්‍යාපනය හදාරන දරුවෙකු නම් ඉගෙනීමේ කටයුතු වලට තරමක් බාධාකාරී තත්ත්වයක් ද අධ්‍යාපන කටයුතු වල තරමක පසුබෑමක් ද, වැඩ කටයුතු අධික වීමක් ද දක්නට ලැබිය හැක. වෙනදාට වඩා මහන්සි වී පාඩම් වැඩ කටයුතු කිරීම තුළින් මෙම තත්ත්වය මගහරවා ගත හැකි වනු ඇත.
ඒ වගේම පහත් නරක මිතුරු මිතුරියන් මුණ ගැසෙන කාලයක් ද වෙනවා.
ඔවුන්ගේ කේලාම්, ඕපදූප අසන්නට හෝ කියන්නට ද සිදුවන කාලයක් වෙනවා.
මේ නිසා තම සුහදතාවය අඩුවීමට ද ,කීර්තිය ප්‍රශංසාව අඩුවීමට ද සිදුවිය හැකි කාලයක් වෙනවා.
මිතුරන් සමඟ පවත්නා සබඳකම් පළුදුවීමට ද ඉඩ ඇති බැවින් ඔවුන්ව තෝරා බේරාගෙන ආශ්‍රය කිරීම තුළින් මෙම තත්ත්වය වළක්වා ගත හැකි වෙනවා.
ව්‍යාපාර වෙළ හෙළඳාම් කරන මිථුන ලග්න හිමියන්ට ද මේ කාලයේ ව්‍යාපාර කටයුතු වලින් තරමක් පාඩු අලාභ හානි සිදුවිය හැකි බැවින් ප්‍රවේශමෙන් මුදල් පරිහරණය කළ යුතුව තිබෙනවා.
වාහන පැදවීමේ දී ද ප්‍රවේශම් විය යුතුව ඇත. දනහිස් ආශ්‍රිතව යම් යම් ආබාධකාරී තත්ත්ව ඇති විය හැකියි. හදිසි අනතුරු පවා සිදු විය හැකියි. වෙනදාට වඩා වැඩි සැලකිල්ලෙන් වාහනය පැදවීමෙන් මෙම තත්ත්වය වළක්වා ගත හැකි වෙනවා.
සෙනසුරු 10 වැන්නේ කේන්ද්‍රස්ථානයක ගමන් කරන මේ කාලයේ සෙනසුරුගේ මහ දශා, අතුරු දශා ගත කරයි නම් මේ වසර දෙකාහමාරක කාලය පුරාවටම ඔබ ප්‍රවේශම් විය යුතුව ඇත.
ඒ වගේම 06 /08/12 යන දුෂ්ටස්ථානයක අධිපති ග්‍රහයෙකුගේ මහ දශාවක්, අතුරු දශාවක් ගත කරන කෙනෙක් නම් හෝ 22 වන දෙර්කාණාධිපති වන ග්‍රහයාගේ දශාවක් ගත කරන කෙනෙක් නම් මේ කාලය ඔබට වඩාත් අශුභකාරී තත්ත්වයක් වනු ඇත.
කෙසේ වෙතත් මේ සෙනසුරු ග්‍රහයා අපව පාපයෙන් මුදාගෙන ආගම දහමට යොමු කරන ග්‍රහයෙක් බව කියන්න පුළුවන්. ඒ වගේම 10 වැන්න තුළ සෙනසුරු ග්‍රහයා බලවත්ව සිටිනවා නම් මේ තත්ත්වය තරමක් දුරට වෙනස් වෙන්න පුළුවන්. එකිනෙකාගේ ජන්මපත්‍රය තුළ තිබෙන ග්‍රහ පිහිටීම් අනුව ඒ පිළිබඳව නිශ්චිත නිගමනයකට එළඹිය හැක.
මෙම සෙනසුරු ග්‍රහයාගේ අපලකාරී තත්ත්වය යම් දුරකට හෝ මගහරවා ගැනීමට සෙනසුරාදා දින වල නිවැරදිව බෝධි පූජා පැවැත්වීම යෝග්‍ය බව කිව යුතුයි.
ඒ වගේම අලුයම ඉර නැගීමට පෙර
ගිතෙල් මිශ්‍ර කිරි බතක් පිළියෙල කොට කපුටන්ට දීම ද මේ සඳහා මහඟු පුණ්‍ය කර්මයක් වෙයි.
කකුලක් ආබාධිත පුද්ගලයෙකුට ආහාර පාන ලබාදීම ,මිල මුදල් ලබා දීම වැනි දේවල් වලින් ද අපලකාරී තත්ත්වය යම් තාක් දුරකට සමනය කර ගත හැකි වෙනවා.
ඉහත වත් පිළිවෙත් ඔබට හැකි අයුරින් හෝ ඉටු කිරීමට හැකි නම් ඒ වගේම ඔබ යුක්ති ගරුකව, ධර්මානුකූලව ජීවත්වෙන කෙනෙක් නම් ඔබට තිබෙන අපලකාරී තත්ත්වයෙන් මිදීමට ඔබට හැකිවනු ඇත.
ඔබට තිබෙන සියලුම ග්‍රහ අපල දුරුවී නිදුක් නීරෝගීව සිටීමට සුදුසු වාතාවරණයක් ගොඩනැගේවා යනු මගේ පැතුමයි!
ඊළඟ සතියේ කටක ලග්නය බලාපොරොත්තු වන්න….
තෙරුවන් සරණයි !
ජ්‍යොතිෂ සහ වාස්තුවේදිනි
ජ්‍යොතිෂ්විද්‍යා කීර්ති ශ්‍රී විභූෂණ,
ජ්‍යොතිෂ විද්‍යා ශිරෝමණී,
ආචාර්ය මනෝරී ලෙවන්ගම
”ශ්‍රි ලක්ෂ්මී” ජ්‍යොතිෂ පර්යේෂණ ආයතනය,
බණ්ඩාරවත්ත ගම්පහ.
0718213150 -0705038978