සෝමාලියානු කොල්ලකරුවන්ගේ ගොදුරක් නොවන්න වැඩපිළිවෙළක් සකස් කරන්න

1

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගෙන් ගැළවුණු හැටි විස්තර කරති ….

බහුදින ධීවර යාත්‍රා ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන්ට ස්වභාවිකව එල්ලවන බලපෑම් විශාල තර්ජනයක්ව පැවතියද එම තර්පජනවලට මුහුණ දෙමින් ඉන් ආරක්ෂා වීමට ඔවුන් කටයුතු කරන්නේ තම අත්දැකීම් තුළින්ය.

එහෙත් මහ සයුරේ පොර බදමින් දින ගණනාවක් වෙහෙස මහන්සි වී නෙළා ගන්නා මත්ස්‍ය සම්පත මුළුමනින්ම කොල්ලකමින් අද වන විට ජීවිතවලට තර්ජනයක් වී ඇත්තේ සෝමාලියනු කොල්ලකරුවන්ය.

ඒ බිහිසුණු අත්දැකීමට මුහුණ දුන්නේ පසුගියදා දික්ඕවිට ධීවර වරායෙන් පිටත් වූ ලොරන්ස්සෝ හතර බහුදින යාත්‍රාවේ කාර්ය මණ්ඩලයයි.

මීගමුව, දික්ඕවිට ධීවර වරායෙන් ඉකුත් ජනවාරි මස දොළොස් වැනි දින ලොරෙන්සෝ පුතා ධීවර යාත්‍රාව සිය මංගල මුහුදු ගමන ආරම්භ කළේ හලාවත, තොඩුවාව සහ කල්පිටිය යන ප්‍රදේශවල ධීවරයන් හය දෙනෙක් සමගය. මෙම ධීවර යාත්‍රාව දික්ඕවිට වරායේ සිට මුහුදු සැතපුම් 1500 ක් ආසන්නයේ මුහුදු ප්‍රදේශයේදී සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක් වූයේ ජනවාරි මස 27 වැනි දිනය.

පසුව යාත්‍රාවේ සිටි ධීරයන් ඔවුන් ග්‍රහණයට හසුවූ බවට ඒ ආසන්නයෙන් එහි ගමන් ගත් ධීවර යාත්‍රාවකට දැනුම් දීමෙන් පසුව ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ධීවර අමාත්‍යාංශය මැදිහත් වී සීෂෙල් රාජ්‍යයට සිදුකළ දැනුම් දීමෙන් අනතුරුව සීෂෙල් වෙරළාරක්ෂක භටයන්ට එම ධීවර යාත්‍රාව මුදාගැනීමට හැකි විය. ධීවර යාත්‍රාව මුදා ගන්නා අවස්ථාවේ සෝමාලියානු කොල්ලරුවන් නාවික හමුදාවට වෙඩි වරුසාවක් එල්ල කළද ඉන් නොනැවතී සීෂෙල් හමුදාව පෙරළා වෙඩි තබා ඔවුන්ගේ ග්‍රහණයට හසුකර ගැනීමට හැකි විය.

ඉන් අනතුරුව සීෂෙල් රාජ්‍යයේ ධීවර වරායට රැගෙන ගොස් එම ධීවරයන් හයදෙනා මාස පහකට පමණ පසු මුදාගැනීමට ශ්‍රී ලංකා රජයත් සීෂෙල් රාජ්‍යත් අතර ඇති වූ සබඳතාවයෙන් හැකි විය.

කෙසේ වෙතත් ඒ ගත වූ කාලය තුළ ඔවුන්ට අනේක දුක් ගැහැට විඳීමට සිදුවී තිබේ.

සෝමාලියානු කොල්ලකරුවන්ගේ ගොදුරක් නොවන්න වැඩපිළිවෙළක් සකස් කරන්න

ඔවුන්ගේ අත්දැකීම් අපට ප්‍රකාශ කළේ මෙලෙසය –

ධීවර යාත්‍රාවේ ක්‍රියාකරු ලෙස කටයුතු කළ රඛිත දුෂාන් – හරිම දුකක් අපි වින්දේ. මේ අත්දැකීමට කිසිදාක මුහුණ දීලා නෑ. අපේ ජීවිත බේර දුන්නේ දෙවියන් වහන්සේ කියල මා විශ්වාස කරනවා. අපි සිෂෙල් වරායේ මාස පහකට ආසන්න කාලයක් විවිධ බාධක මැද්දේ ගත කළා. හරියට නිදා ගන්න නෑ. ඇතැම් අවස්ථාවල ඇඟපත සෝදා ගන්නවත් හැකියාවක් තිබුණේ නැහැ. කෑම තුන්වේලටම ලැබුණා. ඒත් අපේ වගේ නෑ. අපි ගොඩක් දුක් වින්දා. ධීවර අමාත්‍යාංශය අපිට විශාල සහයක් දුන්නේ. නමුත් විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ අතර ලිපි හුවමාරුවේ දී ගොඩක් කාලය ගතවුණු නිසයි අපිට මේ තරම් කාලයක් ගතකරන්න සිද්ධ වුණේ. කොහොම නමුත් අපිට කිසිම අනතුරක් සිද්ධ නොවී එන්න පුළුවන් වුණා. මින් ඉදිරියටවත් අපේ ධීවරයන් කොල්ලකරුවන්ට හසුනොවන ලෙස වැඩපිළිවෙළක් සකස් කරන මෙන් රජයෙන් ඉල්ලා සිටිනවා.

අවිෂ්ක කෞශල්‍ය, අශේන් ඉසුරු, කනිෂ්ක කුමාර, රකිත දුෂාන් සහ ප්‍රියන්ත මෙම බිහිසුන අත්දැකීමට මුහුණ දුන් අනෙකුත් ධීවරයන්ය. මොවුන් අතරින් සිව් දෙනකුම එකම පවුලේ වීම විශේෂත්වයකි. යාත්‍රාවේ නියමුවා රඛිතගේ බිරිඳ දරු ප්‍රසූතිය සිදු කර ඇත්තේ ද කොල්ලකරුවන්ට මොවුන් හසුවීමට දින කීපයකට පෙරය. පලවුල්වල උදවිය ඔවුන් වෙනුවෙන් දෙවියන් උදෙසා යාඥා කළහ. එම පවුල්වල සාමාජිකයන්ට නිසි ආහාරයක් ගැනීමට තරම් මානසිකවත් නොතිබූ බව ඔවුහු නිරන්තරයෙන් පැවසූහ.

සීෂෙල් නාවික හමුදාව ජනවාරි 27 වෙනිදා මෙම යාත්‍රාව මුදාගැනීමට පැමිණ දින තුනක කාලයක් ගත වී තිබේ. එතැන් පටන් මාස පහක කාලයක් වික්ටෝරියා ධීවර වරායේ ධීවර යාත්‍රාව තුළම කල් ගෙවීමට මෙම ධීවරයන් පිරිසට සිදුවූහ. අපිව බේරගත්ත ඒ රටේ නාවික හමුදාව, අපේ රටේ නාවික හමුදාව, ධීවර ඇමැති ප්‍රමුඛ ධීවර දෙපාර්තමේන්තුව සහ විදේශ කටයුතු අමාත්‍යාංශය අපි වෙනුවෙන් දැඩි කැපකිරීමක් කළා. අපේ පවුලේ උදවිය සමග ජීවත් වෙන්න වාසනාව උදාකළ සැමට අපේ ප්‍රණාමය පුද කරනවා. ඔවුහු කියා සිටියහ.

අමරනන්ද විජේසේකර – මහවැව

සංස්කරණය – අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment