රජරට සරසවි ප්‍රේමය ICU එකේ ජීවිත සටනක – පෙම්වතාගෙන් අමානුෂික ලෙස පහර කෑ පෙම්වතියට අසාධ්‍යයි

1087

අනියම් ප්‍රේම සම්බන්ධයක් ඇති බවට චෝදනා කරමින් සිය පෙම්වතිය නිට්ටඹුව එල්ලක්කල ප්‍රදේශයේ ලැගුම්හලකට බලහත්කාරයෙන් රැගෙන ගිය පෙම්වතකු රැය පහන් වනතුරු ඇයට කෲර වධහිංසා පමුණුවමින් අමානුෂික ලෙස පහරදී බරපතළ තුවාල කර ඇත.

අමානුෂික ලෙස පහර කෑමට ලක්වූ 29 හැවිරිදි පෙම්වතිය පෙරේදා (3 දා) අලුයම සිට වතුපිටිවල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ශ්වසන ආධාරක යන්ත්‍රයක් ආධාරයෙන් ප්‍රතිකාර ලබන අතර ඇගේ ජීවිතය අවදානම් තත්ත්වයේ පවතින බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

සිය පෙම්වතියට අමානුෂික ලෙස පහරදුන් 28 හැවිරිදි පෙම්වතා නිට්ටඹුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පහරකෑමට ලක්වූ කෘෂි විද්‍යා උපාධිධාරිණී පෙම්වතිය සහ ඇගේ පෙම්වතා රජරට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ කාලසීමාවේ සිට මෙම ප්‍රේම සම්බන්ධතාව පවත්වාගෙන ගොස් ඇත.

උපාධිය ලැබීමෙන් පසු පෙම්වතිය නිට්ටඹුව ප්‍රදේශයේ කර්මාන්තශාලාවක රැකියාවක් ලබාගෙන ඇති අතර පෙම්වතා රත්නපුර ප්‍රදේශයේ මැණික් පතල් කාර්මාන්තයට සම්බන්ධවී තිබේ. කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකාරියක වූ පෙම්වතිය සිය වැඩිමහල් සොහොයුරා සමග මෙම කර්මාන්තශාලාවේ රැකියාව කර ඇත. ඔවුන් දෙදෙනා එකම බෝඩිමක නවාතැන් ගෙන සිට මෙම රැකියාව සඳහා ගොස් ඇති බව පොලිසිය පවසයි.

සතියකට වතාවක් රත්නපුරයේ සිට පෙම්වතා සිය පෙම්වතිය බැලීමට නිට්ටඹුවට පැමිණීම සිරිතක් ලෙස කරගෙන ගොස් ඇත.

කාලයක සිට තම පෙම්වතිය වෙනත් පෙම්වතකු ඇසුරු කරන බව කියමින් පෙම්වතා ඇය සමග ආරවුල් ඇතිකරගෙන තිබූ අතර කීප අවස්ථාවකදීම පෙම්වතියට පහරදීම් පවා සිදුකර ඇත.

ඉකුත් 02 වැනිදා පෙම්වතියගේ සොහොයුරා කුරුණෑගල පිහිටි නිවසට ගොස් ඇත්තේ සති අන්තයේ නිවාඩුව ලබාගෙනය. එහෙත් පෙම්වතිය නිවසට නොගොස් නවාතැන්පළේ රැඳී සිට ඇත එදින සවස පෙම්වතා නිට්ටඹුව ප්‍රදේශයට පැමිණ රැයක් ගතකිරීම සඳහා පෙම්වතියට ආරාධනා කර තිබේ.

ඔවුන් දෙදෙනා එල්ලක්කල ප්‍රදේශයේ නවාතැන්පළකට ගොස් ඇති අතර එහිදී රාත්‍රි කෑම රැගෙන ඒමට යැයි කියමින් පෙම්වතා කාමරයෙන් පිටව ගොස් ඇත.

රාත්‍රියේ මත්පැන් බෝතල් භාගයක් රැගෙන කාමරයට පැමිණි පෙම්වතා එය පානය කර තිබේ. පසුව පෙම්වතා සිය පෙම්වතිය සමග ආරවුලක් ඇතිකරගෙන රැය පහන් වනතුරු ඇයට අමානුෂික ලෙස පහරදී තිබේ. පෙම්වතාගේ කෲර පහරකෑම්වලට ලක්ව බරපතළ තුවාල ලැබූ පෙම්වතිය විලාප තබමින් කෑගසා ඇත. පෙම්වතිය බිම ඇදවැටී තුවාල වූ බව කියමින් පෙම්වතා ලැගුම්හලේ සේවකයන්ගේ ද සහාය ලබාගෙන ඇය වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබේ.

පෙම්වතියගේ තත්ත්වය අසාධ්‍ය බැවින් ඇය කොළඹ ජාතික රෝහල වෙත යැවීමට වතුපිටිවල රෝහල කටයුතු කර ඇත.

ජාතික රෝහලේ ද ප්‍රතිකාර ලැබුවත් ඇයගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි තත්ත්වයක පවතින බැවින් ඇය නැවත වතුපිටිවල රෝහලට එවීමට කටයුතු කර තිබේ.

මේ වනවිට පෙම්වතිය වතුපිටිවල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ජීවතයත් මරණයත් අතර සටනක නිරතවී සිටියි.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ, අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරි ප්‍රසාද් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක චන්දන කුමාර මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment