හේතුව කප්පම් නොදීම
ග්‍රීස් යකෙක් ලෙස සිට ගමෙන් පැන්නුවාම පාතාලයාට පිහිට වී ඇත්තේත් මරා දැමූ ව්‍යාපාරිකයා
හංවැල්ල නෙළුවත්තුඩුව ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුට පෙරේදා (30දා) රාත්‍රී ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින ප්‍රධාන පෙළේ පාතාල නායකයතු බව කියන ලලිත් කන්නංගර නැමැත්තාගේ නියෝග මත ඔහුගේ ගෝලයන් විසින් බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත.
ලලිත් කන්නංගර නමැති පාතාල නායකයාට කප්පම් මුදල් ලබානොදීම නිසා මෙම ව්‍යාපාරිකයා ඝාතනය කර ඇති බවද මේ වනවිට හෙළි වී තිබේ.
මෙම ව්‍යාපාරිකයා වෙඩි තබා ඝාතනය කිරීමත් සමග ම හංවැල්ල ප්‍රදේශයේ ජනතාව දැඩි භීතියට පත්වී ඇති අතර, නගරයේ ව්‍යාපාරිකයන් කිහිප දෙනකුම තම ව්‍යාපාර අතහැර ගොස් ඇති බවද වාර්තා වෙයි.
මෙහිදී ඝාතකයට ලක්ව ඇත්තේ වජිර නිශාන්ත නමැති 55 හැවිරිදි බස් රථ ව්‍යාපාරිකයෙකි.
ලලිත් කන්නංගර නමැති පාතාල නායකයා කලක් මෙම ව්‍යාපාරිකයාගේ බස් රථයක කොන්දොස්තරවරයකු ලෙස සේවය කළ අයෙකි.
මොහු කොන්දොස්තර රැකියාවේ සිටිය දී පාතාලය සමග සබඳතා පවත්වමින් විවිධ අපරාධවල නිරත වී ඇති අතර පසුව ඩුබායි රාජ්‍යයට පලා ගොස් තිබිණි.
ඩුබායි රාජ්‍යයට පලා ගිය ලලිත් කන්නංගර එහි සිට මත්ද්‍රව්‍ය ජාවාරමත්,පාතාලයත් මෙහෙයවා ඇත. තම පාතාල කල්ලියට සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සහාය දක්වන ලෙස ලලිත් කන්නංගර බස් ව්‍යාපාරිකයාට නිතර තර්ජනය කර තිබිණි.
එහෙත් සාධාරණ ව්‍යාපාරයක් කරගෙන ගිය බස් ව්‍යාපාරිකයා ඊට විරෝධය පළ කර තිබේ. මේ සම්බන්ධයෙන් බස් ව්‍යාපාරිකයා සහ ලලිත් කන්නංගර අතර නිතර නිතර ආරවුල් පැවැතිණි.
මීට ටික කලකට පෙර එක් අවස්ථාවක ලලිත් කන්නංගර බස් ව්‍යාපාරිකයාගේ නිවසට වෙඩි තබා තිබූ අතර තවත් අවස්ථාවක ඔහුට අයත් වාහන අලෙවි සැලකට ගිනි තබා තිබිණි.
පෙරේදා රාත්‍රී 7.40 ට පමණ යතුරු පැදියක පැමිණි පාතාල සාමාජිකයන් දෙදෙනකු බස් ව්‍යාපාරිකයාගේ නිවස ඉදිරිපිට තාප්පයට නැඟී එහි සිට ව්‍යාපාරිකයාට ටී 56 අවියකින් වෙඩි තබා තිබේ.
වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ව්‍යාපාරිකයා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත.
මෙම ඝාතනය මෙහෙයවූ ලලිත් කන්නංගර නැමැත්තා මිනිස් ඝාතන 4ක් සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකි. මොහුට එරෙහිව පොලිසිය ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තුවක් ද ලබාගෙන තිබේ.
ලලිත් කන්නංගර නමැති පාතාල නායකයා ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ග්‍රීස් යකෙකු ලෙස වෙස්වලා ගෙන ඇඹිලිපිටියේ නිවාසවලට රාත්‍රී කාලයේ ඇතුළු වීම නිසා මොහු ගම්වාසීන් විසින් පහර දී පන්නා දැමූ අයෙකි.
ජීවත් වීමට මඟක් නොමැතිව හංවැල්ලට පැමිණි අවස්ථාවේ මොහුට ආහාර පාන දී කොන්දොස්තර රැකියාව ලබාදී ඇත්තේ ඝාතනයට ලක්වූ බස් ව්‍යාපාරිකයා විසින්ය.
හංවැල්ල පොලිසිය සහ නුගේගොඩ අපරාධ කොට්ඨාසය විමර්ශන පවත්වා ගෙන යයි.
හේමන්ත රන්දුණු