මධ්‍යම පරිසර අධිකාරිය ක්‍රියාත්මක කළ “හරිත දුම්රිය ස්ථාන” වැඩසටහනේ දෙවැනි ස්ථානය දිනාගනු ලැබුවේ වේයන්ගොඩ ප්‍රධාන දුම්රිය ස්ථානය මගිනි. ජයග්‍රාහී සම්මාන, සහතික පත්‍ර පිරිනැමීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති “ජගත් පරිසර දින” ජාතික උත්සවයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ.

ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථානයන් හි පරිසර හිතකාමී පාරිසරික තත්ත්වයක් ඇති කිරීම මගින් දෙස් විදෙස් මගීන්ට පහසුව සැලසීම, සංචාරක කර්මාන්තයට රුකුලක් ඇතිවන අයුරින් ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කිරීම මෙන්ම පරිසර සංරක්ෂණ කාර්යය සඳහා දුම්රිය ස්ථාන යොමුකිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

හරිත දුම්රිය ස්ථාන අතර කවදත් පෙරමුණේම සිටින වේයන්ගොඩ පිට පිට සම්මාන දිනයි
දුම්රිය ස්ථාන කාර්ය මණ්ඩලය

අද අප කතා කරන්නේ විශේෂ ශ්‍රේණියේ දුම්රිය ස්ථාන ගණයට ගැණෙන, කාර්යාල සේවක මගීන් ඇතුළු විශාල මගීන් ප්‍රමාණයක්, දුම්රිය ප්‍රමාණයක් හා දුම්රිය අංගන ප්‍රමාණයක් දරන, තරගයේ දෙවැනි තැන ගත් වේයන්ගොඩ ප්‍රධාන දුම්රිය ස්ථානය පිළිබඳවය.

“අපට මේ තරගයෙන් දෙවෙනි තැන හිමිවුවත්, විශේෂ ශ්‍රේණියේ දුම්රිය ස්ථාන අතර කාර්යය බහුලම ප්‍රධාන දුම්රිය ස්ථානයක් වන වේයන්ගොඩ දුම්රිය ස්ථානය හරිතකරණය සහ මහජන හිතකාමී ප්‍රියමනාප දුම්රිය ස්ථානයක් බවට පවත්වාගෙන ඒම අප වසර 5 කට වැඩි කාලයක සිට කරගෙන එන දෙයක්. මේ නිසාම මීට පෙර, 2023 ලෝක ප්‍රවාහන දිනයේදී “මහජන හිතකාමී කාර්යක්ෂම දුම්රිය ස්ථානය” තරගයෙන් අපි ලංකාවෙන්ම දෙවෙනි තැනට පත් වුණා. අපි දිගින් දිගටම දුම්රිය ස්ථානයේ කසළ කළමනාකරණය, හරිත හා වන ආවරණය වැඩි කිරීම, එය පවත්වාගෙන ඒම, සුන්දර ස්ථානයක් ලෙස මල් සහ විසිතුරු පැළ වගාව, බිත්ති අලංකරණය කරමින් චිත්‍ර ඇඳීම සහ ඡායාරූප ප්‍රදර්ශනය, පුස්තකාලයක් පවත්වාගෙන යෑම, වැසිකිළි පද්ධතිය නිසියාකාරව හා පිරිසිදුව පවත්වාගෙන යෑම, සේවකයන්ගේ ප්‍රිය මනාප සේවය යනාදී අංශවලට මුල්තැනදී කටයුතු කරනවා. මේ ලැබුණු සම්මානයත් ඒ කටයුතු හරියාකාරව සිදුකිරීමේ ප්‍රතිපලයක් ලෙසයි ලැබුණේ. කොහොම හරි මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටි නිර්ණායක අපි හරියටම ඉටු කළා. එකට අපට ලොකු, අමතර මහන්සියක් වෙන්න දෙයක් තිබුණේ නෑ. ඒ සඳහා අපට තවත් උපකාර වුණේ අපි එස් 5 සංකල්පයට වැඩකරනවා, මොකද ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ පුහුණු හා මානව සම්පත් සංවර්ධන ඒකකයේ එකමුතුවෙන් පවත්වන ලද “ඵලදායිතා සහ ක්‍රියාවලි වැඩිදියුණු කිරීම පිළිබඳ වෘත්තීය සහතික පත්‍ර පාඨමාලාව” අපි කලින් හදාරා ඵලදායිතා පුහුණු ලාභියෙක් විදිහට දිගටම වැඩකරන නිසා” ලැබූ හරිත සම්මානය ගැන අදහස් දක්වමින් මෙසේ කියන්නේ වේයන්ගොඩ ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති කීර්ති ප්‍රේමලාල් දිසානායක මහතාය.

“මම 2019 සිට වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති ලෙස කටයුතු කරනවා. මෙම ස්ථානයේ මෙහෙයුම් ස්ථානාධිපතිවරුන් තිදෙනෙක්, ස්ථානාධිපති – පාර්සල් එක් කෙනෙක්, ස්ථානාධිපති -ප්‍රවේශපත්‍ර හය දෙනෙක්, බහු කාර්යය ස්වරූපයේ රාජකාරි ඉටු කරන දුම්රිය ස්ථාන කාර්ය සහායකවරුන් 13 දෙනෙක්, ප්‍රවේශපත්‍ර පරීක්ෂක හය දෙනෙක්, පයින්ටුකරු ශ්‍රේණියේ හතර දෙනෙක් ඇතුළු 24 දෙනෙක් සිටිය යුතු වුවත් අපේ සියලු කාර්ය මණ්ඩලය 17 දෙනෙක් දැනට ඉන්නවා. අපි සියල්ලෝම කණ්ඩායම් හැඟීමෙන්, වැඩකරනවා වගේම පවිත්‍රතා වැඩ දෛනිකව ඒ ඒ අයට නිශ්චිතව බෙදා දී තිබෙනවා. ඒ ප්‍රියමනාප මහජන හිතකාමී දුම්රිය ස්ථානයක් ලෙස වේයන්ගොඩ දුම්රිය ස්ථානය පවත්වාගෙන යන්න. ඒ අනුව දිරන කසළ කොම්පෝස්ට් කරනවා. පොලිතින් – ප්ලාස්ටික් එකතු කරල අදාළ ආයතනවලට දෙනවා. කඩදාසි, වීදුරු වෙනම වර්ණ කේතවලට එකතු කරනවා. වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ තාක්ෂණික දායකත්වය යටතේ හරිත වන උයනක් අපි පවත්වාගෙන යනවා. මෙහි ගස් වර්ග 85ක්, ඖෂධ උයනේ ශාක වර්ග 40 ක්, විවිධ මල්වර්ග හා විසිතුරු පැළ වර්ග සිය ගණනක් අපි නඩත්තු කරනවා.” යැයිද දුම්රිය ස්ථානාධිපති කීර්ති ප්‍රේමලාල් දිසානායක මහතා අප සමග පැවසුවේ පසුගියදා දුම්රිය ස්ථානයේදී අප හා සමග පිළිසඳරකට එක් වෙමිනි.

හරිත දුම්රිය ස්ථාන අතර කවදත් පෙරමුණේම සිටින වේයන්ගොඩ පිට පිට සම්මාන දිනයි
ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති කීර්ති ප්‍රේමලාල් සම්මානය ලබමින්

සැබැවින්ම, වේයන්ගොඩ යනු ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රියේ ගමන් කරන කාහටත් මතකයේ රැඳෙන දුම්රිය ස්ථානයකි. ඒ කොළඹ කොටුවේ සිට මරදාන – රාගම – ගම්පහ පසුකර වේයන්ගොඩ දක්වා පැමිණෙන තෙක්ම මෙවන් සිත අලවන, ආකර්ශනීය දුම්රිය ස්ථානයක් තවත් හමු නොවන නිසාය. වේදිකා 4 ක් සහ දුම්රිය මාර්ග 6 ක් සහිතව සහ විශාල දුම්රිය මගීන් පිරිසක් එකවර හසුරවන මෙම දුම්රිය ස්ථානය එක් පසෙකින් අලංකාරව මල්, තුරු – ලතා වවා අලංකාරව නඩත්තු කරන අතර, කසළ කළමනාකරණය උපරිමව සිදුකරනු දක්නට ලැබේ. එසේම, සේවකයන් අතින්ම අලංකාර බුදු මැඳුරක් තනා පසුගිය පොසොන් පොහෝ දින එය නිරාවරණය කරනු ලැබීය. තවත් විශේෂ කාරණයක් වන්නේ උදෑසන සිට මෙහි සිදුකෙරෙන දෑ අභිමානී ගීත වාදනයයි. ඉදින් මෙවන් දුම්රිය ස්ථානයක් සම්මානයට භාජනය වීම අරුමයක් ද නොවේ. ඒ සඳහා ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති කීර්ති ප්‍රේමලාල් දිසානායක මහතා නායකත්වය ලබා දෙන අතර ලොකු -කුඩා කාර්ය මණ්ඩලය එකා මෙන් මෙම කටයුත්තට දායක වෙයි. මේ අතර හොඳින් විකසිත හරිත උයනේ සියලු කටයුතු සම්බන්ධීකරණය කරමින් දුම්රිය ස්ථානාධිපති ඩී. එච්. රසික පුෂ්පකුමාර මහතා කටයුතු කරන අතර, කනිෂ්ඨ සේවකයන්ට නායකත්වය දෙමින් පයින්ටුකරු ඊ. එම්. රත්නායක මහතා ලබාදෙන්නේ නොමඳ කැපකිරීමකි. කසළ කළමනාකරණය, හරිත උයන නඩත්තුව, මල් බඳුන් හා මල් වැටවල් නඩත්තුව මෙන්ම උද්‍යාන අලංකරණය සම්බන්ධව වඩා උනන්දුවෙන් කටයුතු කරන ඔහු, දුම්රිය ස්ථානයේ අභිනව බුදු මැඳුර තනන්නට ශ්‍රමය, දැනුම, කාලය වැය කළ පුද්ගලයාය.

හරිත දුම්රිය ස්ථාන අතර කවදත් පෙරමුණේම සිටින වේයන්ගොඩ පිට පිට සම්මාන දිනයි

වේයන්ගොඩ දුම්රිය ස්ථානය කටයුතු කරන ආකාරය ඉතා හොඳින් අධ්‍යයනය කරන්නේ නම්, ඵලදායිතාව අතින් වේයන්ගොඩට දෙවෙනි වන්නට තවත් දුම්රිය ස්ථානයක් නැත. ප්‍රමාණයෙන් විශාල මෙම දුම්රිය ස්ථානයට නිබඳවම පවතින තර්ජන අවම කරමින් කාර්ය මණ්ඩලය මෙසේ එය ඔසවා තබන්නට කටයුතු කරන අතර දුම්රිය ස්ථානය සම්මාන, උපහාරවලින් ජයගන්නට දිරි දෙන නිලධාරීන් අතර, පූර්ණ අධීක්ෂණය සහ මඟපෙන්වීම ලබාදෙමින් ප්‍රවාහන අධිකාරී – කොළඹ, නියෝජ්‍ය ගමනාගමන අධිකාරී, වාණිජ අධිකාරී, ගමනා ගමන අධිකාරී හා කොට්ථාශය භාර දිස්ත්‍රික් ප්‍රවාහන පරීක්ෂක යන නිලයන් සහ දුම්රිය දොපර්තමේන්තුවේ අනෙකුත් උප දෙපාර්තමේන්තු වන මාර්ග හා කර්මාන්ත, සංඥා හා විදුලි සංදේශ මෙන්ම ගොඩනැඟිලි පරීක්ෂක ගම්පහ යන අයවලුන් තමන්ට මහත් ශක්තියක් සපයන බවද ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති කීර්ති ප්‍රේමලාල් දිසානායක මහතා පවසයි.

හරිත දුම්රිය ස්ථාන අතර කවදත් පෙරමුණේම සිටින වේයන්ගොඩ පිට පිට සම්මාන දිනයි

“සියනෑවේ පවතින අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වේයන්ගොඩ බණ්ඩාරනායක විදුහල ප්‍රමුඛ කොටගත් පාසල් ප්‍රජාව, සියනෑ අධ්‍යාපන විද්‍යාපීඨය, නයිවල උසස් තාක්ෂණ ආයතනය, අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරිතුමන්, වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපතිතුමන්, ත්‍රිවිධ හමුදාවේ අනුඛණ්ඩ භාර ප්‍රධානීන්, වේයන්ගොඩ වෙළෙද ප්‍රජාව හා වේයන්ගොඩ දුම්රිය මගී සංගමය දක්වන සහයෝගයද මෙහිදී සිහිපත් කළ යුතුමයි. “අලුත් වේයන්ගොඩින් කෝච්චියට නගිමු” යන සංකල්පය පෙරදැරි කරගෙන අපගේ සියලුම කාර්යය මණ්ඩලය කටයුතු කරනවා” යැයිද දිසානායක මහතා පවසයි.

සටහන – ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment