ශ්‍රී ලංකාවේ ප්‍රබලතම රග්බි කණ්ඩායමකට හිමිකම් කියන හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සියලු පහසුකම්වලින් යුත් රග්බි ඇකඩමියක් මේ මස (3 දා) එම ක්‍රීඩා සමාජ පරිශ්‍රයේදී ආරම්භ කළේය. ඔස්ට්‍රේලියාවේ ෆ්ලයිහයිස්පෝර්ට්ස් (FLYHISPORTS) සමාගම සමග හවුල්කරිත්වයෙන් හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය මෙම රග්බි ඇකඩමිය ඇරඹීය.
ඔස්ට්‍රේලියාවේ දීර්ඝ කාලයක් ජීවත්වූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ෆ්ලයිහයිස්පෝර්ට්ස් රග්බි ඇකඩමියේ සම නිර්මාතෘ සෙඩ්‍රික් ඇන්තනී මහතා පැවසුවේ ඔස්ට්‍රේලියාව තුළ ක්‍රීඩා පරිපාලනය සහ කනිෂ්ඨ ක්‍රීඩක සංවර්ධනය වන ආකාරය පිළිබඳ හොඳ දැනුමක් තිබෙන බවත් ඔස්ට්‍රේලියාවේ ආකෘතිය මෙරටට ගෙන එමින් ශ්‍රී ලාංකික කුඩා සහ තරුණ ක්‍රීඩකයන්ට එහි ප්‍රයෝජන ගැනීමට අවස්ථාව දීමේ සිහිනයක් තිබූ බවත්ය.
මෙම ඇකඩමිය මෙරට ඉහළතම පහසුකම් සහ යටිතල පහසුකම්වලින් සමන්විත වනු ඇති බවත් එහි අරමුණ ක්‍රීඩාව ඔස්සේ සමාජයට ධනාත්මක වෙනසක් ඇති කිරීම බවත් සෙඩ්‍රික් ඇන්තනී මහතා කීය.
‘ෆ්ලයිහයිස්පෝර්ට්ස්’ රග්බි ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ජාත්‍යන්තරයේ ද නමක් දිනා සිටින කෘගර් රෝච් මහතා සමාරම්භක උත්සවයේදී පැවසුවේ ජාත්‍යන්තර පුහුණුකරුවකු ලෙස ලබාගත් අත්දැකීම් සියල්ල යොදා ගනිමින් මෙරට ක්‍රීඩකයන් ප්‍රාථමික මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා ගෙන ඒමට බලාපොරොත්තු වන බවයි.
මෙම ඇකඩමිය ෆ්ලයිහයිස්පෝර්ට්ස් අනුබද්ධ ආයතනයක් බවත් ෆ්ලයිහයිස්පෝර්ට්ස් යනු මෙල්බන් නුවර කේන්ද්‍ර කරගත් ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා සහ ක්‍රීඩා ඇඳුම් සන්නාමයක් බවත් හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය පැවසීය.
එම සමාගමේ නිෂ්පාදන ආසියා පැසිෆික් කලාපයේ, විශේෂයෙන් ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තය සඳහා වැඩි ඉල්ලුමක් ඇති කීර්තිමත් සන්නාමයක් බවත් හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය කීය.
ඇකඩමියේ දුරකථනය වන 0771007379 යන අංකයෙන් ඇලෙක්ස් ඇමතීමෙන් හෝ www.flyhiacademy.com යන වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ ෆ්ලයිහයිස්පෝර්ට්ස් රග්බි ඇකඩමියට සම්බන්ධ විය හැකි බව හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය වැඩිදුරටත් සඳහන් කළේය.