පාදයේ ආබාධය ඇති වූයේ එල්පීඑල් නිසා නොවෙයි – තරගයේ වීරයා වනිදු කියයි

274

ලෝක කුසලාන තරගාවලියට පෙර පාදයේ ඇතිවූ ආබාධය එල්පීඑල් තරගාවලිය නිසා ඇතිවූවක් නොවන බව ඉතා පැහැදිලිව ප්‍රකාශ කළ යුතුව ඇතැයි වනිදු හසරංග පැවැසීය.

එල්පීඑල් තරගාවලියේදී ඇතිවූ ආබාධය සම්පූර්ණයෙන්ම සුවවී තිබියදී ශාරීරීක යෝග්‍යතාව වෙනුවෙන් දිවීමේ අභ්‍යාසවල යෙදීමේදී ඇතිවූ වෙනත් ආබාධයක් හේතුවෙන් ලෝක කුසලාන තරගාවලිය අහිමි වූ බව වනිදු හසරංග සඳහන් කළේය.

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති තරග තුනකින් සමන්විත තරගාවලියේ අවසන් තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී වනිදු හසරංග එසේ පැවැසීය.

එක් කණ්ඩායමකට පන්දු වාර 27කට සීමා වූ එම තරගයේ පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දු වාර 22යි පන්දු පහකදී ලකුණු 96 කට සියලු දෙනා දැවී ගිය අතර ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 ක් දැවී අදාළ ඉලක්කය පසුකර ගියේය.

ඒ සමග තරග තුනකින් යුත් තරගාවලියේ ජයග්‍රහණය 2-0 ක් ලෙස ශ්‍රී ලංකාවට හිමි වූ අතර තරගාවලියේ වීරයා සම්මානය නවක ක්‍රීඩක ජනිත ලියනගේට හිමිවිය.

වනිදු හසරංග මාස 6කට පමණ පසු සිම්බාබ්වේ පිලට එරෙහිව තෙවැනි එක්දින තරගයේදී කඩුලු 7ක් බිඳහෙලා දස්කම් දැක්වීම කැපීපෙනිණි. ඔහුගේ එම දක්ෂතාව එක්දින පිටියේ ලොව හොඳම පස්වැනි පන්දු යැවීම විය.

එමෙන්ම ප්‍රේමදාස තණතිල්ලේ හොඳම පන්දු යැවීම හා ශ්‍රී ලංකාවේ එක්දින තරගවල හොඳම දෙවැනි පන්දු යැවීම ලකුණු 19කට කඩුලු 7ක් ලෙස ක්‍රිකට් වාර්තා පොතේ සටහන් විය. චමින්ද වාස් 2001 වසරේ එස්එස්සී පිටියේදී සිම්බාබ්වේ පිලට එරෙහිව ලකුණු 19කට කඩුලු 8ක් බිඳ හෙළා හොඳම පන්දු යැවීම සටහන් කළේය.

“පසුගිය දවස්වල අවාසනාවන්ත ලෙස හදිසියේම ඇතිවූ මගේ ආබාධය දැන් සම්පූර්ණයෙන්ම සුවයි. එහෙම නැත්නම් ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කරන්න මට අවස්ථාව ලැබෙන්නේ නෑ. මේ තරගයට එන්න කලින් මා අන්තර් ක්‍රීඩා සමාජ තරග 2කට ක්‍රීඩා කළා. ලෝක කුසලානය අහිමිවීම පිළිබඳ ක්‍රීඩකයෙක් විදිහට කනගාටුයි. අවුරුදු 4ක් එක දිගට ක්‍රීඩා කරලා ලෝක කුසලානය ළංවෙද්දී ආබාධ ඇති වුණාම ඕනෑම ක්‍රීඩකයෙක්ට ඒක කනගාටුවක්. ඇති වූ ආබාධය එල්පීඑල් ගහලා වුණ දෙයක් නම් නොවෙයි. එල්පීඑල් එකෙන් පස්සේ සුව වෙලා මා ලෝක කුසලානය වෙනුවෙන් පුහුණුවීම් කළා. යළි ආබාධ වුණේ දුවන්න ගිහින්. ඒක වෙනම ආබාධයක්. මොනවා වුණත් ගිය දේවල් කතා කර කර ඉන්නේ නැතිව ඉදිරි දේවල් ගැන අවධානය යොමු කළ යුතුයි කියා හිතනවා“ වනිඳු හසරංග පැවැසීය.

“ආබාධය සුව කරගන්න උදව් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තූතියි. ශල්‍යකර්මය ඉතා සාර්ථකයි. ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයා විශාල කැපවීමක් කළා. නමුත් සමාජ මාධ්‍යවල එක එක කතා ගියා. මම සමාජ මාධ්‍ය බලන්නේ නෑ. එක එක ෆොටෝ සමහරු එවලා තිබ්බා. මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් වූ නිසා හැමදේම ලැබුණේ. ඒ නිසා ක්‍රිකට්වලට ගෞරව කළ යුතුයි. ක්‍රිකට් නැත්නම් වනිදු කෙනෙක් ගැන කවුරුත් දන්නේ නෑ. පොඩි කාලේ ඉඳලම සැලසුම තිබුණේ ශ්‍රී ලංකා පිලට එන්නයි“ වනිදු පැවැසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල තරග ජයග්‍රහණය කරද්දී හා පරාජය වෙද්දී ප්‍රේක්ෂකයන් කණ්ඩායම සමඟ සිටි බවත් ඔවුන්ගේ ආශිර්වාදය නිබඳවම ලැබූ බවත් හෙතම පැවැසීය. එහෙත් ශ්‍රී ලංකාවේ ජන ජීවිතයට අදාළ ප්‍රශ්න කොතෙකුත් තිබියදී පාර්ලිමේන්තුවේදී පවා ක්‍රිකට් පිළිබඳ කතා කළ බව වනිදු හසරංග පැවැසීය.

“පසුගිය කාලේ තරග පරාජය වූ නිසා මේ තරග තුන බලන්න ආවේ නැහැ කියන්න බෑ. මොකද අද ගේට් දෙකක් ඕපන් කරලා තියෙනවා නොමිලේ. එතකොට මැච් බලන්න එනවා. එතකොට හිතන්න පුළුවන්නේ මැච් පරදින නිසාද? එහෙම නැත්නම් ප්‍රේක්ෂකයන්ට මේ කාලයේ ඇති අපහසුතා නිසාද, වෙනත් ප්‍රශ්න ඔවුන්ට තියෙනවාද කියා හිතන්න වෙනවා. පාර්ලිමේන්තුවේ කතා කළේත් ක්‍රිකට් ගැනයි. දිනනකොටත් පරදිනකොටත් හැමදාම ප්‍රේක්ෂකයෝ අපි එක්ක හිටියා. ඒක අපට ධෛර්යයක්“ වනිදු හසරංග පැවැසීය.

“මාස 6කට පසුවයි එක්දින පිටියේ මා සෙල්ලම් කළේ. ඇවිත් පළමු තරගයේදීම මෙවැනි දස්කම් දක්වන්න ලැබීම පිළිබඳ සතුටුයි. අලුත් කණ්ඩායමක් සමග මේ ලැබූ ජය පිළිබඳ සතුටු වෙනවා විස්සයි 20 නායකත්වය මට ලොකු පීඩනයක් නොවෙයි. නිමාවූ එල්පීඑල් තරගාවලි වසර 2ක් නායකත්වය දැරුවා. එයින් අවසන් වසරේ අපි කුසලානය ජය ගත්තා.

පිඩනයක් ගන්නේ නැතිව නායකයා වුණත් ක්‍රීඩකයෙක් වුණත් කණ්ඩායමට අවශ්‍ය දේ කරන්න මට පුළුවන්. මාස 6කින් පසු එන ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවේ හොඳම කණ්ඩායම සමග තරග දිනවන්න අවශ්‍ය වෙනවා. ඒ ලෝක කුසලානය අපේ දැන් එකම සැලසුමයි. අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ සහයෝගය අරන් හොඳින් ක්‍රීඩා කිරීමට අවශ්‍ය වෙනවා“ වනිදු පැවැසීය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment