සෞඛ්‍ය ඇමැති ඉල්ලා අස්විය යුතුයි විමල් කියයි

97

“ඖෂධ හිඟයක් ඇති වීමට ඉඩහැර, පසුව නිසි ටෙන්ඩර් පටිපාටියකින් තොරව, ‘අත යට ගනුදෙනු සහිත හදිසි මිලදී ගැනීම්’ මගින් බාල ඖෂධ ගෙන්වා අසරණ රෝගීන් මෝචරියට යැවීමට වගකිවයුතු සෞඛ්‍ය ඇමැතිවරයා වහාම ඉල්ලා අස්විය යුතුයි” යැයි උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ ඊයේ (13 දා) බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

මේ විදියට බඩේ අමාරුවකට ඉස්පිරිතාලෙකට ගියපු රෝගී දරුවකු ලබා දුන් එන්නතකින් මියයනවා නම්, බෙහෙත් ගෙන්වූ සහ මිලදී ගැනීම් සිදු කළ කිසිවකු ඒකට වගනොකියනවා නම්, සෞඛ්‍ය ඇමැතිවරයාත් ‘බබා’ වගේ ඉන්නවා නම්, මේ රට රටක්ද? පඬුකරඳ ගහ කපන්න නම් කැබිනට් තීරණ ගන්නවා. නමුත් මේ වගේ කාලකන්නි ඇමැතිවරුන් සහ නිලධාරීන් කපා දමන්න කැබිනට් තීරණ ගන්නේ කවදා ද?

මේ තත්ත්වය වෙනස් කරන්න ඕනේ. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළව හදිසි මිලදී ගැනීම් අවලංගු කරන්න ඕනේ. කල්තියා සැලසුම් කර ඖෂධ රැගෙන එන්න ඕනේ. අතිරික්තයක් තිබුණොත් ඊළඟ වසරේ පාවිච්චි කරන්න හැකි වෙන්න ඕනේ. එහෙම නැතුව ඇමැතිවරුන්ට සහ නිලධාරීන්ට ගසාකන්න ඉඩ දීලා, මෙවැනි තරුණ දරුවන්ට මියයන්න ඉඩ දීලා, තවදුරටත් බලා සිටිය යුතු නැහැ. මේ පාපකර්මයට තවදුරටත් වැඩෙන්න ඉඩ දිය යුතු නැහැ.

මේ තත්ත්වය හමුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉල්ලා අස්විය යුතුයි. නමුත් ඒ කිසිවකු ඉල්ලා අස්වෙන්නේ නැහැ. ඔවුන්ට මේ ගැන කිසිදු හැඟීමක් නැහැ. ඒ නිසයි අපි කියන්නේ මේක හරි අවාසනාවන්ත තත්ත්වයක් කියා.

advertistmentadvertistment
advertistmentadvertistment