හිටපු ඇමති 2කට බරපතළ වැඩ ඇතිව සිරදඬුවම්

205

නලින්ට වසර 25ක්

මහින්දානන්දට වසර 20ක්

රට බංකොලොත් වුණේ රජයේ උසස් නිලධාරීන්ගේ හා මහජන නියෝජිතයන්ගේ මෙවැනි දූෂිත වැඩ නිසා – දඬුවම් නියම කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල කියති

හිටපු වෙළෙඳ කටයුතු අමාත්‍ය නලින් රුවන්ජිත් ප්‍රනාන්දු මහතාට බරපතළ වැඩසහිත සිරදඬුවමකුත් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට බරපතළ වැඩසහිත වසර 20ක සිරදඬුවමකුත් කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (29දා) නියම කළේය.

පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබූ චෝදනා බහුතරයක් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බවත්, ශ්‍රී ලංකාව මෙලෙස බංකොලොත් භාවයට පත්වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ විත්තිකරුවන් වැනි රජයේ උසස් නිලධාරීන්ගේ හා රට ගොඩනැඟීමේ වගකීම මහජනතාව විසින් පවරනු ලැබූ වගකිව යුතු අමාත්‍යවරුන්ගේ මෙවැනි දූෂිත ක්‍රියා නිසා බවත් එකී දඬුවම් නියම කරමින් විනිසුරු මඬුල්ල පෙන්වා දුන්හ.

එම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අධිචෝදනා හයක් යටතේ කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේදී නඩු පවරා තිබිණි. පළමු විත්තිකාර නලින් ප්‍රනාන්දු ලංකා සතොස සභාපතිවරයා ලෙසත් දෙවැනි විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළ 2014.09.01 සිට 2014.12.31 දක්වා වූ කාලය අතරතුරදී එනම් 2015 ජනාධිපතිවරණ සමයේදී පාසල් අතර බෙදාදීම සඳහා ලංකා සතොස හරහා ආනයනය කළ රුපියල් ලක්ෂ 531කට වඩා වටිනා දාම් හා කැරම් ක්‍රීඩා උපකරණ තොගයක් පාසල් අතර බෙදා නොදී වෙනත් කටයුතු සඳහා යොදවා ගැනීමෙන් අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ ගැනෙන දූෂණය නමැති වැරදි සිදුකළේ යැයි එමගින් විත්තිකරුවන්ට චෝදනා නඟා තිබිණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මහේන් වීරමන්, ප්‍රදීප් අබේරත්න හා අමාලි රණවීර යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී එම නඩුවේ තීන්දුව ඊයේ ප්‍රකාශයට පත්කෙරිණි.

පළමු වැනි විත්තිකාර නලින් ප්‍රනාන්දු මහතා ඔහුට එරෙහිව ගොනු කර තිබූ චෝදනා හතරටම වරදකරු බවට නිගමනය කළ විනිසුරු මඬුල්ල එකී චෝදනාවලට ඔහුට බරපතළ වැඩසහිත වසර 30ක සිරදඬුවම් නියම කළේය. එකී වසර 30ක සිරදඬුවම් කාලයෙන් එක් චෝදනාවකට නියම කළ වසර පහක සිරදඬුවම් අත්හිටුවීමට නියම කළ විනිසුරු මඬුල්ල සෙසු වසර 25ක සිරදඬුවම් වෙන් වෙන්ව එනම් වසර 25කින් ගෙවී යන ලෙස ලබාදීමට ද නියෝග කළහ. දෙවැනි විත්තිකාර මහින්දානන්ද මහතාට එල්ල කොට තිබූ අධිචෝදනා හතර අතරින් දෙකකින් ඔහු නිදහස් කිරීමට නියම කළ විනිසුරු මඬුල්ල සෙසු චෝදනා දෙකට බරපතළ වැඩසහිත වසර 10 බැගින් නියම කොට එකී සිරදඬුවම් වෙන් වෙන්ව එනම් වසර 20කින් ගෙවීයන ලෙසට ලබාදීමට ද නියෝග කළහ.

එයට අමතර විත්තිකරුවන් වරදකරුවන් කරනු ලැබූ චෝදනාවලට වෙන් වෙන්ව රුපියල් ලක්ෂය බැගින් වූ දඩයක් ද නියම කළ විනිසුරු මඬුල්ල එකී දඩ නොගෙවන්නේ නම් වෙන් වෙන්ව එක් දඩ මුදලකට වසර 2 බැගින් වූ සිරදඬුවම් ලබාදීමට ද නියම කළහ.

එකී නියෝගය අනුව මහින්දානන්ද අලුත්ගමගේ මහතාට රුපියල් ලක්ෂ 02ක දඩයකුත් නලින් ප්‍රනාන්දු මහතාට රුපියල් ලක්ෂ 04ක දඩයකුත් ගෙවීමට සිදුවනු ඇත.

දෙපාර්ශ්වයේ සාක්ෂි විභාගය හා පැමිණිල්ලේ දේශන අවසන් කිරීමෙන් පසුව විදේශ රටක අධ්‍යාපනය ලබන මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ දියණියගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගිවීම සඳහා විදේශ ගතවීමට අවසර ලබාදෙන ලෙස ඔහුගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබිණි. සිය සේවාදායකයා මින් පෙරද අධිකරණයේ අවසරය ඇතිව විදේශගත වී නැවත පැමිණ ඇති බැවින් අධිකරණය විසින් පනවා ඇති විදේශ ගමන් තහනම සතියක කාලයකට අත්හිටුවා ඔහුට විදේශගතවීමට අවසර ලබාදෙන ලෙස ද ජනාධිපති නීතිඥවරයා එදින අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

කෙසේ නමුත් එකී ඉල්ලීමට දැඩි විරුද්ධත්වය දැක්වූ අල්ලස් කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ අනුත්තරා ජයසිංහ මහත්මිය නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට දින නියම කර තිබියදී විත්තිකරුට එවැනි අවසරයක් ලබාදීම නොසුදුසු බවත් ඔහු විදේශ ගත වුවහොත් නැවත ශ්‍රී ලංකාවට පැමිණීම අවිනිශ්චිත බවත් විනිසුරු මඬුල්ලට පෙන්වා දී තිබිණි.

ඊයේ (29දා) පෙරවරුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට විවෘත අධිකරණයට පැමිණි විනිසුරු මඬුල්ල විත්තිකරුවන් දෙදෙනාව එකී චෝදනාවලට වරදකරුවන් බවට තම අධිකරණය තීරණය කර ඇතැයි පෙරවරු 10.30ට පමණ ප්‍රකාශයට පත් කළහ. ඉන් අනතුරුව අධිකරණය ඇමතූ පැමිණිල්ල මෙහෙය වූ අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ අනුත්තරා ජයසිංහ මහත්මිය චූදිතයන් ඔවුන් දැරූ ධුරවල බලතල අයුතු ලෙස පරිහරණය කරමින් එකී ක්‍රියාවන් වැරදි බව දනිමින්ම එම වැරදි සිදුකර ඇති බව අධිකරණයට පැවසුවාය.

විත්තිකරුවන්ගේ එකී දූෂිත ක්‍රියාවන් නිසා මහජනතාවගේ බදු මුදලින් උපයාගත් රුපියල් මිලියන 53කට අධික මුදලක් රජයට අහිමිවී ඇති බවත් ඉන් මහජනතාවට ද විශාල හානියක් සිදුවී ඇති බැවින් මෙවැනි වැරදි සිදුකිරීමට අපේක්ෂා කරන සෙසු පුද්ගලයන්ට ද පාඩමක් ඉගෙනගත හැකි අයුරින් එවැනි දූෂණ විරෝධී පුද්ගලයන් අධෛර්යවත් වන අයුරින් උපරිම දඬුවම් ලබාදෙන ලෙස විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා තිබිණි.

සහකාර අධ්‍යක්ෂ තුෂාරි දයාරත්න මහත්මිය සමග සහකාර අධ්‍යක්ෂ අනුත්තරා ජයසිංහ මහත්මිය පැමිණිල්ල මෙහෙය වූ අතර උප පොලිස් පරීක්ෂක මහින්ද සෝමසිරි මහතා අල්ලස් කොමිෂන් සභාව නියෝජනය කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක,

ඡායාරූප – සුජාතා ජයරත්න


advertistmentadvertistment