හෙලිකොප්ටරය කඩා වැටුණු පසු ඉරානය ඇමරිකාවේ සහාය ඉල්ලුවා – ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව

3915

ඇමරිකා එක්සත් ජනපදය හා කිසිදු රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයක් නොපවත්වන ඉරානය එරට ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන්ගත් හෙලිකොප්ටර් යානය අනතුරට ලක් වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඇමරිකාවේ සහය ඉල්ලූ බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක මැතිව් මිලර් පවසා ඇත්තේ ඉරාන රජය විසින් හෙලිකොප්ටර් අනතුර සිදු වූ පසු මෙම ඉල්ලීම සිදු කර ඇති බවයි. එයට පිළිතුරු වශයෙන් අවශ්‍ය සහය ලබා දීමට ඇමරිකාව සූදානම් බව ඉරානයට දැනුම් දුන් බව ද ඇමරිකාව කියයි.

කෙසේ වුවද සංවිධාන ගැටලු හේතුවෙන් ඉරාන ජනාධිපතිවරයාගේ හෙලිකොප්ටර් යානා අනතුර සම්බන්ධයෙන් අවශ්‍ය සහය ලබා දීමට ඇමරිකාවට නොහැකි වූ බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ. 1979 වසරේදී ඉරානයේ සිදු වූ ඉස්ලාමීය විප්ලවයෙන් පසු ඇමරිකාව හා ඉරානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳ වැටි තිබිණි. මේ අතර හිටපු ඉරාන විදේශ කටයුතු ඇමැතිවරයකු වූ මොහොමඩ් ජාවෙඩ් සරිෆ් පවසා ඇත්තේ ජනාධිපති රයිසිගේ මරණයට ඇමරිකාව ද වගකිව යුතු බවත් එම චෝදනාවට හේතු වී ඇත්තේ ඇමරිකාව විසින් ඉරානයට එරෙහිව පනවා තිබූ සම්බාධක හේතුවෙන් ඉරානයට නවතම ගුවන් යානා කොටස් රටට ආනයනය කිරීමේ අවස්ථාව අහිමි වී යෑම බවත්ය. හෙලිකොප්ටර් යානා අනතුරෙන් මියගිය ඉරාන ජනාධිපති රයිසි ඇතුළු නව දෙනා ගමන් ගත් හෙලිකොප්ටර් යානය 60 දශකයේ භාවිත කළ යානයක් බව හෙළි වී තිබිණි.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment